අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති ජර්මනියට..!

ජනපති ජර්මනියට..!

වැඩබලන අමාත්‍යවරු 4ක් පත් කෙරේ..! ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද (10) රාත්‍රියේ පිටත්ව ගියේය. ජර්මානු ජනාධිපති…

වැඩබලන අමාත්‍යවරු 4ක් පත් කෙරේ..!

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද (10) රාත්‍රියේ පිටත්ව ගියේය.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier) ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ජුනි 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු නිල සංචාරයේ නිරත වේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා, ජර්මානු ජනාධිපති, චාන්සලර්, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ රාජ්‍ය ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර, රජයේ ප්‍රමුඛතා මත පදනම් ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

දැන්වීම

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, ආයෝජන අවස්ථා, රටේ වර්ධන ශක්‍යතාවයන් සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමට ඇති අවස්ථා පිළිබඳව අවධාරණය කරනු ඇත.

තවද, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල (Tourism and Travel Industry Associations) නියෝජිතයන් මෙන්ම ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ද හමුවීමට නියමිතය.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගී වෙති.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier) ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.

ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ සඳහා මෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර ඇත.

ඒ අනුව මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද, ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාද, ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු , විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ද පත් කර තිබේ.

- ජනාධිපති මාධ්‍ය අංශය-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න