අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති අනුරට ලිපියක්..!

ජනපති අනුරට ලිපියක්..!

ලසන්ත වික්‍රමතුංග ගාතනයේ සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් තව දුරටත් නීති මගින් කටයුතු සිදු නොකරන බවට දන්වමින් නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලද ලිපිය…

ලසන්ත වික්‍රමතුංග ගාතනයේ සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධයෙන් තව දුරටත් නීති මගින් කටයුතු සිදු නොකරන බවට දන්වමින් නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් සිය විරෝධය පල කරමින් සහ ඒ පිළිබඳව රජයේ ස්ථාවරය විමසමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වුර්තීය සමිතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත බදාදා (05) ලිපියක් යොමු කර ඇත.

එමගින් ඔවුන් තව දුරටත් පෙන්වා දී ඇත්තේ ජාතික ජනබලවේග ආණ්ඩුව ජනතාව හමුවේ තබන ලද පොරොන්දු අතර මෙම බිහිසුණු අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමද මූලික කරුණක් ලෙස සලකන ලද බවයි. එම ලිපිය පහත පරිදි වේ.


2025 පෙබරවාරි 05 දින

දැන්වීම


ගරු ජනාධිපති අනුර කුමාර දිසානයක මැතිතුමා
ජනාධිපති කාර්යාලය
කොළඹ - 02


ගරු ජනාධිපතිතුමනි

ලසන්ත ඝාතනයේ සැකකරුවන්ට නීති මගින් කටයුතු නොකිරීම පිළිබඳ නීතිපති විධානය

ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා බිහිසුණු ලෙස ඝාතනය කිරීමට සම්බන්ධ චෝදනා එල්ල වී තිබුණ සැකකරුවන් තිදෙනකුට විරුද්ධව නීති මගින් කටයුතු නොකරන බවත්, ඔවුන් නිදහස් කල හැකි බව මහේස්ත්‍රාත්වරයාට දන්වන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යවමින් නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් දන්වා යවා ඇත.

ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවක් බිහිසුණු ලෙස ඝාතනය කිරීම කරනු ලැබුවේ ජනවාරි මාසය තුළ වීමත්, එම අපරාධවලට යුක්තිය ඉල්ලා ජනවාරි මාසය තුළ අනුස්මරණය කරන “කළු ජනවාරිය“  මාසය තුළ මෙම සැකකරුවන් නිදහස් කිරීම බරපතල ලෙස ජනමාධ්‍යවේදින්ගේ හා සමාජයේ දැඩි කම්පනයක් මතුකර තිබේ.

පසුගිය පැවැති ආණ්ඩු විසින් මෙම බිහිසුණු අපරාධවලට යුක්තිය ඉටුකරන බව පවසා බලයට පත්වූවත් එය කිසිදිනක සිදුනොවීය. එහෙත්  ඔබ නියෝජනය කරන ජාතික ජනබලවේග ආණ්ඩුව ජනතාව හමුවේ තබන ලද පොරොන්දු අතර මෙම බිහිසුණු අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට යුක්තිය ඉටු කිරීමද මූලික කරුණක් ලෙස සඳහන් කරන ලදි. 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය  සිහිපත් කෙරෙන ජනවාරි 08 වැනිදා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා අප සමග අවධාරණය කර සිටියේද මෙම අපරාධවලට යුක්තිය ඉටු කරනු ලබන බවයි. 

තවද  ශ්‍රී ලංකාව තුළ අපරාධකරුවන්ට නිදහස හිමිවන දණ්ඩ මුක්තියක් නෛතිකව ක්‍රියාත්මක වන්නේ නැතත් මෙවැනි පියවර මගින් එවැන්නකට නීතිමය පසුබිමක් ලබාදෙන බව අපගේ නිරීක්ෂණයයි. 

එවැනි පසුබිමක නීතිපති පාරින්ද රණසිංහ මහතා නිකුත් කළ මෙම නිවේදනය පිළිබඳව ගරු ජනාධිපතිවරයා ලෙසත්, පොදුවේ සමස්ත රජයත් මේ ගැන දැඩි අවධානය යොමු කර ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඇතුළු ඝාතනය කරන ලද සියලු ජනමාධ්‍යවේදීන්ට හා පහරදී විනාශ කරන ලද මාධ්‍ය ආයතනවලටද යුක්තිය ඉටු කිරීමට මැදිහත් වනු ඇතැයි  බව අපගේ විශ්වාසයයි.

මේ පිළිබඳව රජයේ ස්ථාවරය හා ඉදිරි ක්‍රියාමාර්ග රට ඉදිරියේ තබන ලෙස අප ඉතාමත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු.

ස්තුතියි
මෙයට - විශ්වාසී

සුජීව සෙනරත්                         ලසන්ත ද සිල්වා
සභාපති                                   ප්‍රධාන ලේකම්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ජනපති අනුරට ලිපියක්..! | Lanka Newsweek