අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිවරණයේදී TNA සහය එජාපෙ කිනම් අපේක්ෂකයාටද..?

ජනපතිවරණයේදී TNA සහය එජාපෙ කිනම් අපේක්ෂකයාටද..?

අගමැතිට TNA සහය අහිමි වන ලකුණු..? (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපතිවරනයේදී සිය සහය ලබා දිය හැක්කේ එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් වන කිනම් ජනපති අපේක්ෂකයාට ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීම, යහ පාලන…

අගමැතිට TNA සහය අහිමි වන ලකුණු..?

ජනපතිවරණයේදී TNA සහය එජාපෙ කිනම් අපේක්ෂකයාටද..?

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපතිවරනයේදී සිය  සහය ලබා දිය හැක්කේ එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් වන කිනම් ජනපති අපේක්ෂකයාට ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීම, යහ පාලන ජාතික රජය ගොඩනැගීමට සහය දුන් උතුරේ සහ දකුණේ සියලුම බලවේග සමග කරන පුළුල් සාකච්ඡාවකින් අනතුරුව සිදු කිරීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය සමග කර ඇති සාකච්ඡාවකදී විපක්ෂ නායක ආර් සම්බන්ධන් සහ එම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් යන මහත්වරුන් ඒ පිළිබඳව ඔහුට ද පැහැදිළිව දැනුම් දී තිබේ.

2020 ජනාධිපතිවරනයේදී සහය ලබා දිය යුත්තේ කිනම් අපේක්ෂකයාට ද යන්න පිළිබඳව තීරණය කිරීමේදී යාපනයේ ජනතාගේ මතයට, ඉල්ලීමට සහ ඒ අය මතු කරන ප්‍රශ්නවලට  ඇහුන්කම් දීමට සිදු වන බව ද යාපනයේ ජනයා මේ වන විටත් නොවිසිදුණු සහ දැවෙන ප්‍රශ්න ගණනාවකට මුහුණ දී සිටින බව ද ද්‍රවිඩ ජාතික සන්ධානය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී තිබේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙවුණු සති අන්තයේදී යාපනයේ විශේෂ සංචාරයක යෙදුණේ ද උද්ගත වී තිබෙන මේ තත්ත්වය සහ 2020 ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන බවය.

එම දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර සිටියේ ඊ.පී.ඩී.පී සංවිධානය සහ එහි නායක ඩග්ලස් දේවානන්ද මහතා ද ද්‍රවිඩ ජාතික සන්ධානය ගන්නා දේශපාලන තීරණයට සමගාමීව ක්‍රියා කරනු ඇති බවය.

2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සිව් දෙනකුගේ නම් එම පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ අභ්‍යන්තරයේ මේ වන විට සාකච්ඡා වෙමින් තිබේ.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා,කතානායක කරු ජයසූරිය සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් පිළිබඳවය.

එමෙන්ම දොස්තර රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් පිළිබඳවද එක්සත් ජාතික පක්ෂයේත් එක්සත් ජාතික පෙරමුණේත් බොහෝදෙනකුගේ විශේෂ අවධානය යොමු වී තිබේ.

මේ අතරින් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අවසානයේදී ඉදිරිපත් කෙරෙන නායකයාට ජයග්‍රහණය කළ හැකි බව පෙනී යන්නේ නම් සහ ඔහු ඉදිරිපත් කෙරෙන්නේ සියලුම බලවේගවල එකඟතාවය ඇතිව පොදු ලකුණක් සහ පොදු නමක් යටතේ පොදු අපේක්ෂකයකු ලෙස නම් ඔහුට ද්‍රවිඩ ජාතික සන්ධානයේ ද සහය හිමි වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ජනපතිවරණයේදී TNA සහය එජාපෙ කිනම් අපේක්ෂකයාටද..? | Lanka Newsweek