අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ජාතික ආරක්ෂාවට මුවා වී රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා

- විපක්ෂ නායක චෝදනා කරයි -

සජිත් ප්‍රේමදාස

රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා මානව අයිතිවාසිකම් ඇති බවත් එහි ජීවත් වීමේ, කතා කිරීමේ, තමන් විශ්වාස කරන ආගමක් ඇදහීමේ අයිතිය, දේශපාලන පක්ෂවලට සම්බන්ධ වීම, රැස්වීම, භාෂණයේ අයිතිය සේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පවතින මුත් වත්මන් රජය රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත තුළින් ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සේම සංවිධානාත්මක අපරාධ වැළැක්වීමට ද ශක්තිමත් පනතක් අවශ්‍ය නමුත් මේ රජය මේ මාතෘකා පෙරටු කර ගෙන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරන්න සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කළුතර දිස්ත්‍රික්කයේ කරම්පැතර ශ්‍රී අභයරාජාරාම විහාරස්ථානයේ මහා කච්චායන චෛත්‍ය රාජායාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ තීන්ත ආලේප කිරීම සඳහා තීන්ත ලබා දීමේ උත්සවය අමතමිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස මහත්මියගේ ජන්ම දිනය සිහිපත් කරමින් ඇයට දිගාසිරි පතමින් මේ පිංකම සිදු කරන ලදි

දැන්වීම

අධිකරණය සතු බලතල පහත හෙළා විධායකය සතු බලතල වැඩි කර රටේ විධායකයට ත්‍රස්තවාදියා කවුද කියා නිර්වචනය කිරීමේ බලය ලබා දෙන බවත් පවතින විධායකය සමඟ විරුද්ධ මත ඇති කණ්ඩායම් ත්‍රස්තවාදීන් ලෙස නම් කරන්න නිදහස විධායකයට ලබා දී දේශපාලන තර්ජන, දේශපාලන පළිගැසීම්, දේශපාලන දඩයම් කරන කුරිරු නීති පද්ධතියක් ගෙන එන්න රජය කටයුතු කරන බවත් රජය මෙය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන මැතිවරණ පොරොන්දු පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම නිසා බවත් බොරු කීමෙන් ලෝක වාර්තා තැබූ රජයට ජනතා බලාපොරොත්තු ඉටු නොකිරීම නිසා ජනතාව තුළ ඇති වූ කලකිරීමට ජනතා නැගිටීම් පාලනය කිරීමට මේ මර්දන පනත් ගෙනවිත් බොරු කියන අය ආරක්ෂා කරන පනත් ගෙනවිත් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට රටේ උත්තරීතර නීතිය කියන්නේ මොකද්ද කියා අමතක වෙලා

රටෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතර නීතිය වුවත් වත්මන් රජයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මේ උත්තරීතර නීතිය අමතක වී ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පවා අමතක වී ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වැනි පරිච්ඡේදයේ 9 වැනි ව්‍යවස්ථාවට අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම බුද්ධශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම සේම සෙසු ආගම් සංස්කෘතීන් හා ජාතීන් රැක ගැනීම ද වගකීම හා යුතුකම වන බවත් මේ වැඩපිළිවෙළ නිවැරදිව ක්‍රියාත්මක කළේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා බවත් එතුමා බුදුදහමට මුල්තැන් ලබා දී බුද්ධශාසනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැබිනට් අමාත්‍යාංශයක් පවා ස්ථාපිත කරමින් සෙසු ආගම් ජාති වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපිත කළ බවත් වර්තමානයේ ඒ වැඩපිළිවෙළ විනාශ කර ඇති මුත් නැවත වරක් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විධායකය කෙතරම් බලවත් වුවත් මහා සංඝරත්නයට අත තියන්න බලයක් නැහැ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්බුද්ධ ශාසනය රැකගැනීම පෝෂණය කිරීම හා ප්‍රවර්ධනය කිරීම යනුවෙන් සඳහන් වන්නේ බුදුදහමට ලබා දිය යුතු ගරුත්වය ලබා දීම සේම සෙසු ආගම්වලටත් නිසි ගරුත්වය ලබා දීම බවත් කිසිසේත්ම ගිහියකුට සිවුරකට අත තියන්න නොහැකි බවත් සිවුර පැළැන්දවීම සහ ඉවත් කිරිම මහනායක ස්වාමීන් වහන්සේලා සංඝසභාවල කටයුත්තක් බවත් කුමන චක්‍රලේඛ තිබුණත් කවුරු බලවත් වුවත් විධායක ජනාධිපතිවරයාට පවා ඒ අයිතිය නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කුමන නීතියක් තිබුණත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටයි

චක්‍රලේඛ නීතිරිති රෙගුලාසි විශාල ප්‍රමාණයක් මෑත කාලයේ යාවත්කාලීන වී නොමැති බවත් මේ සෑම රෙගුලාසියක්ම නීතියක් රීතියක්ම තිබිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව බවත් කුමන නීතිරීති රෙගුලාසි තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමේ දී ආගමික නායකයන්ට ලබා දෙන සැලකිල්ලේදී සංවේදී විය යුතු වුවත් වත්මන් රජයට මේ සංවේදීභාවය අමතක වි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2028 සිට ණය ගෙවන්නේ කොහොමද කියා රජයට කිසිදු අදහසක් නැහැ

එදා රණසිංහ ප්‍රේමදාස මහතා ඇති කළ ඇගලුම් කම්හල් 200 වැඩසටහන ගෙන ආ අවස්ථාවේ මේ කර්මාන්තශාලා පුච්චන්න උත්සාහ කළ අය අද බලයට පැමිණ මේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික පහසුකම්වත් සපයා දිය නොහැකි වි ඇති බවත් මේ නිසා මේ කර්මාන්තශාලා රට අතහැර යන තැනට පත්ව ඇති බවත් මේ තත්ත්වය නිසා 2028 සිට ණය ගෙවන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් මේ ණය ගෙවන්න නම් සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් රටට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 3
බෙදාගන්න
ජාතික ආරක්ෂාවට මුවා වී රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා | Lanka Newsweek