ජනපතිගේ වෙනස රට විනාශයට ගෙන යනවා

රටේ වෙනසක් කරන බව පවසමින් බලයට පැමිණි ජනාධිපතිවරයා රටේ යහපත වෙනුවන් වෙනස්කම් කිරීම පසෙකින් තබා රට විනාශය කරා ගමන් කරවන වෙනස සිදුකරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා චෝදනා කර…
රටේ වෙනසක් කරන බව පවසමින් බලයට පැමිණි ජනාධිපතිවරයා රටේ යහපත වෙනුවන් වෙනස්කම් කිරීම පසෙකින් තබා රට විනාශය කරා ගමන් කරවන වෙනස සිදුකරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා චෝදනා කර සිටියි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මේ බව කියා සිටියේ සෙනසුරාදා (23) කොළඹ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවේදී වන අතර එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
එහි විශාලතම බලපෑම විනාශකාරීම ප්‍රවේශය අත්පත් වෙලා තිබෙන්නේ කෘෂිකර්මාන්තයට, ගොවි ජනතාවට සහ රටේ ආහාර සුරක්ෂිතභාවයටයි. පහුගිය අප්‍රේල් 28වෙනිදා කැබිනට් මණ්ඩලය විසින් තීරණය කළා රසායනික යෙදවුම් නතර කරන්න.
දැන්වීම
මැයි මාසයේ 06වෙනිදා ගැසට් පත්‍රයක් නිකුත් කළත් කිසිදු වැඩපිළිවෙළක් සැලැස්මක් ඇතිවිය හැකි විනාශය ගැන කිසිදු සොයාබැලීමක් නොකර තමයි මේ තීන්දු ගත්තේ. ඒ නිසා ගොවියෝ ගොවිතැන අත්හැරදමලා. පහුගිය දිනවල ගොවි ජනපද වල කන්න රැස්වීම් කළහකාරී තත්වයන් ඇති වුනා. ගොවියෝ දහස් ගණනක් මෙම ප්‍රශ්නය කේන්ද්‍රකරගෙන උද්ඝෝෂණ කරමින් ඉන්නවා.
ආණ්ඩුව මේ තීරණය ගන්නකොට කිව්වේ රටට අවශ්‍ය කාබනික පොහොර රටතුළ නිෂ්පාදනය කරනවා කියලයි. මැයි මාසයේ තීරණය කරලා ඔක්තෝබර් වන විට 100%ක් කාබනික වගාවන් සඳහා පොහොර දෙනවා කියන්නේම අසාර්ථක උත්සහයක්.
මොකද රසායනික යෙදවුම්වල සිට කාබනික යෙදවුම් දක්වා වෙනස් වීමේදී සැලකිය යුතු කාලයක් ගත වෙනවා. එය එක කන්නයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා අපි නිතරම කිව්වා. ඒ අතර රට තුළ කාබනික පොහොර නිෂ්පාදනය මුළුමනින්ම අවුල් ජාලාවක් බවට පත්වුනා. මිලදී ගත් කාබනික පොහොරවල අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩංගු නැති බවත් ගල්කැට, පස් අඩංගු බවත් ගොවියෝ මැසිවිලි නගනවා.
ඉන්පසුව ආණ්ඩුව තීරණය කළා කාබනික පොහොර ආනයනය කරන්න. රටට කාබනික පොහොර ආනයනය කිරීම තුළින් විනාශකාරී ප්‍රතිඵල අත්කර දිය හැකි බව ඒ ක්ෂේත්‍රයේ බොහෝ විද්වතුන් පෙන්වා දුන්නා.
එහෙත් ආණ්ඩුව සියල්ල වෙනස් කර ප්‍රමිති ආයතනයට කාබනික පොහොර ආනයනය සඳහා ප්‍රමිතියක් සකස් කරන ලෙස උපදෙස් දුන්නා. ඒ අනුව තමයි පහුගියදා මෙ.ටො. 96,000ක් ආනයනය කිරීම සඳහා චීනයේ කින්ඩාවෝ සමාගමට ඇණවුමක් බාරදුන්නේ.
අපේ රට දූපතක්. ඒ නිසා අපේ රටට ආක්‍රමණකාරී ශාඛ සහ සතුන් ඇතුල්වීම වළක්වා ගත යුතුයි. ඒ වෙනුවෙන් 1999 සංශෝධනය කරන ලද ශාඛ නිරෝධායන පනත තිබෙනවා. ශාඛ නිරෝධායන ආයතන මගින් චීනයෙන් ගෙන්වීමට තිබූ කාබනික පොහොර තොගයේ ඉතාම අහිතකර ක්ෂද්‍ර ජීවීන් සිටින බැවින් ආනයනය නතර කළා.
නමුත් අමාත්‍යවරයා පෙනී සිටියේ තමන්ගේ දැනුම ඥාණය භාවිතා කර පරීක්ෂණ සිදුකළ ආයතනය හෝ නිලධාරීන් වෙනුවෙන් නොව චීන සමාගම වෙනුවෙන්. සාම්පල පරීක්ෂාවටත් පෙර නැව චීනයෙන් පිටත් වුනා.
ඉන්පසුව නැව ආපසු හැරවූ බව ආන්දෝලනයකට ලක්වුනා. නමුත් ඔක්තෝබර් 22 කින්ඩාවෝ සමාගම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත, ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්, චීනයේ සහ ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්ට ඇතුළු කණ්ඩායමකට ලිපියක් යොමුකර කියනවා කොළඹ වරායට 22වෙනිදා වනවිට නැව ළඟාවෙනවා කියලා. මෙය බලහත්කාරී කඩාපැනීමක්. අපේ රටට භාණ්ඩ ආනයනය තීරණය කරන්නේ අපේ රටේ බලාධිකාරිය. චීන සමාගමට එය තීරණය කරන්න බැහැ.
ඒ වගේම මේ කාබනික පොහොර පරීක්ෂාව ශාඛ නිරෝධායන ආයතනය මගින් නිසි පරිදි සිදුවෙලා නැහැ කියලා චෝදනා කරනවා. අපේ රටේ ශාඛ නිරෝධායන සේවාව වගකියන්නේ අපේ රටට මිස චීන සමාගමට නෙවෙයි.
ඇමතිවරු ජනාධිපති චීන සමාගමට වගකියනවා. තුන්වෙනි පාර්ශ්වයක් මගින් පරීක්ෂා කළ යුතුයි කියලා එකඟතාවයට ආ බව කියනවා. එවැනි එකඟතාවයකට ආවේ කවුරු සමඟද කියලා කින්ඩාවෝ සමාගම සහ චීන තානාපති කාර්යාලය රටට කියන්න ඕනෑ.
ඒ වගේම එම සමාගම එවන ලද ලිපියේ මහ කන්නය සඳහා පොහොර හිගයක් ඇති නිසා මෙම පොහොර තොගය බාරගන්න කියලා ඉල්ලීමක් කර තිබෙනවා. අපේ රටේ ප්‍රශ්න රටේ පාලනාධිකාරිය විසඳිය යුතුයි. චීන සමාගම ඒ ප්‍රශ්න විසඳන්න මැදිහත්විය යුතු නැහැ. ඒ නිසා අපේ රටේ නීති නොසලකා චීන නෞකාය කොළඹ වරායට ඇතුළුවීමට දරණ උත්සාහය වහා නතර කළ යුතුයි.
මෙම නෞකාව කොළඹ වරායට ඇතුල් කර නොගන්නා ලෙසත් ඒ අවට නැංගුරම්ලා තබා ගැනීමට ඉඩ නොදෙන ලෙසත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔහුට ඇති බලතල අනුව වරාය සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා.
ඒ වෙනුවෙන් අපි ඔහුට ස්තුතිය පළකරනවා. වරායේ හාබර් මාස්ටර් ලිඛිතය දැනුම් දී තිබෙනවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එම නැව කොළඹ වරායට ඇතුල් කර නොගන්නා බව. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගත් තීන්දුව ආපසු හැරවීම කිසිසේත්ම නොකළ යුතුයි කියලා.
මොකද මේ පාලනය විසින් කෘෂිකර්මාන්තයට සහ ගොවි ජනතාවට අත්කර දී ඇති විනාශය හොඳටම ප්‍රමාණවත්. විනාශකාරී ක්ෂද්‍ර ජීවීන් අපේ රටට ඇතුප්වීමෙන් අපේ රටේ ජෛව පද්ධතියම කඩාවැටීමකට භාජනය වෙන්න පුළුවන්. ඒ නිසා චීන තානාපති කාර්යාලයත් කින්ඩාවෝ සමාගමත් මේ කරන බලපෑම් නතර කළ යුතුයි.
අනතුරුව ආණ්ඩුව තීරණය කළා නැනෝ යූරියා ආනයනය කරන්න. ඒ වගේම පළමු වතාට ගුවන් යානයක් මගින් නැනෝ යූරියා ලංකාවට ගෙනාවා. එය පිළිගැනීමට ඇමතිවරු ගණනාවක් ගුවන්තොටුපලට ගියා. මෙය ලංකාවේ මීට පෙර භාවිතා නොකරන ලද නිසා දේශගුණික කළාප සහ බෝග වර්ග යොදාගෙන සාම්පල පරීක්ෂාවක් කළ යුතුව තිබෙනවා.
අපිට ලැබී තිබෙන වාර්තා අනුව මෙය ජූනි මාසයේ තමයි පරීක්ෂණ අවසන් කර ඉන්දියාවේදී වගාවලට යොදවා තිබෙන්නේ. අගෝස්තු මාසයේ ඉන්දියාවෙන් අපනයනයට අවසර ලැබී තිබෙන්නේ. ඒ නිසා නැනෝ යූරියා ගෙන්වීම විශාල ව්‍යාකූලත්වයක් ඇතිකර තිබෙනවා.
එනිසා මේ සෙල්ලම් කරමින් තිබෙන්නේ අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය, ගොවි ජනතාවගේ ආදායම් මාර්ග සහ අපනයන ආදායමෙන් 25%ක ප්‍රතිශතයක් දෙන ක්ෂේත්‍රයක් සමගයි.
පසුගිය 22වෙනිදා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවට ආවා. මේ තීන්දුව වැරදි බවත් එය ක්‍රියාත්මක කළ නොහැකි බවත් විශාල අසීරුතාවයකට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට අවස්ථාවක් සලසා දෙන ලෙසත් ඔහු ඉල්ලා තිබෙනවා.
කතානායකවරයාත් පවසා තිබෙනවා ඔහුගේ තේ වත්තට අලාභහානි සිදුවෙලා කියලා. විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා මන්ත්‍රීවරු අත්සන් කරලා පෙත්සමක් ජනාධිපතිට යවමු කියලා. ඒකයි ඇත්ත තත්වය. ජනාධිපතිවරයා තනි පුද්ගලයෙක් ලෙස හිතුවක්කාරී තක්කඩි තීන්දු ගනිමින් ඉන්නවා. ඒ නිසා මේ විනාශකාරී තීරණය වෙනස් කරන්න ඕනෑ.
කාබනික පොහොර වගාවට කවුරුත් අකමැති නැහැ. නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන් වන්නේ ඒ සඳහා අවම වශයෙන් වසර 10ක් ගත වෙන බව. ඒ සියල්ල අත්හැර තමයි ජනාධිපතිවරයා මේ අමනෝඥ මුග්ධ තීරණය අරගෙන තිබෙන්නේ.
ඔහු ඇතැම් දේ වෙනස් කරමින් තිබෙනවා. කෘෂිනාශක සහ වල්නාශක ගේනවීමට අවසර දෙනවා. ඒ නිසා අපේ රටේ කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය හා ගොවි ජනතාවගේ ජීවිත ගැන හිතලා මේ ඇති වී තිබෙන අර්බුදයට පිළියම් ලබා දිය යුතුයි. ඒ පිළිබඳව වැඩි අවධානයක් ලබාදිය යුතුයි.
මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මෙසේ ද පැවසීය.
ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් විශාල අරගලයක් දියත් කරමින් තිබෙනවා. විශාල වැටුප් විෂමතාවයක් දීර්ඝ කාලයක් පුරා තිබෙනවා. සුබෝධනී කමිටුව නිර්දේශ නිකුත් කර තිබෙනවා.
නමුත් ඇමති අනුකමිටුවෙන් සුබෝධනී කමිටු වාර්තාවේ නිර්දෙශවලින් ඉදිරිපත් කළ වැටුප් විෂමතාවයෙන් තුනෙන් එකක් ලබාදීමට තමයි කැමැත් පළ කළේ. වෘත්තීය සමිති එයට කැමැත්ත පළකළා.
පසුව ආණ්ඩුව කිව්වා තුනෙන් එක ලබාදෙන්නේ දෙකට කඩලා කියලා. ඒ අනුව ගුරු විශාල ප්‍රමාණයකට වැටුප වැඩිවෙන්නේ රු.1250කින්. ගෑස් සිලින්ඩරය 1257කින් වැඩි කළා. ආණ්ඩුව වසරකට රුපියල් බිලියන 4500ක් වියදම් කරනවා.
ගුරුවරු ඉල්ලන්නේ බිලියන 64යි. ආණ්ඩුව මාස 16ට රුපියල් බිලියන 1300ක් මුදල් අච්චු ගැහුවා. එයින් බිලියන 64යි ඉල්ලන්නේ. නාස්තිකාර වියදම් ඕන තරම් කරනවා. ඒ අතර ඇමතිවරු දරුවන් ගැන පුදුම වේදනාවකින් කතාකරන්න පටන් ගත්තා.
නමුත් කොවිඩ් සමය තුළ ගුරුවරුන් ස්වෙච්ඡාවෙන් ඔන්ලයින් අධ්‍යාපනය ආරම්භ කර දරුවන් ගස් ගල් උඩ නැගගෙන ඉගෙන ගන්නකොට නෑසූකන්ව සිටි ඇමතිවරු මෑතක සිට දරුවන් ගැන වේදනාවෙන් අඬන්න පටන් ගත්තා. මේ අරගලය වැටුප් වෙනුවෙන් පමණක් නෙවෙයි.
ගුරු වෘත්තීය තුළ දක්ෂයින් රඳවා ගන්න නම් මේ වැටුප් වැඩිවීම කළ යුතුයි. නමුත් එසේ තිබියදී වෘත්තීය අයිතිවාසිකම් සටනක් තිබියදී ආණ්ඩුව අවධානය යොමු නොකර තිබියදී සොච්චමක් වැඩි කරන්න තීරණය කර තිබියදී ගුරුවරු ඉගැන්වීමට තීරණය කරනවා. නමුත් උගන්වන ගමන් අරගලය දියත් කරන්න ඔවුන් තීරණය කර තිබෙනවා. අපේ උපරිම සහය ඒ වෙනුවෙන් ලබාදෙනවා.