ජනතා ප්‍රශ්න කෙරෙහි රජය සානුකම්පිත විය යුතුයි

රටේ ජනතාව මුහුණ දෙමින් සිටින විවිධ දුෂ්කරතා තේරුම් ගෙන ඒ පිළිබඳව සානුකම්පිතව අවධානය යොමු කිරීම රජයේ වගකීම යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක්…
රටේ ජනතාව මුහුණ දෙමින් සිටින විවිධ දුෂ්කරතා තේරුම් ගෙන ඒ පිළිබඳව සානුකම්පිතව අවධානය යොමු කිරීම රජයේ වගකීම යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
රට මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදකාරී තත්ත්වය මත වගකීමක් ඇති සියලු ආයතන මනා දැක්මකින් සහ සංයමයකින් යුතුව කටයුතු කිරීම අන් කවරදාකටත් වඩා අද වන විට අවශ්‍යව ඇතැයි යන්න අපගේ බලවත් හැඟිමයි. එහි දී මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උපරිම අන්දමින් රැක දීමට රජය කටයුතු කළ යුතුව ඇති අතර පවත්නා අර්බුදය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට සමාජයේ සෙසු කොටස් ද තම අවධානය යොමු කළ යුතුව ඇතැයි යන්න අපගේ විශ්වාසයි.
එමෙන්ම මෙවන් තත්ත්වයක් මත රටේ ජනතාව මුහුණ දෙමින් සිටින විවිධ දුෂ්කරතා තේරුම් ගෙන ඒ පිළිබඳව සානුකම්පිතව අවධානය යොමු කිරීම රජයේ වගකීමකි. විශේෂයෙන්ම සමාජයේ එක් එක් කොටස් මුහුණ දෙමින් සිටින දුෂ්කරතා හමුවේ ඔවුන් වෙතින් පැන නැගෙන විරෝධතා සැලකිල්ලට ගැනීමේදී ඒවාට සවන් දෙමින් ඒ පිළිබඳව රජය දක්වන අවධානය රටට පැහැදිළි කිර්‍රිම ඉතා වැදගත් ය.
දැන්වීම
ඒ අර්ථයෙන් සැලකීමේදී නිදහස් දින සන්ධ්‍යාවේ ගරු ජනාධිපතිතුමා ජාතිය හමුවේ සිදු කළ ප්‍රකාශය ඉතා කාලෝචිතය. එහෙත් නිදහස් දිනයට පෙර දින සාමකාමී සත්‍යග්‍රහයක නිරත වෙමින් සිටි පිරිසකට මරදාන ප්‍රදේශයේදී එල්ල වී ඇති අමානුෂික ප්‍රහාරය පිළිබඳව අපි අතිශයින්ම කණගාටු වන්නෙමු. එවැනි සිදු වීම් රටේ යහ පැවැත්මට මෙන්ම අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය කෙරෙහි ද අහිත කර ප්‍රතිවිපාක ගෙන දිය හැකිය යන්න අප තේරුම් ගත යුතුය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාධරයෙකු වන දර්ශන හදුන්ගොඩ මහතා අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳව ද අප අපගේ බලවත් කණගාටුව පළ කරන්නෙමු. නීතිමය කටයුත්තකට අදාළව ඔහුගෙන් ප්‍රකාශයක් ගැනීමට පොලීසියට අවශ්‍යව තිබුණා විය හැකි වුව ද ඒ සඳහා ප්‍රමාණවත් සහ සාධාරණ කාලයක් ලබා නොදී ඔහු විදේශයක සිට තම මව් රටට පැමිණෙන අවස්ථාවේදී අත් අඩංගුවට ගෙන තිබූ ආකාරය කිසිසේත්ම යහපත් නොවේ.
අප මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කරන්නේ රටක් ලෙස අප මාතෘ භූමිය මුහුණ දී ඇති බලවත් අසීරු තත්ත්වය පිළිබඳව මෙන්ම ඒ හේතුවෙන් රටේ සාමාන්‍ය පොදු ජනතාව මුහුණ දෙමින් සිටින අසීරුතාවයන් පිළිබඳව ද අවබෝධයකින් යුතුවය. එමෙන්ම මෙම දුෂ්කර තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදවා ගැනීමට රටේ සියලු පාර්ශවයන් අවබෝධයකින් යුතුව එකට එක්ව ක්‍රියා කළ යුතුව ඇතැයි යන ආයාචනය පෙරදැරිවය.