අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජාතික-ආගමික සංහිඳියාවකින් තොරව රටකට අනාගතයක් නැහැ

ජාතික-ආගමික සංහිඳියාවකින් තොරව රටකට අනාගතයක් නැහැ

ජාතික-ආගමික සංහිඳියාව ඇති කිරීම සියලු දෙනාගේම වගකීමක් ජාතික-ආගමික සමගිය වෙනුවෙන් සියල්ලන් පෙරට ආ යුතුයි කරූ සර්වාගමික-සිවිල් සමාජ සමුළුවක් කැඳවයි රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන…

ජාතික-ආගමික සංහිඳියාව ඇති කිරීම සියලු දෙනාගේම වගකීමක් 

ජාතික-ආගමික සමගිය වෙනුවෙන් සියල්ලන් පෙරට ආ යුතුයි 

කරූ සර්වාගමික-සිවිල් සමාජ සමුළුවක් කැඳවයි 

රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි ජනතාව අතර ජාතික සහ ආගමික සංහිඳියාව ගොඩනැගීමට ඇපකැප වී ක්‍රියා කිරීම සියලු පාර්ශවයන්ගේ ජාතික වගකීම, යුතුකම සහ කාර්ය භාරය වන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

ජනතාව අතර ජාතික සහ ආගමික සංහිඳියාව ඇති නොකර රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව පෙන්වා දුන් කරු ජයසූරිය මහතා නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍රයන්හි ඇතිවූ බරපතළ පසුබෑම් සේම ජන ජීවිතයේ කඩා වැටීම් කෙරෙහි ජාතීන් සහ ආගම් අතර ඇතිවූ ප්‍රතිවිරෝධතාවයන් තීරණාත්මක ලෙස බලපෑමක් සිදු කර තිබෙන බව ද කියා සිටියේය. 

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව අවධාරණය කර සිටියේ, ජාතික සහ ආගමික සංහිඳියාව වෙනුවෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ "ජානකී" හෝටලයේ දී බදාදා කැඳ වනු ලැබූ සර්වාගමික සහ සිවිල් සමාජ සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

දැන්වීම

ජාතික සහ ආගමික සංහිඳියාව සඳහා වූ සඳහා වූ එකමුතුවේ ආරම්භක රැස්වීමට අද විශිෂ්ට සහ ගෞරවනීය සහභාගීත්වයක් ලැබී තිබීම අතිශයින් අගය කළ යුතුයි. මහා සංඝරත්නය ඇතුළු සියලු ආගම් සහ ජාතීන් නියෝජනය කරමිනුයි අප මෙසේ රැස් වී සිටින්නේ. අද රටේ සෑම දෙනාගේම එකම ප්‍රාර්ථනය නිදහස්, නිවහල්, ජාතික සහ ආගමික සමගිය ඇති ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටක ජීවත් වීමයි. අප ඒ ස්ථාවරය ඊළඟ පරපුරට ලබා දිය යුතුයි.

නිදහසට පෙර සෞභාග්‍යමත් රටක් වූ අප මවුබිම නිදහසින් පසු සීඝ්‍රයෙන් පිරිහුණා. අපට අසාර්ථක හමුදා කුමන්ත්‍රණ දෙකකට, තරුණ අසහන කැරළි දෙකකට තරුණ අසහනය නිසා ඇතිවූ ගැටුම්වලට සේම ජාතිවාදී අරගලයකින් අවසන් වූ යුද්ධයකට ද මුහුණ දීමට සිදු වුණා. අද අප ජාතියක් ලෙස ආගම් සහ දේශපාලන වශයෙන් බෙදුණු රටක් බවට පත් වෙලා.

ගෞරවනීය මහා සංඝ රත්නය ප්‍රධාන සර්වාගමික නායකයින්ගේ සහ අපගේ මේ අහිංසක ප්‍රයත්නය මෙම අවාසනාවන්ත තත්ත්වය නිමා කිරීමයි. අපගේ ජාතිය සහ අපගේ ආගම අප ඉල්ලා ලබාගත්තක් නොවේ. අප ඉපදෙන ස්ථානය, මව සහ පියා වැනි කාරණාමත සියල්ල තීරණය වනවා. බෞද්ධයන් වන අපට කිසි විටෙකත් ජාතිවාදී වෙන්න බැහැ. වාසෙට්ඨ සූත්‍රයේ බුදුන් වහන්සේ සඳහන් කළේ මිනිස් වර්ගයාම එකම ජාතියක් බවයි. අනෙකුත් ජාතීන් වශයෙන් හැඳින් වූයේ සිවුපා, පක්ෂීන්, මත්ස්‍ය ආදී විවිධ ප්‍රාණීන් බව කිව යුතුයි. එසේ නම් අපි බුදුන් වහන්සේගේ එම දෙසූමට සහ එම සත්‍යයට ගරු කළ යුතුයි. ජාතිවාදී අදහස් දරන අය ඇත්නම් මහා සංඝරත්නය ඒ අය දැනුවත් කළ යුතුයි. ජාතීන් වශයෙන් බෙදී ලේ හලා ගනිමින් රට විනාශ කිරීමට අවශ්‍යද..?

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍රයන්හි ඇතිවූ බරපතළ පසුබෑම් සේම ජන ජීවිතයේ කඩා වැටීම් කෙරෙහි ජාතීන් සහ ආගම් අතර ඇතිවූ ප්‍රතිවිරෝධතාවයන් තීරණාත්මක ලෙස බලපෑමක් සිදු කර තිබෙනවා. එවැනි මුලයන් පසු කලෙක මේ රටේ බරපතළ අර්බුද ගණනාවක් නිර්මාණය කළ අතර දික් ගැස්සුණ දැවැන්ත යුද්ධයකට ද හේතු කාරක වුණා. 

ඒ මඟින් පමණක් විනාශයට පත්වූ ජීවිත සංඛ්‍යාව අති විශාලයි. එමෙන්ම ඒ මඟින් මේ රටේ සමස්ත ආර්ථිකයට සහ ජාතියේ යහපත් ප්‍රතිරූපයට ද ඇති කරන ලද විනාශකාරී බලපෑම ඉහළ අගයක් ගන්නවා. එවැනි අවාසනාවන්ත තත්ත්වයකට රට ඇද වැටීම කෙරෙහි බලපා ඇති හේතු සාධක කෙරෙහි සමාජ සහ දේශපාලන විශ්ලේකෂකයින් පෙන්වා දෙන මූලික සාධක අතර පූර්ව නිදහස් යුගයේදී ජාතික රාජ්‍යයක් ගොඩනැගීම සඳහා වූ ක්‍රියාවලිය මත පොදු සමාජය අතරෙහි පුළුල් සංවාදයක් නොතිබීම සේම ඒකාබද්ධ සම්මුතියක් ඇති කර ගැනීමට අපෙහොසත්වීම පමණක් නොව නිදහසින් පසු දේශපාලන බල අවශ්‍යතා පදනම් කර ගනිමින් ජාතීන් සහ ආගම් අතර ප්‍රතිවිරෝධතාවයන් නිර්මාණය කිරීමට ඇතැම් පාර්ශව සැලසුම් සහගතව ගෙනඇති ක්‍රියාමාර්ග ද මුල් වී තිබෙනවා. එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දැනුවත් සහ බලපෑම් සහගත කණ්ඩායම් එම කරුණු කෙරෙහි පුළුල් මැදිහත්වීමක් සිදු නොකිරීම කෙරෙහිද අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

අවාසනාවකට වගේ අද පවා රටේ එවැනි තත්ත්වයන් නිර්මාණයවීම සඳහා බොහෝ සාධක නිර්මාණය වෙමින් තිබෙනවා. මෑත ඉතිහාසයේ සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇති වූ තත්ත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමේදී සිංහල සහ මුස්ලිම් ප්‍රජාව අතර වගේම බෞද්ධ පොදු සමාජය සහ කතෝලික-ක්‍රිස්තියානි ප්‍රජාවන් අතර ද, සමස්තයක් වශයෙන් ගත් කල සිංහල දෙමළ සහ මුස්ලිම් ජාතීන් අතර පමණක් නොව සියලු ආගම් අතර ද විවිධ සැක සංකා, දුක්ගැනවිලි, චෝදනා සේම ඒ මත ගොඩනැගෙන ප්‍රතිවිරෝධතාවයන් ද වරින් වර ඉස්මතු වෙමින් පවතිනවා. 

මෙම තත්ත්වය රටේ ඉදිරි යහපැවැත්මට තීරණාත්මක ලෙස අහිත කර වනු නියතයි. වගකීම් සහගත සංවිධාන සහ පුරවැසියන් ලෙස ඒ පිළිබදව අප ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් රටේ නිර්මාණය නොවීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කළ යුතුව තිබෙනවා. එම කාර්ය භාරය අපගේ ප්‍රමුඛ සහ අත්‍යවශ්‍ය වගකීමක් වී තිබෙනවා. 

ජාතික සහ ආගමික සංහිඳියාව සඳහා වන එකමුතුව ලෙස අද මෙම විශේෂ සමුළුව සංවිධානය කිරීම මඟින් අපේක්ෂා කරන්නේ මේ රටේ වඩාත්ම බලපෑම් සහගත කණ්ඩායමක් ලෙස සැලකෙන ආගමික සංස්ථාවන් සහ සිවිල් සමාජ සංවිධාන අතර ඒ පිළිබදව පුළුල් කතිකාවක් නිර්මාණය කිරීමට දායකවීමයි. එමෙන්ම එකි වගකීම පිළිබදව මේ රටේ සමස්ත සමාජයම දැනුවත් කිරීම සඳහා වන උත්සහයක නියලීමයි. ඒ මඟින් ජාතික සහ ආගමික සංහිඳියාව උදෙසා සමස්ත ජනතාව අතර වගකීම් සහගතව ක්‍රියා කිරීමෙහි ඇති වැදගත්කම සේම අවශ්‍යතාවය පෙන්වාදීමයි. එකී වගකීම අප සියල්ලන්ම සතු  වන බව අපගේ බලවත් විශ්වාසයයි. 

මේ උදාර අවස්ථාවට අද සහභාගී වී සිටින සම්භාවනීය සහභාගිත්වයේ  අවවාද අනුශාසනා ලබා ගෙන ජාතික සහ ආගමික සමගිය ගැන රට පුරා ගොස් කතා කරනවා. ඒ සඳහා ඔබගේ ආශිර්වාදයත් අනුමැතියත් සහභාගිත්වයත් අවශ්‍ය වෙනවා. වාසනාවන්ත සෞභාග්‍යමත් රටක් දැන්වත් බිහි කිරීමට අපි එක්වෙමු..!
 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
ජාතික-ආගමික සංහිඳියාවකින් තොරව රටකට අනාගතයක් නැහැ | Lanka Newsweek