අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ජාතික ආපදා තත්ත්වයක් වහාම ප්‍රකාශයට පත් කරනු

ජාතික ආපදා තත්ත්වයක් වහාම ප්‍රකාශයට පත් කරනු

සර්ව පාක්ෂික ජාතික සභාවකින් COVID මරුවා පරදවමු ලෝකයේ වැඩිම COVID මරණ අනුපාතය ශ්‍රී ලංකාවෙන් 2022 ජනවාරි වන විට මරණ සංඛ්‍යාව 30,000 ඉක්ම විය හැකියි මේ ජාතික ආයාචනය සියලු රට වැසියන් අසත්වා..! (නිලන්ති…

සර්ව පාක්ෂික ජාතික සභාවකින් COVID මරුවා පරදවමු

ලෝකයේ වැඩිම COVID මරණ අනුපාතය ශ්‍රී ලංකාවෙන් 

2022 ජනවාරි වන විට මරණ සංඛ්‍යාව 30,000 ඉක්ම විය හැකියි 

මේ ජාතික ආයාචනය සියලු රට වැසියන් අසත්වා..!

(නිලන්ති මානෙල් චන්ද්‍රසේන)

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර සියලු දේශපාලන පක්ෂවලින් ද, සෞඛ්‍ය, ආරක්ෂක, ආර්ථික සහ සමාජ විද්‍යාඥයන්ගෙන් ද  සමන්විත වන ජාතික සභාවක් පිහිටුවා එක්සත් ජාතියක් ලෙස "කොවිඩ් මරුවා" පරාජය කිරීමට කටයුතු කරන ලෙස රජයට බල කර සිටින්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

දේශය අනාගත පරපුරට රක දීම වෙනුවෙන් ජාතික ආයාචනයක් කරමින් දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

දේශය ඊළඟ පරපුරට රැකදීම වෙනුවෙන් කෙරෙන ජාතික ආයාචනයයි. සියලු රට වැසියන් මෙහි ඇති වැදගත්කම වටහා ගනිත්වා.!!! මේ වන විට අපගේ මාතෘ භූමිය ඉතිහාසයේ දරුණුතම ව්‍යසනයකට මුහුණ දී සිටියි. මාරාන්තික COVID-19 වෛරසය ඉතාමත්ම සීඝ්‍රයෙන් ජනතාව අතර පැතිර යන අතර මරණ සංඛ්‍යාවද ඉතාමත් ඉහළ අගයක් ගනී. එම මරණ සංඛ්‍යාව කොතෙක්ද යත් ලෝකයේ වැඩිම COVID-19 වසංගත මරණ අනුපාතය ඇති රට ශ්‍රී ලංකාවයි.

දැන්වීම

මෙම අතිශය සෝචනීය, බිහිසුණු සහ ව්‍යසනකාරී තත්ත්වය අපට හඩගා කියා සිටින්නේ අප රටක් ජාතියක් ලෙස දැන්වත් එකට එක්ව එක්සත්ව සහ එක් සිත්ව නිසි පියවර කඩිනමින් ගත යුතු බවයි. මුළු රටම එක විට නිසි සෞඛ්‍ය ආරක්ෂක පියවරයන් ගත යුතු බවයි. මෙහිදි මුහුණු ආවරණ පැළදීම, විෂබීජ හරණ දියර පාවිචිය, භෞතික දුරස්තභාවය පවත්වා ගැනීම සහ රෝග ලක්ෂණ ගැන සැක පහළ කරන අය ස්වයං නිරෝධායනය කිරීම යන කාරණා ජනතාව ලෙස අප විසින් කළ යුතු වෙයි.

රජය විසින් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවල දායකත්වයෙන් එන්නත්කරණය වේගවත් කර ඇති අතර ඒ ක්‍රියාදාමය අපි අගය කරමු..! නමුත් සීඝ්‍රයෙන් පැතිර යන නව කෝවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ව්‍යාප්තිය අඩාල කිරීම සදහා එන්නත්කරණයෙන් සිදු කරනුයේ 50% ක පමණ දායකත්වයක් බව විශේෂඥ මතයයි. එබැවින් ඉතිරි 50% ආවරණය කර ගැනීම සදහා ඉහතින් අවධාරණය කළ පරිදි මහා ජන දායකත්වය අත්‍යාවශ්‍ය වෙයි. මේ සදහා මුහුණු ආවරණ, විෂබීජ නාශක දියර සහ නිරෝධායන කට්ටල මිලදි ගත නොහැකි ජනතාව සදහා එම උපකරණ නොමිලයේ ලබා දීමේ වැඩ පිළිවෙළක් රජය ආරම්භ කළ යුතුය. මේ සදහා COVID-19 අරමුදල සහ අවශ්‍ය නම් ජනාධිපති අරමුදල ඉතාමත් පාරද්‍රෘෂ්‍ය ආකාරයෙන් භාවිතා කිරීමට ජනතාව කැමැත්ත දෙනු ඇත.

එසේම වෛරසය පැතිරීම වැළැක්වීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කළ දැඩි සංචරණ සීමා ඇතළු රෙකමදාරුන් ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස අපි රජයෙන් දැඩිව ඉල්ලා සිටිමු. එසේ නොකළ හොත් ජාතියට අහිමි වන මනුෂ්‍ය ජීවිත ගණන 2022 ජනවාරි වන විට 30,000 ඉක්ම වනු ඇති බව විශේඥ මතයයි. එමෙන්ම මෙම වසංගත තත්ත්වයට අදාළව ජනතාවට නිවැරදි තොරතුරු සහ දත්ත දැන ගැනීමට සැළැස්වීම රජයේ වගකීමක් වන බවද අවධාරණය කරමු. තොරතුරු සැඟ වීම මගින් සහ නිවැරදි නොවන තොරතුරු ඉදිරිපත් කිරීමෙන් රටට සහ ජනතාවට සිදු විය හැකි හානිය වග කිව යුත්තන් තේරුම් ගත යුතුව තිබේ.

ඒ සමඟම ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සඳහා පුද්ගලික රසායනාගාරවලට ගෙවීමට සිදු වන මුදලෙන් 50%ක් හෝ රජය මඟින් දැරිය යුතුව තිබේ.
එබැවින් වහාම ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර සියලු දේශපාලන පක්ෂ ද, සෞඛ්‍ය, ආරක්ෂක, ආර්ථික සහ සමාජ විද්‍යාඥයන්ගෙන් ද  සමන්විත වන "ජාතික සභාවකින්" එක්සත් ජාතියක් ලෙස කොවිඩ් මරුවා පරාජය කිරීමට කටයුතු කරමු යැයි අපි රජයට බල කර සිටින්නෙමු.

මෙම වසංගතයෙන් වඩාත්ම පීඩාවට පත්ව සිටින්නෙත්, මරණයට පත් වෙන්නෙත් සමාජයේ ආන්තීකරණයට ලක්ව ඇති පිඩිත ජන කොටස් නිසා ඔවුන්ගේ එදිනෙදා ජිවිතය තහවුරු කරනු වස් ආපදා සමාජ-ආර්ථික ආරක්ෂණ දැලක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටිමු. මේ සදහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් කොන්දෙසි විරහිතව ලබාදීමට සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය කැප වෙන බව අවධාරණය කරනු කැමැත්තෙමු.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න