ජාතික ආණ්ඩුවට මුවා වෙලා ඇමතිකම් වැඩි කර ගන්න ආණ්ඩුවට ඉඩ නොතබමු..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5

මුළු ආණ්ඩුවම විකෘතියක්..! ජන මතය පිළිබිඹු නොවන පාර්ලිමේන්තුවක්..! (නිලන්ති මානෙල්) ඊනියා ජාතික ආණ්ඩු සංකල්පයට මුවා වී ඇමති ධූර වැඩි කර ගැනීමට ආණ්ඩුව දරන නිර්ලජ්ජිත උත්සාහය ජනතා විමුක්ති පෙරමුණ තරයේ…
මුළු ආණ්ඩුවම විකෘතියක්..!
ජන මතය පිළිබිඹු නොවන පාර්ලිමේන්තුවක්..!
(නිලන්ති මානෙල්)
ඊනියා ජාතික ආණ්ඩු සංකල්පයට මුවා වී ඇමති ධූර වැඩි කර ගැනීමට ආණ්ඩුව දරන නිර්ලජ්ජිත උත්සාහය ජනතා විමුක්ති පෙරමුණ තරයේ හෙළා දකින්නේ යැයි එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අවධාරණය කළේය.
කොළඹ,බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මුලස්ථානයේ සිකුරාදා (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කරමින් විජිත හේරත් මහතා මෙසේ ද කීය.
ජනාධිපතිවරුන් සීමාවක් නැතිව ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු පත්කරපු අත්දැකීම අපේ රටේ ජනතාව ඉතිහාසයේ ඕනෑ තරම් අත්විඳලා තියෙනවා.
මේ විදියට සීමාවක් නැතිව ඇමතිවරු පත්කිරීම ගැන සමාජයෙන් විරෝධයක් මතුවෙලා තිබෙනවා. එම විරෝධය නිසාම ව්‍යවස්ථාවට ඇමතිවරුන් සීමා කිරීමේ වගන්තියක් ඇතුළත් කරන්න අරගලයක් තිබුණා.
19වැනි ව්‍යවස්ථා සංශෝධනය ආපු වෙලාවේ අමාත්‍ය මණ්ඩලය 30කටත් නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරු 40කටත් සීමා කරන ලෙස වගන්තියක් ඇතුළත් කළා. නමුත් 19වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙන්න, ඔන්න මෙන්න තිබියදී ආණ්ඩුව පැත්තෙන් ජාතික ආණ්ඩු කතාවක් ගෙනල්ල ඇමතිවරු වැඩි කර ගැනීමේ යෝජනාවක් ව්‍යවස්ථාවට ඇතුල් කළා.
ඒ යෝජනාවට අපි විරුද්ධ වුණා. නමුත් ඒක ඇතුල් කළා. ජාතික ආණ්ඩුවක් නම් ඇමතිවරු ප‍්‍රමාණය පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ල සම්මත කර ගත යුතුයි. ඒ මොහොතේ යෝජනාව තිබුණේ ජාතික ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව 100ක් කියලයි. නමුත් ආණ්ඩුව පැත්තෙන්ම එම සීමාව ඉවත් කර ගත්තා.
දැන් මේ ආණ්ඩුව ව්‍යවස්ථාවේ ජාතික ආණ්ඩු කතාවෙන් රිංගලා ඇමති ධුර වැඩි කර ගන්න උත්සාහයක නිරත වෙලා ඉන්නවා. පසුගිය ඔක්තෝබර් 26 කුමන්ත‍්‍රණයෙන් පස්සේ එජාපය තනි ආණ්ඩුවක් හැදුවා. නමුත් එජාප ආණ්ඩුව ඇතුළෙත් බරපතල අර්බුද මතු වෙමින් තිබෙනවා. තමන්ට ලැබුණු ඇමති ධුර පිළිබඳව විවිධ ඇමතිවරු අදෝනා නගනවා.
රවී කරුණානායක වගේ මන්තී‍්‍රවරු තමන්ට මුදල් ඇමති ධුරය ලැබුණේ නැති එක ගැන විවිධ කතා කියනවා. ඇමති ධුර නියෝජ්‍ය ඇමති ධුර, රාජ්‍ය ඇමති ධුරවලට එජාපය ඇතුළේ පොරයක් තිබෙන බව ජනතාවට රහසක් නොවෙයි. මේ ඇමති පොරය නිසාම ඇතැම් අමාත්‍යාංශවලට ඇමතිවරු නැහැ. පෞද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ වැඩ කරන ජනතාව නියෝජනය කරන කම්කරු අමාත්‍යාංශයට කැබිනට් ඇමතිවරයෙක් නැහැ. වතු කම්කරුවන්ගේ වැටුප් අරගලයට විසඳුමක් ලබාදෙන්න දැන් මේ රටේ ඇමතිවරයෙක් නැහැ. මේ ඇමති පොරය රට හදන්න වුවමනාවෙන් නොවෙයි. තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් ඇති වෙලා තිබෙන ඇමති පොරය නිසා අද අපේ රටේ අමත්‍යාංශවලට ඇමතිවරු නැතිව අරාජික වෙලා තිබෙනවා.
මේ මන්තී‍්‍රවරුන්ට ඇමතිකමක් නැතිව මාසයක් ඉන්න බැහැ. ආණ්ඩුවෙන් එළියට වැටුණු සමහර මන්තී‍්‍රවරුන්ට ඇමතිකම නැති එකේ අමාරුව ඔවුන්ගේ හැසිරීමෙන් අපි දකිනවා.
එජාපයේ ඇමතිකම් නැති මන්තී‍්‍රවරුන්ටයි, ආණ්ඩුවෙන් එළියට වැටුණු ඇතැම් මන්තී‍්‍රවරුන්ටයි නැවත වරක් ඇමති ධුර බෙදා ගන්න නැවත වතාවක් ජාතික ආණ්ඩු ප්‍රෝඩාවක් ගෙන්න හදනවා.
එදා එජාප-ශී‍්‍රලනිප ජාතික ආණ්ඩුව හැදුවේ රට ගොඩනගන්න කියලා. නමුත් එජාපය-ශී‍්‍රලනිපය එකතු වෙලා කරපු දෙයක් නැහැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46 වගන්තියේ තියෙනවා, තනි ආණ්ඩුවක ඇමතිවරුන් සීමාව කොපමණද කියලා.
ජාතික ආණ්ඩුවක් නම් පාර්ලිමේන්තුවේ යෝජනාවකින් ඇමති ධුර ගණන තීරණය කර ගත හැකියි. දැන් ආණ්ඩුව කරන්න යන්නේ මුස්ලිම් කොංග‍්‍රසයේ වෙනම ඡන්දය ඉල්ලලා පත් වුණු මන්තී‍්‍රවරයා ආණ්ඩුවට එකතු කර ගෙන ජාතික ආණ්ඩුවක් හදන්න යන එකයි.
ඒක ඊනියා ජාතික ආණ්ඩුවක් පමණයි. ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා කියලා තිබෙනවා පාර්ලිමේන්තුවට ජාතික ආණ්ඩු යෝජනාවක් ගේන බවත් එය න්‍යාය පත‍්‍රයට ඇතුළත් කරන බවත්.
මේ කරන්නේ දැනටත් ආණ්ඩුව ඇතුළේම ඉන්න මුස්ලිම් කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරයා සමග එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදන එකයි. ඒක ලැජ්ජා නැති වැඩක්. මුස්ලිම් කොංග‍්‍රසය දිගටම හිටියේ ආණ්ඩුව ඇතුළේ. මේක ඇමති ධුර වැඩි කර ගන්න කරන උප්පරවැට්ටියක් පමණයි. මේ ආණ්ඩු තමන්ට හිතෙන ඕනෑම දෙයක් කරලා ඒක කළේ රට ස්ථාවර කරන්න, රට ගොඩනගන්න, රට ඉස්සරහට ගෙනියන්න වගේ කිතුල් ගහට නැගපු අයගේ කතා කියනවා.
අද මේ ආණ්ඩුවත් විකෘතියක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා, රටේ ජනාධිපතිවරයායි. ඔහු ආණ්ඩුවේ ප‍්‍රධානියා. කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා. ඒ විතරක් නෙවෙයි ඔහු අමාත්‍යංශ තුනකුත් පාලනය කරනවා. ඒ අතරම ඔහු නියෝජනය කරන පක්‍ෂය පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ඉන්නවා. ඔහු නියෝජනය කරන පක්‍ෂයේ මන්තී‍්‍රවරයෙක් විපක්‍ෂ නායක ධුරයේ ඉන්නවා.
එනිසා අද පාර්ලිමේන්තුවේ සැබෑ ජනමතය නියෝජනය වෙන්නේ නැහැ. මේ තත්වය නිසයි අපි දිගින් දිගටම කිව්වේ ඔක්තෝබර් 26 කුමන්ත‍්‍රණය පරාජය කරලා අලුත් පාර්ලිමේන්තුවක් හදන්න ජනතාවට අවස්ථාව දෙන්න ඕනෑ කියලා.
ඒ වගේම මේ වනවිට වතු කම්කරුවන්ට දෛනික වැටුප රු. 1000ක් දක්වා වැඩි කරන ලෙස සටනක් දියත් වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවෙත් හඬ නැගුවා. වතු කම්කරු ජනතාව සමඟ එකතු වෙලා සටනක් ගෙන ගියා. ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු පොරොන්දු වුණා, ඔවුන්ට රුපියල් 1000ක දෛනික වැටුප දෙන එක සාධාරණයි කියලා.
නමුත් ආණ්ඩුව වතු කම්කරු ජනතාව රැවැට්ටුවා. ඔවුන්ට දිනකට වැටුප ලෙස වැඩිවුණේ රුපියල් 20ක් පමණයි. ඊට පෙර ඔවුන්ගේ වැටුප වුණේ, රුපියල් 730යි. එයට මූලික වැටුප 500ත් දීමනා ලෙස 230කුත් ඇතුළත් වුණා. දැන් ඔවුන්ගේ වැටුප රු.750 බවට පත්කරලා තිබෙනවා. ආණ්ඩුව සිදු කර තිබෙන්නේ මූලික වැටුප 700ක් කරලා දීමනාව රුපියල් 50ට අඩු කරන එකයි.
ඇතැම් ඇමතිවරු කියනවා, වතු කම්කරුවන්ට රුපියල් 855ක් වැටුප් වැඩි වුණා කියලා. ඔවුන් කියන්නේ ඊපීඑෆ් සඳහා කැපෙන 105ත් එකතු කරලා. ඒක අසාධාරණ කතාවක්. වතු කම්කරුවන්ගේ ඉල්ලීම ඉතාම සාධාරණයි. ඔවුන්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ලබාදිය යුතුයි. අපේ ස්ථාවරය වෙන්නෙ වතු කම්කරුවන්ගේ දෛනික වැටුපත් රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප අනුව ඔවුන්ට ලැබෙන දිනක වැටුපට සමාන විය යුතු බවයි.
මේ වනවිට රාජ්‍ය සේවකයින්ට දිනක වැටුප රුපියල් 1281ක් පමණ ලැබෙනවා. වතු කම්කරුවන්ට දිනෙක වැටුප රුපියල් 1000ක් ලබාදීමට වතු සමාගම්වලට හැකියාවක් නැහැ කියලා ආණ්ඩුව පිළි ගන්නවා නම් ඉතිරි මුදල ආණ්ඩුවෙන් ලබාදිය යුතුයි. ඒ සඳහා ඊළඟ අයවැයෙන් මුදල් වෙන් කිරීමට යොජනාවක් ආණ්ඩුව ගෙන ආ යුතුයි.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්...
මහ මැතිවරණයක් ගැන කලින් ඝෝෂා කරපු අය දැන් ඒ පිළිබඳව කතා කරන්නේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් ගේනවා නම් එය 2/3න් සම්මත කර ගත යුතුයි. ඒ සඳහා හැකියාවක් තිබෙනවා නම් පමණයි යෝජනාව ගෙන ඒමට පුළුවන්. අපි ඒ සම්බන්ධයෙන් අනෙකුත් පක්‍ෂ සමග සාකච්ඡා කරන්න සූදානම්. නමුත් ආණ්ඩුවේ කිසිම සූදානමක් නැති බවයි අපට පෙනෙන්නේ. පාර්ලිමේන්තුවේ 2/3 ලබාගන්න විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් පමණක් ප‍්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා ආණ්ඩුවේ සහායත් අවශ්‍යයි.
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පක්‍ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරලා තිබෙනවා. නමුත් එය නිල අවසන් සාකච්ඡාවක් නොවෙයි. ඒක පක්‍ෂ නායකයින්ගේ අදහස් ලබා ගැනීමක් පමණයි. මැතිවරණය අලුත් පනතට අනුව යනවද, පැරණි පනතට අනුව යනවද කියලා තීරණය කළ යුත්තේ ආණ්ඩුවයි.
පරණ විදිහට මැතිවරණය පවත්වනවා නම් අලුත් පළාත් සභා පනත අත්හිටුවලා පැරණි පනතට අනුව පවත් වන්න පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගත යුතුයි. නමුත් අපි කියන්නේ මේ වෙලාවේ අවශ්‍ය වෙලා තිබෙන්නේ පළාත් සභා හෝ ජනාධිපතිවරණ මැතිවරණයක් නොවෙයි. පාර්ලිමේන්තුවේ විකෘතිය නැති කරන්න අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි. තවදුරටත් මුදල් කාබාසිනියා කරන ජනාධිපති මැතිවරණයක් වෙනුවට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට කටයුතු කළ යුතුයි.
මේ වනවිට රේගු අධ්‍යක්‍ෂය ජනරාල්වරිය ඉවත් කිරීම නිසා වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබෙනවා. හිටපු රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඉවත් කොට ඒ සඳහා පත් කිරීමේ පටිපාටියට පිටින් පරිපාලන සේවයේ නැති අයෙකු පත්කිරීම ගැටලු සහගත දෙයක්. මේ වන විට තාවකාලිකව මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙක් රේගුවට පත්කොට තිබෙනවා. නමුත් ස්ථිර අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක් පත් කරනවා නම් පත්කිරීමේ පටිපාටිය අනුගමනය කළ යුතු බව අපගේ ස්ථාවරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5