අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ජනතාවගෙන් සියයට තිස් පහකට හරියට කන්න නෑ

ජනතාවගෙන් සියයට තිස් පහකට හරියට කන්න නෑ

ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් 35%ක් තමා ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇතැයි ලෝක ආහාර වැඩ සටහනේ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. ගම්බද ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ පවුල් 10න් 9ක් ද, වතුකරයේ පවුල් 10න් 8ක් ද…

ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් 35%ක් තමා ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇතැයි ලෝක ආහාර වැඩ සටහනේ නවතම  සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. 

ගම්බද ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ පවුල් 10න් 9ක් ද, වතුකරයේ පවුල් 10න් 8ක් ද දිනපතා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී දුෂ්කරතාවලට මුහුණ දෙන බවත් එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ඇති ස්ථාන සහ පවුල්වල අදායම අඩුවීම ඊට ප්‍රධාන හේතු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ පවුල් දහයකින් නවයකම කණසල්ලට, ආහාර ද්‍රව්‍යවල මිල හේතු වී ඇතැයි එම වාර්තාවේ දැක්වෙන අතර 2022 දෙසැම්බර් මාසයේ දී සහාය අවශ්‍ය පවුල්වලින් 10%ක ට පමණක් රජයෙන්, රාජ්‍ය නොවන සංවිධානවලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහාය ලැබී ඇතැයි ද එම වාර්තාව පෙන්වා දෙයි.

දැන්වීම

එසේම 2022 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකා ජන ගහනයෙන් 43%ක් තමන් ගන්නා ආහාර ප්‍රමාණය අඩු කර ඇති බවත් 67%ක් තමන් කෑමට ප්‍රිය කරන ආහාර ගැනීම අත හැර අඩු කැමැත්තක් ඇති සහ මිලදී ගත හැකි ආහාර වෙත යොමුව ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් 68%ක් 2022 දෙසැම්බර් මාසයේ ආහාර පදනම් කර ගනිමින් කුස ගින්න නිවා ගැනීමේ ක්‍රියා මාර්ගවලට යොමුව ඇතැයි එම වාර්තාවේ සඳහන් වන අතර නොවැම්බර්මාසයට සාපේක්ෂව ආහාර පදනම් කර ගනිමින් කුස ගින්න නිවා ගැනීමේ ක්‍රියා මාර්ගවලට යොමු වූ සංඛ්‍යාව 4% කින් අඩු වී ඇති බවද එම වාර්තාව පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ වතුකරයේ පවුල් 38% ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ගම්බද ප්‍රදේශවල පවුල් 34%ක් සහ නගරබද පවුල් 28%ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන අතර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන පවුල්වලින් 37%ක් කාන්තාව මූලික පවුල් බවත් 32%ක් පිරිමි මූලික පවුල් බවත් එම වාර්තාවේ සඳහන් වී ඇත.

2022 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය වැඩිම පළාත 43% ක් වූ ඌව පළාත බවත් ආහාර අනාරක්ෂිතභාවය අඩුම පළාත 25% ක් වූ උතුරු පළාත බවත් එම වාර්තාවේ දැක්වේ. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න