ජනතාව ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසක්

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කළ විප්ලවීය වෙනස නියත වශයෙන් ම කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.ජනතාව ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසකි. එය සිදු කිරීමේදී අපහසුතා සහ…
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කළ විප්ලවීය වෙනස නියත වශයෙන් ම කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.ජනතාව ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසකි. එය සිදු කිරීමේදී අපහසුතා සහ බාධකවලට මුහුණදීමට සිදු වේ. එහෙත් එම අභියෝගය ජය ගැනීමට කැපවීමෙන් ක්‍රියා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
වැඩ නිම කළ මාර්ග 1500ක් එක ම දිනකදී ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් මණ්ඩාඩුව මහජන ක්‍රීඩාංගණයේ සෙනසුරාදා (06) පස්වරුවේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ලෝකයේ සෙසු රටවලට මෙන් ම ශ්‍රී ලංකාවට ද කොවිඩ් වසංගතයට මුහුණ දීමට සිදු විය. වැටී තිබූ ආර්ථිකයක් හමුවේ හඳුනා නො ගත් වසංගතයක් සමඟ දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් ජනතාවගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් සැලසුම් රැසක් ක්‍රියාත්මක කෙරිණ. එහිදී තමා දුන් පොරොන්දු එලෙසින් ම ඉටු කිරීමට නො හැකි විය. එහෙත් එහි කිසිදු අඩුවක් නො තබා ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.
දැන්වීම
කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටිණ. ඉන් අහිමි වූ ඝෘජු සහ වක්‍ර රැකියා සංඛ්‍යාව මිලියන 03කට ආසන්න වේ. එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසකට විදේශ රැකියා අවස්ථා අහිමි වූ අතර ඉහළ ම සිට පහළ ම ව්‍යාපාරිකයා දක්වා සියලු දෙනාගේ ආර්ථිකයට බාධා එල්ල විය. මේ සමඟ ඇති වූ දැවැන්ත ආර්ථික බිඳ වැටීම මත වුව ද සංවර්ධන වැඩ කටයුතු අඛණ්ඩව සිදු කළේය.
සියලු ම රාජ්‍ය සේවකයින්ට නියමිත දිනට වැටුප් ගෙවනු ලැබිණ. ඩොලර් මිලියන 04ක් වූ විදේශ ණය වාරික නියමිත පරිදි ගෙවීමට පියවර ගත්තේය. කොවිඩ් රෝගී පවුල් වෙනුවෙන් සහ නිරෝධායනයට ලක් වූ සියලු දෙනා වෙනුවෙන් ආධාර මුදල් සැපයීය. වීවලට සහතික මිලක් ලබාදීමට කටයුතු කෙරිණ. මේ සියල්ල සිදු කිරීමට වූයේ දැවැන්ත ආර්ථික අර්බුද හමුවේ බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.
කාබනික වගාව මෙන් ම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා වූ වෙනස ඉටු කිරීමට කිසි විටෙකත් පසු නො බසින බව ද ජනාධිපතිවරයා පැවසීය.මුං, කව්පි, උඳු, කහ ඇතුළු බෝග 16 ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කෙරිණ. අද එහි ප්‍රතිඵල ගොවීහු භූක්ති විඳිමින් සිටිති. කුරුඳු, ගම්මිරිස්, කහ සඳහා ඉහළ මිලක් ගොවියාට ලැබෙමින් පවතී. ගොවියාගේ අතට ලැබෙන එම ආදායම අඩු නො කිරීමටත්, පාරිභෝගිකයාව ආරක්ෂා කිරිමටත් පියවර ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙම තත්ත්වය අවබෝධ කර ගෙන හරිත කෘෂි අභියෝගය ජය ගැනීමට එක්වන්නැයි සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා ගොවීන්ට හෝ ජනතාවට බලපෑම් කර එම වෙනස සිදු කිරීමට තමා අපේක්ෂා නො කරන බව ද කීය.
තමා බලයට පත්වීමත් සමඟ තරුණයන් තාප්පවල චිත්‍ර ඇඳ වෙනසට මුල පිරී ය. තවත් පිරිසක් පුරන් කුඹුරු අස්වැද්දූහ. එදා තැබූ විශ්වාසය සමඟ විප්ලවීය වෙනස වෙනුවෙන් යළි ඉදිරියට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා මේ සියලු දෙනාට ආරාධනා කළේය.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.
අද ගොවි මහත්තරු කියලා පිරිසක් උද්ඝෝෂන කරනවා. නමුත් ගොවියාව බලාගත්තේ මොන ආණ්ඩුවද කියලා තේරුම් ගන්න ඕන, මම බලයට එනකොට වී රුපියල් 25ට විකුණ ගන්න බැරුව හිටියා. මම ප්‍රවෘත්තිවල දැක්කා එක ගොවි මහත්තයෙක් කියනවා අපිට අඩුගානේ රුපියල් 40ක් දෙන්න. එදා පොහොරවලට මුදල් ගෙව්වා.
මම ඇවිල්ලා ඒ පොහොර නිකන් දුන්නා. එදා රුපියල් 25ට විකුණ ගන්න බැරි වී වලට රුපියල් 50ක සහතික මිලක් දුන්නා. ඒ සහතික මිල 50ට දුන්නත්, අද 60,70,80ටත් විකුණනවා. කමක් නැහැ ඒක යන්නේ ගොවියට. දැන් අවුරුදු දෙකක් අපි රසායනික පොහොර නිකන් දුන්නා.
හැට නව ලක්ෂයක් ජනතාව මට ඡන්දය දුන්නේ මගේ මුහුණට නෙවේ, සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මම ඉදිරිපත් කළ ප්‍රතිපත්තිවලට. ඒ ප්‍රතිපත්තිවල පැහැදිළිව ප්‍රකාශ කළා අපි හරිත කෘෂිකර්මාන්තයකට යනවා කියන එක. අපි පැහැදිළිව කිව්වා මේ රටේ කාබනික පොහොර නිෂ්පාදනය කරනවා කියලා. අපි කිව්වා වස විසෙන් තොර ආහාර හදනවා කියලා.
මම දැක්කේ විශේෂඥයෝ රූපවාහිනියට ඇවිල්ලා ආහාර සුරක්ෂිතතාව ගැන කථා කරනවා, වස විස ආහාර දෙන එක නෙවේ ආහාර සුරක්ෂිතතාව කියන්නේ, වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබා දෙන එකයි. ඉතින් අපි පොරොන්දු වුණා ඒක ඉතා අසීරු කාර්යයක්. ඒක තමයි මම කිව්වේ වෙනසක් ඉල්ලුවා,
විප්ලවීය වෙනසක් ඉල්ලුවේ, ඒ වෙනස කරන්න අමාරුයි, පුරුදු ක්‍රමයෙන් බැහැරව. මට අවශ්‍ය නැහැ ගොවි ජනතාවට කිසිම අපහසුතාවක් ඇති කරන්න. මට අවශ්‍ය නැහැ ගොවි ජනතාවට බලෙන් කාබනික පොහොරවලට යන්න කියන්න. නමුත් මම කළේ හරි දේ, පොරොන්දු වුණ දේ.
සමහර අය කියනවා අපි බලාපොරොත්තු වුණේ මිල්ටරි ක්‍රමය ගෙනියන ගෝඨාභය කෙනෙක් කියලා. මට පුළුවන්. හැබැයි ඒ කියන්නේ ගොවියට කාබනික පොහොර භාවිතා කරන්න කියලා කිව්වහම, මට පුළුවන් බෙල්ලෙන් අල්ලලා හමුදාවේ විදියට කියන්න. මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ.
ඒකද බලාපොරොත්තු වුණේ, නැහැ, සමහර අය කිව්වා මම ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙයි කියලා. ඒ අයම කියනවා අයියෝ අපි බලාපොරොත්තු වුණේ ඔහොම එක්කෙනෙක් නෙවේ, හමුදාවේ වගේ එක්කෙනෙක් කියලා. පුළුවන් මට ඕනනම් එහෙම කරන්න.
නමුත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්.අපි දන්නවා බොරු චෝදනා නගලා අදත් අපි රටක් හැටියට ජිනිවාවලට යනවා මානව හිමිකම් උල්ලංඝනය කළා කියලා. එහෙම කරන්න ඕන නැහැ අපේ රටට. නමුත් මම පොරොන්දු වූ ඒ විප්ලවීය වෙනස මම කරනවා.