ජනපති බලයට ඇවිත් මාස 17 ට විදේශ සංචාරම 18ක් ගිහින්

රටෙන් හොරා කෑ ධනය සජබ රජයක් යටතේ රටට යළි ගෙන එනවා හොරුන්ගෙන් බලයට ආ අයට හොරුන් අල්ලන්න පුළුවන් ද..? කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දළ දේශීය නිෂ්පාදිතයට 50%ක් සහ රැකියා නියුක්තියෙන් 52%ක ට වැඩි…
රටෙන් හොරා කෑ ධනය සජබ රජයක් යටතේ රටට යළි ගෙන එනවා
හොරුන්ගෙන් බලයට ආ අයට හොරුන් අල්ලන්න පුළුවන් ද..?
කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දළ දේශීය නිෂ්පාදිතයට 50%ක් සහ රැකියා නියුක්තියෙන් 52%ක ට වැඩි දායකත්වයක් ලබා දුන්නත් අද එම පද්ධතිය කඩා වැටී ඇති බවත් රජයේ සංඛ්‍යා ලේඛන අනුව ලක්ෂ ගණනින් කර්මාන්ත ශාලා වැසී ගොස් ඇති බවත් ඊට හේතුව අදූරදර්ශී රාජ්‍ය පාලනය, වැරදි ආර්ථික ප්‍රතිපත්තිය, දුර්වල ආර්ථික කළමනාකරණය, ඵලදායි නොවන සුදු අලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ප්‍රතිලාභ නොලැබෙන සුදු අලි ව්‍යාපෘති සඳහා මහා විශාල ණය කන්දරාවක් ගැනීම හේතුවෙන් රටේ ණය බරතාව ඉතාම ඉහළ තලයකට ප්‍රවේශ වීම මත ණය ගෙවා ගත නොහැකිව රට බංකොලොත් වීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
යුක්තිය සාධාරණත්වය ගැන කතා කරන විට මෙරට ආර්ථික එංජිම වන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත පාස්කු ප්‍රහාරය, කොරෝනා තත්ත්වය සහ බංකොලොත්භාවය හේතුවෙන් ණය ගෙවීමට නොහැකි තත්ත්වය මත තරඟයට මේ ව්‍යාපාරවල දේපොළ "පරාටේ" නීතිය හරහා වෙන්දේසි කරන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් මෙම කර්මාන්තකරුවන්ට "පරාටේ" නීතිය ක්‍රියාත්මක කළත් මහා පරිමාන ණය ගත් ණය තෝරුන්, මෝරුන් සහ තල්මසුන් ජනාධිපති, අගමැති සහ දේශපාලන අධිකාරිය සමඟ තිබෙන සම්බන්ධකම් නිසා එම ණය ප්‍රතිව්‍යුහගත කර ව්‍යාපාර ආරක්ෂා කර ගෙන සතුටින් සිටින බවත් මෙහි යුක්තියක් දක්නට නොලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
සාමාන්‍ය ජනතාවට එක නීතියක් සහ රටේ දේශපාලන බලවතුන් සමඟ සම්බන්ධ වී ඇති සුපිරි ව්‍යාපාරිකයන්ට එක නීතියක් බවත් මාස ගණනාවක් පුරා මහ ජන බැංකුවේ සහ ලංකා බැංකුවේ වැඩිම තනි පුද්ගල සහ ව්‍යාපාර ණය ලබා ගෙන නොගෙවන පුද්ගලයන් සහ ආයතන ලැයිස්තුව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා කවදාවත් මේ ප්‍රශ්නවලට පිළිතුරු නොදුන් බවත් මුදල් රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනා පවා එම ප්‍රශ්න යට ගැසූ බවත් මෙසේ ණය ගෙන නොගෙවන මහා පරිමාණ ව්‍යාපාරිකයන් දේශපාලන වාසි වෙනුවෙන් රැක ගන්නා බවත් ඔවුන්ගේ මුදල් උපයෝගී කර ගෙන ආණ්ඩුව මැතිවරණවලට මුදල් ලබා ගැනිමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව අවධාරණය කර සිටියේ, "යුක්තිය වෙනුවෙන් ජන මතය" වැඩ සටහන යටතේ කඩවත දී සංවිධානය කෙරුණු මහා ජන හමුවට එක් වෙමිනි.
බදු මුදලින් ජනපති ලෝකෙ වටේ සංචාරේ
රට බංකොලොත් කළ කණ්ඩායම් තමන්ට රිසිසේ ගිණි පොලී ණය ලබා ගෙන ප්‍රතිලාභ නොලබන දැවැන්ත ව්‍යාපෘතිවලට මුදල් වියදම් කර රටේ ජනතාව ණය බරින් තෙරපා රට බංකොලොත් කළ බවත් එම රටේ පවා දූෂණය වංචාව සහ හොරකම රජ කරවන බවත් රජය මෙවැනි ප්‍රශ්න තිබියදී කෙසේ හෝ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට පොදු ජනතාවගේ බෙල්ලා මිරිකා හෝ බදු ගසා බදු ආදායම් වැඩි කර එම මුදල් ජනාධිපතිවරයාගේ සංචාරවලට පවා යොදා ගන්නා බවත් විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
ජනාධිපතිවරයා බලයට පැමිණ මාස 17 ඇතුළත විදේශීය සංචාර18ක් ගිය බවත් ඒ සදහා අයවැයෙන් වෙන් කළ මුදලට අමතරව තවත් ලක්ෂ 2000ක් වෙන් කළ බවත් හෙට අනිද්දා කිසිදු වැදගත් නොවන සම්මන්ත්‍රණයකට ඕස්ට්‍රේලියාවේ පවා යාමට නියමිත බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
රජය පිස්සු නැටුවාට විපක්ෂේ අපි පිස්සු නටන්නේ නැහැ
රජය මෙවැනි ආකාරයට හැසිරුණත් සමගි ජන බලවේගය විසින් රට සේවා ආර්ථිකයකට සීමා නොකර නිෂ්පාදන ආර්ථිකයක් කරා ගෙන යන බවත් වර්තමානය වන විට සේවා ආර්ථිකය පවා අප රටේ හරිහැටි සිදු නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සෙසු රටවලට වඩා අප රටේ ශ්‍රමිකයන්ගේ ගුණාත්මකභාවය ඉහළ නංවා ඒ ඔස්සේ තරගයක් ලබා දිය හැකි බවයි.
සමගි ජන බලවේගය බලය නොමැතිව පවා රටේ ලක්ෂ 220 වෙනුවෙන් අධිකරණයට ගොස් රට බංකොලොත් කළ රාජපක්ෂ හවුල අනාවරණය කර ගත් බවත් මෙම නඩු තීන්දුව හරහා ඕනෑම කෙනකුට මෙම අදූරදර්ශී රාජ්‍ය පාලනය නිසා අගතියට පත් ඕනෑම පාර්ශ්වයකට වන්දි ලබා ගත හැකි බවත් ඒ සඳහා වන නීති සහාය ලබා දීමට සමගි ජන බලවේගය සූදානම් බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
නමුත් වර්තමානයේ ඇත්තේ හොරු රකින යුගයක් බවත් සමගි ජන බලවේග රජයක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂා වන ආයතන ඇති කර අල්ලස දූෂණ වංචාව තුරන් කරන බවත් දැනට තිබෙන නීති ප්‍රමාණවත් නොවන නිසා නව ක්‍රමවේදයක් හරහා එම නීති සම්පාදනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දූෂණය නැති කරන්න සුළු බහුතරයකින් වෙනස් කළ නොහැකි නීති ගෙන ආ යුතුයි
ඕනෑම බහුතරයක් හරහා හොර දේවල් පවා නීතිගත කරන්න පාර්ලිමේන්තුවට බලයක් ඇති බවත් පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ පවා එවැනි දෙයක් සිදු වූ බවත් එම නිසා මෙවැනි බහුතරයෙන් සම්මත කර ගන්නා නිතියක් වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා අල්ලස සහ දූෂණය නැති කරන ආයතන බිහි කර ඒවා සුළු බහුතරයකින් වෙනස් කළ නොහැකි ආකාරයට ශක්තිමත් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
වත්මන් ජනපති හොරුන් රකිනවා-ජනතාව මේවා දැන ගත යුතුයි
වත්මන් ජනාධිපතිවරයා රැකෙන්නේ පාර්ලිමේන්තුවේ සිටින රට බංකොලොත් කළ රාජපක්ෂ මන්ත්‍රී බහුතරයෙන් බවත් ඒ ගැන ජනතාව දැනුවත් විය යුතු බවත් ඔවුන් අසාධාරණ බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් එබැවින් දැන්වත් යථාර්ථවාදීන සත්‍යවාදීව තීන්දු තීරණ ගන්න මැදිහත් වන ලෙසත් පසුතැවිලි වන දේශපාලන තීන්දු නොගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා කීය.
අපිව සල්ලිවලට ගන්න බැහැ
මේ ගමන යාම ලෙහෙසි පහසු නොවන බවත් සමගි ජන බලවේගය ප්‍රතිපත්ති ගරුක නිසා කිසිදු පාර්ශ්වයකට මුදලකට ගත නොහැකි බවත් යම් දිනක බලයට පැමිණෙන්නේ ජනතා වරමින් බවත් එසේ පැමිණ රටට හිතැති ජනතාවට සෙත සලසන සෞභාග්‍යයක් ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016 වාර්තාව අනුව රටේ පොහොසතුන් සියයට 20ක් ජාතික ආදායමෙන් 52ක් භුක්ති වින්ද බවත් දුප්පත්ම 20% භුක්ති වින්දේ 5%කට ආසන්න ජාතික ආදායමක් බැවින් මේ තත්ත්වය වෙනස් කර ඇති හැකි නැති බැරි පරතය නැති කර දැමිය යුතු බවයි.
