ජනවාරියේ සිට බිත්තරත් නැහැ ලු..!

බිත්තර-කුකුළු මස් මිල අහස උසට නගිනවා ලු..! 2023 ජනවාරි මාසය වන විට උග්‍ර බිත්තර හිඟයකට රටට-ජනතාවට මුහුණ පෑමට සිදු වන බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සුසන්ත මල්ලවආරච්චි මහතා පවසයි. මේ…
බිත්තර-කුකුළු මස් මිල අහස උසට නගිනවා ලු..!

2023 ජනවාරි මාසය වන විට උග්‍ර බිත්තර හිඟයකට රටට-ජනතාවට මුහුණ පෑමට සිදු වන බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සුසන්ත මල්ලවආරච්චි මහතා පවසයි.
මේ හේතුවෙන් ජනවාරි මාසයෙන් පසු බිත්තර මිල තව තවත් ඉහළ යාමේ තත්ත්වයක් උද්ගත විය හැකි බව පෙන්වා දෙන වෛද්‍ය සුසන්ත මල්ලවආරච්චි මහතා බිත්තර අර්බුදයට හේතු ඉදිරිපත් කරමින් උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් මෙසේ ද කීය.
දැන්වීම
"මේ ගැටලුවට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ බිත්තර ලබාගන්නා කිකිළි පැටවුන්ගේ මවු සතුන්ගේ හිඟයයි. වාර්ෂිකව අපට මෙම මවු සතුන් 80,000ක් අවම වශයෙන් අවශ්‍ය වුණ ද අපට මෙවර ආනයනය කිරීමට ලැබුණේ මවු සතුන් දසදහසකට ආසන්න සංඛ්‍යාවක් විතරයි. ඒකට ප්‍රධාන හේතුව වුණේ අපේ රට මේ වන විට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයයි.
එම මුදල් ගැටලුව මත පශු ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදෙන ප්‍රමුඛතාවක් ලැබුණේ නෑ. ඒ නිසයි මවු සතුන් ආනයනය මේ තරම් අඩු වුණේ. මේක ඉදිරියට බලපාන බරපතළ ප්‍රශ්නයක් බවට අනිවාර්යෙන් පත්වෙනවා. ඒ අවශ්‍ය මවු සතුන් දැන් ගෙනාවත් ඒ අය බිත්තර දාලා කිකිළි පැටව් බෝ කරලා අපට බිත්තර ගන්න අවම වශයෙන් මාස හයක් පමණ කාලයක් යනවා. ඒ සම්බන්ධයෙන් මේ දක්වා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙලා නෑ.
අපි සංගමය වශයෙන් මේ සම්බන්ධයෙන් රජය දැනුවත් කරලා තියෙනවා. රජයත් හැකි ආකාරයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව අප වෙත දැනුම්දී තිබෙනවා. කුකුළු මස් සම්බන්ධයෙන් මේ තරම් ගැටලුවක් ඇති වෙන එකක් නෑ. ඒ සඳහා අවශ්‍ය මවු සතුන් ලංකාවේ මේ වන විට බෝ කරනවා.
මේකට පිළියමක් වශයෙන් බිත්තර හා කුකුළු මස් ආනයනය කරන්නැයි ඉල්ලීම් ගලා එනවා. ඒත් පශු වෛද්‍යවරුන්ගේ සංගමය වශයෙන් අපි ඒකට කොහොමවත් ඉඩ දෙන්නේ නෑ. බිත්තර හා කුකුළු මස් කියන්නේ සජීවී සෛල ඇති දෙයක්. මේවා ආනයනය කරද්දි විනාශකාරී බැක්ටීරියා හා වයිරස් අපේ රටට පැමිණීමට තියෙන ඉඩකඩ වැඩියි. බැක්ටීරියා වෛරස් පරීක්ෂා කිරීමේදී ඉතා කුඩා කොටසක් තමයි පරීක්ෂාවට ලක්වෙන්නේ.
සම්පූර්ණ කන්ටේනර් ගණන් පරීක්ෂා කිරීමේ හැකියාවක් නෑ. මෙමගින් අපේ රටේ බිත්තර හා කුකුළු මස් කර්මාන්තය සම්පූර්ණයෙන් ම විනාශ වෙන්න පුළුවන්. දීර්ඝකාලීන විසඳුමකට යනු විනා කෙටි කාලීන විසඳුමකට ගියොත් මේ ක්ෂේත්‍රය නැත්තට ම නැති වෙනවා. අපි බිත්තර සඳහා මවු සතුන් ගෙන ඒමේදී නිසි ප්‍රමිතිකරණයකට අනුව නිරෝධායනය කොට නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයකට තමයි ඒ සතුන් යුරෝපයෙන් ආනයනය කරන්නේ. ඒ ගෙනාවත් ඒ සතුන් අපේ සත්ත්ව ගොවිපළේ මාස හතරක කාලයක් නිරීක්ෂණය කරනවා.
යම්කිසි හෝ ලෙඩක් පෙන්වනවා නම් ඒ සතුන් සම්පූර්ණයෙන් ම විනාශ කරනවා. කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාමට තවත් ප්‍රධාන හේතුවක් වනුයේ එම සතුන් සඳහා අවශ්‍ය සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ අමුද්‍රව්‍යවල හිඟයයි. ඒවා බොහෝමයක් පිටරටින් ගේන්න වෙලා තියෙනවා. විදෙස් මුදල් අර්බුදය ඒකටත් බලපා තිබෙනවා.
බිත්තර හා කුකුළු මස් මිල තීරණය කිරීමේදී ඒ සඳහා විද්‍යාත්මක ගණනයක් සිදු නොකිරීමෙන් මිල තීරණය කිරීමේ යම් ගැටලුවක් නිර්මාණය වෙලා තිබෙනවා. මිල තීරණය කිරීමේදී විද්‍යාත්මකව ගණනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. කෙසේ වුවත් ඉදිරි කාලයේදී බිත්තර හා කුකුළු මස් මිල ඉහළ යෑමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා."