ජනපතිගේ අභියෝගය එජාපය භාරගනී-රනිල් 113ක බහුතරය පෙන්වයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

“අවශ්‍ය නම් 113ක් නොව 120ක් වුණත් පෙන්වන්න සුදානම්” කතානායකගේ ක්‍රියාකලාපය වැරදිනම් ඔහුට එරෙහිව යෝජනා සම්මත කර ආණ්ඩුවේ බහුතරය නොපෙන්වන්නේ ඇයි..! සර්ව පාක්ෂික සමුළුවේ අභ්‍යන්තර ඇත්ත තත්ත්වය මෙන්න..!…
“අවශ්‍ය නම් 113ක් නොව 120ක් වුණත් පෙන්වන්න සුදානම්”
කතානායකගේ ක්‍රියාකලාපය වැරදිනම් ඔහුට එරෙහිව යෝජනා සම්මත කර ආණ්ඩුවේ බහුතරය නොපෙන්වන්නේ ඇයි..!
සර්ව පාක්ෂික සමුළුවේ අභ්‍යන්තර ඇත්ත තත්ත්වය මෙන්න..!
(සුජිත් මංගල ද සිල්වා)
පාර්ලිමේන්තුවේ 113ක බහුතරය රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන බව ඔප්පු කළොත් ඔහු අගමැති ධූරයට පත් කළ හැකි බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ අභියෝගය භාරගත් එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රීන් 113ක නොව අවශ්‍ය වුණොත් 120ක බහුතරයක් වුවත් පාර්ලිමේන්තුවේදී හෙට (19) පැහැදිලිව ඔප්පු කරන බව ජනාධිපතිවරයා හමුවේ තරයේ කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂය මේ අභියෝගය භාරගනිමින් මේ බව අවධාරණය කර සිටියේ ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පස්වරුවේ පැවති දේශපාලන පක්ෂවල සර්ව පාක්ෂික රැස්වීමේදීය.
මෙහිදී කතානායක කරු ජයසූරිය මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවයෙන් එල්ල කෙරුණු චෝදනාවට පිළිතුරු දෙමින් එක්සත් ජාතික පෙරමුණ පෙන්වා දී තිබෙන්නේ ඔහු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර එම යෝජනාව 3/2ක බහුතරයකින් සම්මත කර ගත හැකි අතර එමගින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බව පවා පෙන්වා දිය හැකි බවය.
මේ සර්ව පාක්ෂික හමුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඊට සම්බන්ධ දේශපාලන පක්ෂ එහිදී පෙන්වා දී ඇත්තේ, විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ නිවැරදි ක්‍රියා පටිපාටියට අනුව ඉදිරිපත් කළ යුතුව ඇති බවය.
කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණ එහිදී අවධාරණය කර සිටියේ, විශ්වාස භංග යෝජනාවක් ගෙන ඉදිරිපත් කිරීමේ ක්‍රමවේද දෙකක් පවතින අතර මේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කර බහුතර ඡන්දයෙන් සම්මත කරනු ලැබුවේ ඒ එක් ක්‍රමවේදයකට අනුව බවය.
මේ අතර එක්සත් ජාතික පක්ෂය “lankanewsweek” සමග පැවසුවේ ,රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කරන ලෙසට ඉල්ලා ඔහුට සහය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113ක් මේ වන විටත් දිවුරුම් ප්‍රකාශ ලබා දී තිබෙන අතර හෙට (19) වන විට එම සංඛ්‍යාව 120 දක්වා වර්ධනය වන බවය.
අවසානයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සර්වපාක්ෂික හමුව ඉදිරියේ අවධාරණය කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා නිවැරදි ක්‍රමයට සිය මන්ත්‍රී 133ක බහුතරය පාර්ලිමේන්තුවේදී හෙට (19) පෙන්වන්නේ නම් ඔහුට අගමැති ධූරය ලබා දීමට තමා කටයුතු කරන බවය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2