අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනතාව කුස ගින්නේ තබා ජනපතිවරයා රට සවාරි ගසමින් සුර සැප විඳිනවා

ජනතාව කුස ගින්නේ තබා ජනපතිවරයා රට සවාරි ගසමින් සුර සැප විඳිනවා

පරිපූරක ඇස්තමේන්තුවකින් ලක්ෂ 2000ක් ලබා ගෙන ඇගලුම් කම්හල් ගිනි තියපු අය පැරණි වෘත්තීය නීති ගත කර ඩොලර් හොයන හැටි කතා කරනවා යල් පැන ගිය විෂය නිර්දේශ නිසා දූ දරුවන්ගේ අයිතීන් උල්ලංඝනය වෙලා රටේ යථාර්ථය…

පරිපූරක ඇස්තමේන්තුවකින් ලක්ෂ 2000ක් ලබා ගෙන 

ඇගලුම් කම්හල් ගිනි තියපු අය පැරණි වෘත්තීය නීති ගත කර ඩොලර් හොයන හැටි කතා කරනවා  

යල් පැන ගිය විෂය නිර්දේශ නිසා දූ දරුවන්ගේ අයිතීන් උල්ලංඝනය වෙලා

රටේ යථාර්ථය දූ දරුවන් දැන ගත යුතුයි

2019 වගේ නැවතත් රැවටෙන්න එපා

බංකොලොත් වූ රටේ ජනතාව කුස ගින්නේ සිටිය දී ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පරිපූරක ඇස්තමේන්තුවක් හරහා ජනතාවගේ බදු මුදල් රුපියල් ලක්ෂ 2000ක් උපයෝගී කර ගෙන රට සවාරි ගසමින් සුර සැප විඳින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි. 

රාජ්‍ය ආදායම වැඩ කර ගැනීම සඳහා "IMF" කිව්වා කියා "VAT" බදු ඇතුළු බදු අධික ලෙස වැඩි කළත් දරු දැරියන්ට අධ්‍යාපනය ලැබීම සඳහා පාසල්වල පරිගණකයක්වත් නොමැති තත්ත්වයක් උදා වී ඇති බව ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. 

රටේ බදු මුදල් වියදම් කර ලෝක සවාරි යන්න ජනාධිපතිවරයා විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පවා ආරාධනා කළ බවත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සේම පාර්ලිමේන්තු නිලධාරීන් පවා කතා කරමින් මෙවැනි ආරාධනා සිදු කරන බවත් පාසල් දූ දරුවන්ට හරිහැටි අධ්‍යාපන උපකරණ නොමැතිව දුක් විඳින මොහොතක ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ පාර්ලිමේන්තුවේ නිලධාරීන් උපයෝගී කර ගෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා අනාවරණය කළේය.

දැන්වීම

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එම ආරාධනා ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපතිවරයා උගන්ඩාවේ සංචාරය කරන විට විපක්ෂ නායකවරයා ලෙස බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසලකට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමට හැකිවීම තමා ලැබූ ලොකුම භාග්‍යයක් වන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කියා සිටියේ, සක්වල වැඩ සටහනේ 70 වැනි අදියර යටතේ කැස්බෑව මඩපාත ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. 

අද වන විට ලෝකයේ දියුණු රටවල් තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවක් ලබා ගෙන ඇතත් අප රටේ පාසල්වල සිසු දරුවන් කී දෙනකු එවැනි තාක්ෂණයෙන් සවිබල ගැන්වී ඇද්ද කියා ගැටලුවක් පවතින බවත් පවතින දුර්වල අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් යුගයට නොගැලපෙන යල් පැන ගිය පැරණි අධ්‍යාපන වැඩ පිළිවෙළක් හරහා රටේ දූ දරුවන්ගේ මානව අයිතීන් උල්ලංඝනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. 

මේ රටේ ඇති තතු, ඇත්ත, සත්‍ය, යථාර්ථය, ප්‍රායෝගිකත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් නොමැති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ ඕනෑ තරම් මඩ ප්‍රචාර දියත් කළත් රට පාලනය කරන නායකයෝ සිදු කරන දේ සම්බන්ධයෙන් රටේ දූ දරුවන් දැනුවත් විය යුතු බවත් පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා  දූ දරුවන් එසේ දැනුම්වත් කිරීම දේශපාලනය කතා කිරීමක් නොව ඔවුන් තොරතුරුවලින් සවිබල ගැන්වීමක් වන බවත් අවධාරණය කළේය.

තොරතුරු දැන ගැනීමේ අයිතිය වැඩිහිටි පුද්ගලයන්ට සේම පාසල් දූ දරුවන්ටද ඇති අයිතියක් බවත් එම අයිතිය තව දුරටත් ශක්තිමත් කිරීම තමාගේ අරමුණ බවත් ඒ අරමුණ වෙනුවෙන් කැප වන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. 

එක්සත් විකල්ප යැයි කියා ගන්නා දේශපාලන පක්ෂයක සාමාජිකයකුගේ බිරිඳක් වන සමන්මලි ගුණසිංහ නම් කාන්තාවක් විසින් වෙනත් වෘත්තියක් නීතිගත කළ පසු විදේශ විනිමය ලබා ගත හැකි යැයි පවසා ඇති බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ඇගලුම් කම්හල් 200 ව්‍යාපෘතිය ආරම්භ කරන විට සුද්දියන්ට යට ඇදුම් මහන්න ගමේ කොල්ලන් කෙල්ලන් යොදා ගන්නවා යැයි මතවාද පතුරවමින් එම කර්මාන්ත ශාලා ගිනි තැබූ පුද්ගලයන්ම තොරතුරු තාක්ෂණ අපනයනය, නිෂ්පාදන කර්මාන්ත අපනයන, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදන අපනයනවලට වඩා වෙනත් වෘත්තීන් උපයෝගී කර ගෙන ඩොලර් සෙවිය හැකි බව පවසන බවත් මෙවැනි අයුතු යෝජනාවලට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතු බවත් ආගම ධර්මය සංස්කෘතියට සදාචාරයට පිටුපා මෙවැනි වෘත්තීන් නීතිගත කර ඩොලර් සෙවීම කිසිසේත්ම අනුමත නොකරන බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. 

2019 රට රැවැට්ටුවා සේ නැවතත් ජනතාව රවටමින් සිටින බවත් මේ බොරුවට රැවටෙනවාද කියා ජනතාව සිතිය යුතු බවත් ඇත්ත කතා කරද්දි තමාව වාරණය කරන්න කිසිවෙකුට නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 70ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 676ක් වැය කර තිබේ.

ජනතාව කුස ගින්නේ තබා ජනපතිවරයා රට සවාරි ගසමින් සුර සැප විඳිනවා

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
ජනතාව කුස ගින්නේ තබා ජනපතිවරයා රට සවාරි ගසමින් සුර සැප විඳිනවා | Lanka Newsweek