ජාතික එකමුතුවකින් තොර විසඳුමක් නොමැත

යුක්‍රේන ජාතිකයින් ආදර්ශයට ගනු රජයට එක මතයක් නැහැ ආහාර මිල 24%කින් ඉහළ ගිහින් අපේ මව්බිම යළිත් ගොඩ නැගිය හැකිද..? යුක්‍රේන ජාතිකයින් වගේ රටේ සියලු ජාතීන්, ආගමිකයින් සහ ඒ ඒ දේශපාලන ක්‍රියාකාරීන් සියලු…
යුක්‍රේන ජාතිකයින් ආදර්ශයට ගනු
රජයට එක මතයක් නැහැ
ආහාර මිල 24%කින් ඉහළ ගිහින්
අපේ මව්බිම යළිත් ගොඩ නැගිය හැකිද..?
යුක්‍රේන ජාතිකයින් වගේ රටේ සියලු ජාතීන්, ආගමිකයින් සහ ඒ ඒ දේශපාලන ක්‍රියාකාරීන් සියලු භේද පසෙකලා එකට අත්වැල් බැඳ ගනිමින් ජාතික එකමුතුවකට නොපැමිණිය හොත් රටත්-ජනතාවත් බේරා ගැනීමට නොහැකි වනු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අනතුරු අඟවා සිටියි.
දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේය, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී බ්‍රහස්පතින්දා (04) සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
ලෝකයා හමුවේ රටත් ජනතාවත් ඉතාමත්ම අසරණ තත්ත්වයට පත්ව ඇති අවස්ථාවක, නැවත නැවතත් අප හඬ නගා පවසන්නේ යුක්රේන ජාතිකයින් වගේ අත්වැල් බැඳ ගෙන ජාතික සමගි වැඩ පිළිවෙළකට එක් වන ලෙසයි.
දැන්වීම
ඉන්ධන සහ විදුලි අර්බුදය නිසා ජන ජීවිතය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබෙනවා. කෘෂිකර්මය ඇතුළු මුළු ආර්ථිකය ම විනාශ වෙලා. රාජ්‍ය තන්ත්‍රයේ එක් මතයක් නොමැති නිසා ඉක්මන් විසඳුම් පෙනෙන්නේ නැහැ. තවත් රජයේ විවිධ පාර්ශව නොයෙක් මත ඉදිරිපත් කරමින් සිටින අතර එම තත්ත්වය රට තවත් අවුල් කිරීමට හේතු වී තිබෙනවා. රටත් ජාතියත් කිසිදාක මුහුණ නොදුන් මෙවන් මහා ආපදාවකදී තාවකාලික හෝ ජාතික එකමුතුවක් හැර වෙන විසඳුම් මාවතක් ඇත්තේ නැහැ. එවැනි ජාතික එකමුතුවක් ගොඩනැගිය හැක්කේ රජය මිත්‍රත්වයේ හස්තය දිගු කළ හොත් පමණයි.
මෙම කරුණු ගැන අවධානය යොමු කරමින්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වැඩ පිළිවෙළක් එළිදක්වා තිබෙනවා. කීර්තිමත් විද්වතෙකු වන මහාචාර්ය රොහාන් සමරජීව මහතාගේ ප්‍රධානත්වයෙන් දේශීය සහ විදේශීය උගතුන්ගේ සහායෙන් මෙම යෝජනාවලිය සකස් කර තිබෙනවා.
මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ ප්‍රධාන පෙළේ දේශපාලන නියෝජිතයින් අති බහුතරයක් මෙම යෝජනා මූලික සාකච්ඡාවට සුදුසු බව දන්වා තිබෙනවා. එමෙන්ම ආගමික සහ සිවිල් සමාජ නායකයින්ගෙන් ද ලැබුණේ සුබවාදී ප්‍රතිචාරයක්. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද උනන්දුව දැක්වීම විශේෂත්වයක් වනවා.
සතියේ ඉදිරි දින කිහිපයේ දී "අර්බුදයට මුහුණදීමට අවම පොදු වැඩපිළිවෙළක්" යන තේමාව යටතේ මෙම පොදු සාකච්ඡාව ආරම්භ කරනවා. ඉන්පසු විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන යෝජනා ද ඇතුළත් කර ජාතික යෝජනාවලියක් රටට ඉදිරිපත් කිරීමට අදහස් කරනවා.
කරුණු මෙසේ තිබිය දී ජනතාව මුහුණ දෙන අනේක විද දුක් කම්කටුලුවලට රජය වහා පියවර ගත යුතුයි. වහාම විසඳිය යුත්තේ ගමනාගමනය සහ විදුලිය සැපයීමයි. විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරිම පහසුවෙන්ම විදුලි බල මණ්ඩලයට කළ හැකියි. දුම්රිය සේවය සහ බස් සේවය බිඳ වැටුණ හොත් මුළු රටම මුළුමනින්ම අකර්මණ්‍ය වනු නියතයි.
මෙහිදී අප සඳහන් කරන්නේ මුළු රාජ්‍ය තන්ත්‍රය ම එක් මතයක සිට පියවර නොගෙන විවිධ මත ප්‍රකාශ කිරීම නිසා වැඩ කටයුතු අවුල් වෙමින් තිබෙන බවයි. ඉන්දන සැපයුම ගැන ජනාධිපතිවරයා, මුදල් ඇමතිවරයා, මහ බැංකු අධිපතිවරයා, (PUSL) ශ්‍රී ලංකා මහ ජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය මේ දිනවල එකිනෙකාට පරස්පර අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා.
එමෙන්ම ජනතාවට සහනයක් වශයෙන් විදුලි විසන්ධි කිරීම සඳහා දැනට නියම කාල සීමාව නොදන්වා දීර්ඝ වේලා පරාසයක් දීම වෙනුවට එම කොට්ඨාසයේ බලපැවැත්වෙන ස්ථිර වෙලාවක් හඳුන්වාදීම මගින් ජනතාවට සිය වැඩ කටයුතු සැලසුම් කර ගත හැකියි.
ගොයම් අස්වනු නෙලන මෙම කාලයේදී ඩීසල් නොමැතිකම නිසා ගොවි ජනතාව පීඩා විඳින ආකාරය මාධ්‍යයෙන් වටහා ගත හැකියි. එම දුක්ගැනවිලි හද කකියන සුළුයි. රටේ විශාල ඖෂධ හිඟයක් ද පවතිනවා. මේ තත්ත්වය භයානක ප්‍රවණතාවයක් වනවා.
ජනවාරි මස ආහාර මිල 24% ඉහළ ගොස් තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව වනුයේ අසීමිත ලෙස මුදල් මුද්‍රණය කිරීමයි. පසුගියදා වැලිපැන්න ප්‍රදේශයේ සිව් දරු පියෙක් දින තුනක් සිය දරුවනට ආහාර වේලක් ලබා දීමට නොහැකි වූ නිසා ගෙල වැළලාගත් ආකාරයත් එම බිරිඳ ගෙදර තිබූ පුටු දෙකක් විකුණා ආහාර ලබා දුන් ආකාරයත් මාධ්‍යයෙන් ප්‍රචාරය වුණා.
අප මේ කරුණු සඳහන් කරන්නේ ද්වේශයෙන් නොව මෙරට බොහෝ ප්‍රදේශවල මේ තත්ත්වය පවතින බව හොඳින් දන්නා නිසයි. මන්දපෝෂණය ශීඝ්‍ර ලෙස වැඩි වී ඇති අතර, මේ සඳහා වහා පිළියම් යෙදිය යුතුයි. රට ගෙනයෑමට අවශ්‍ය මුදල් 80% පමණ ලබා දෙන්නේ අඩු ආදායම් සහ මධ්‍යම පාන්තික පවුල්වලිනුයි. ධනවතුන්ට විශාල බදු සහන ලබා දී තිබෙනවා. මෙහි දැඩි සමාජ අසාධාරණයක් ඇති බව රජය වටහා ගත යුතුයි.
අප සඳහන් කළ කරුණු මෙරට බහුතර මතය බව කිව යුතුයි. එසේ හෙයින් මෙම දරුණු අවස්ථාවේ හෝ රජය නම්‍යශීලී වී සියලු දෙනාගේ සහයෝගය ලබා රට ගලවා ගැනීමේ ප්‍රයත්නයට මුල් විය යුතුයි. අප දන්නා පරිදි ප්‍රතිපක්ෂ නායකයන් වගකීමෙන් කටයුතු කරනවා. එම සහයෝගය ලබා ගත හැක්කේ දේශපාලන විරුද්ධ මතධාරීන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට කැඳවා ජනාධිපති කොමිෂන් සභා හරහා පළි ගැනීමෙන් නොව, සහජීවනයෙන් ක්‍රියා කිරීමෙනුයි.
ඒ සඳහා විශ්වාසය උපයා ගැනීම රජයේ කාර්යයක් වනවා. එක් රටක් එක් නීතියක් යනුවෙන් ජනතාවට කියමින් දේශපාලන පළි ගැනීම්වල යෙදීම එම පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වනවා. රජයේ එම ක්‍රියාදාමය ජනතාව අනුමත නොකරන බව වටහා ගත යුතුයි.
විශාල බහුතරයක් සහිතව බලයට පත් වන ආණ්ඩු සිත් හී දරා ගත යුතු කරුණක් නම්, තමා ජනතාවට හිමි රටක භාරකරු විනා එහි හිමිකාරයා නොවන බවයි. එබැවින් තමාට ජනතාව ලබා දුන් ජන වරම අත්තනෝමතික බලයක් ලෙස නොසලකා කටයුතු කළ යුතුයි. එමෙන්ම, එවන් අත්තනෝමතික ගමනක් යාමට රජයේ සැබෑ හිමිකරුවන් වන ජනතාව ඉඩ නොතබනු ඇති බවද සැලකිය යුතුයි.
පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව ලක්ෂ 69ක් ඡන්ද ලැබුණත්, තවත් ලක්ෂ 62 ක ජනතාව එතුමන්ව අනුමත නොකළ බව අප දන්නවා. එබැවින්, ව්‍යවස්ථා සංශෝධනයකදී හෝ ව්‍යවස්ථා සම්පාදනයේදී සමස්ත ශ්‍රී ලංකාවට විනා, තම දේශපාලන ව්‍යාපෘතියට ගැලපෙන ව්‍යවස්ථා සම්පාදනය මඟින් සිදු වන්නේ, තමා ද රට ද පරිහානියට යාම බව 20 වන සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේ දී රජය වටහා ගත යුතුව තිබුණා.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරය වන්නේ 20 වෙනි සංශෝධනය යටතේ ශ්‍රී ලංකාව තව දුරටත් නිවහල් දේශයක් නොවනු ඇති බවයි. එම සංශෝධනය නව වැඩවසම් ක්‍රමයක් වෙත ශ්‍රී ලංකාව රැගෙන යනු ඇති අතර, දරුණු දේශපාලන සහ ආර්ථික අවපාතයකට මේ රට හෙළනු නියතයි.
තම ජන වරම ගැන සිතා නොව, ජාතික එකඟතාවය ගැන සිතා ව්‍යවස්ථා සංශෝධන සිදු කළ යුතු බව ආණ්ඩුවට සිහි ගැන්වීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ ජාතික ආගමික සංහිදියාව සඳහා එකමුතුව කැපවී සිටිනවා. අප එසේ කැප වී සිටින්නේ ශ්‍රී ලංකාවේ යළිත් අඳුරු යුගයක් ඇති වීම වැළැක්වීම පිණිස යහපත් චේතනා පෙරදැරි කර ගෙනයි.
හිටපු ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවේ පාර්ශව 11 ක් බදාදා (02) දින යෝජනාවලියක් ඉදිරිපත් කිරීම නව ප්‍රවණතාවයක් බව කිව යුතුයි. ඔවුන්ගේ ද අදහස් අවස්ථානුකූලව අපගේ අවධානයට යොමු කෙරෙනවා. මේ සෑම පාර්ශවයක්ම පෙන්වා දෙන්නේ ජාතික එකඟත්වයේ අවශ්‍යතාවයි. ඒ නිසා බලධාරීන් දැන්වත් යථාර්ථය වටහා ගෙන ජාත්‍යාලයෙන් කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.