ජාතික ලයිස්තුවේ දෙතුන් දෙනෙක් එජාපය විනාශ කළා

(සුජිත් මංගල ද සිල්වා) ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි දෙතුන් දෙනකු පක්ෂය විනාශ මුඛයට ඇද දමා ඇති බව එක්සත් ජාතික පක්ෂ උපනායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා…
(සුජිත් මංගල ද සිල්වා)
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි දෙතුන් දෙනකු පක්ෂය විනාශ මුඛයට ඇද දමා ඇති බව එක්සත් ජාතික පක්ෂ උපනායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කියා සිටියි.
රවී කරුණානායක මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කිසිඳු ජන පදනමක් නොමැති එම සුළුතරය පක්ෂයට සිදු කර ඇති විනාශය යළි ආපස්සට හැර වීමට නොහැකි තරම් බරපතළ වී ඇති බවය.මෙම තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ රැඩිකල් වෙනසක් සිදු විය යුතු බවත් තරුණ කොටස්වලට ඉදිරියට පැමිණීමට අවස්ථාව සලසා දිය යුතු බවත් හෙතෙම සඳහන් කරයි.
දැන්වීම
රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ අද (01) පෙරවරුවේ කොළඹ මෝදර,කිඹුලාඇල ප්‍රදේශයේ ක්‍රීඩා සංගම් සඳහා ක්‍රීඩා භාණ්ඩ ප්රදානය කිරීමේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා මෙසේ ද කීය.
" බලය ගත්තට පස්සෙ තමන් ළඟ සිටි අය අමතක වෙනව. හරියට තමන්ගෙ ගෙදර අය ඉද්දි අල්ලපු ගෙදර අයට ආලය කරනවා වගේ. අද අපි පාක්ෂිකයන් ගැන හිතන්න ඕනෑ . පාක්ෂිකයන් ආරක්ෂා කරන්න ක්‍රම වේදයක් සකස් කළ යුතුයි. එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රී වරු පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. අපේ පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතුයි.අපි ඒක එදා ඉදලා ප්‍රකාශ කළා. අපේ පක්ෂය විතරක් නොවේ අනෙකුත් පක්ෂවලත් ප්රතිසංවිධානයක් අවශ්‍ය වී තිබෙනවා.
හොදම උදාහරණය හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරනතුංග මැතිනිය, ජනාධිපති ධූරයෙන් විශ්‍රාම ගිහින්, නැවත අත්තනගල්ල ආසනය භාර ගත්තා. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය බැලුවොත් තුන් වැනි තැනට ඉන්නෙ. මා සම්බන්ධයෙන් තිලක් මාරපන කමිටුව පත් කළා, ජනවරමක් නොමැති අය කොහොමද, ජන පදනමක් තිබෙන මා වැනි කෙනෙකු පිළිබඳව තීරණ ගන්නෙ.
මේවා රට්ටු හිනස්සන වැඩ. අද ජනතාවට දේශපාලනය එපා වෙලා. මම මුදල් ඇමැති කාලෙ ජනතාවට දැනෙන වැඩ කොටසක් කළා. ජාතික රක්ෂණ භාර අරමුදල හරහා රටම රක්ෂණය කළා. පාසල් ළමුන් සඳහා විශේෂ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. අඩු ආදායම් ලාභී ජනතාව සහ සුළු,මධ්‍යම මහා පරිමාණ ව්‍යපාරික ජනතාව සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ගෙනාව.
උසස් පෙළ සිසුන්ට හා උසස් පෙළ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමට පියවර ගත්තා. මේවාට දැන් අයිතිවාසිකම් කියන්න බොහෝ දෙනෙක් ඉන්නවා. හරියට අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියනව වගේ." යැයිද රවී කරුණානායක මහතා වැඩි දුරටත් කීය.