අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

චෞර වළල්ලක් රටේ ජනතාවගේ සාරය උරා බොනවා

චෞර වළල්ලක් රටේ ජනතාවගේ සාරය උරා බොනවා

ලෝකයේ කොහේ හෝ කළු ධනය සම්බන්ධයෙන් වාර්තාවක් එළියට එනවා නම් ලංකාවේ දේශපාලකයන් සහ ඔවුන්ගේ අනුග්‍රහය ලබන අය සම්බන්ධයෙන් වාර්තා නිකුත්වීම සුලබ දෙයක් වී තිබෙන බවත් පැන්ඩෝරා වාර්තා හරහා ඒ බව තව දුරටත්…

ලෝකයේ කොහේ හෝ කළු ධනය සම්බන්ධයෙන් වාර්තාවක් එළියට එනවා නම් ලංකාවේ දේශපාලකයන් සහ ඔවුන්ගේ අනුග්‍රහය ලබන අය සම්බන්ධයෙන් වාර්තා නිකුත්වීම සුලබ දෙයක් වී තිබෙන බවත් පැන්ඩෝරා වාර්තා හරහා ඒ බව තව දුරටත් තහවුරු වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ සඳුදා(04) කොළඹ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වන අතර එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ, මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ, බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාගේ ඥාති සොහොයුරියක් වගේම ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නිපුණ රණවකගේ ඥාතිවරියක් වන නිරූපමා රාජපක්ෂ ගැන කරුණු හෙළිවී තිබෙනවා.

දැන්වීම

රුපියල් දශ ලක්ෂ 35,000ක් විවිධ බැංකු සහ දේපළ තුළ සඟවා තිබෙන බව හෙළිදරව් කර තිබෙනවා. පකිස්ථානයේ ඉම්රාන් ඛාන් අග්‍රමාත්‍යවරයාගේ ආර්ථික උපදේශකයෙකුගේ පුතෙක් ඇතුලූ කිහිප දෙනෙක් පිළිබඳවද චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කර වහාම නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කරන තිබෙනවා. මේ හෙළිදරව්ව ගැන ඔබ දැන් මගෙන් තොරතුරු අහනවා. නමුත් මේ සම්බන්ධයෙන් ඉක්මනින් ප්‍රකාශක් කළ යුතුව තිබෙන්නේ රටේ ජනාධිපතිවරයා. නමුත් ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ මුදල් ඇමතිවරයා මේ සම්බන්ධයෙන් කිසිවක් කියන්නේ නැහැ. 

බැසිල් රාජපක්ෂට අයත් යැයි කියන නඩුවක් පවතින මල්වානේ නිවස පිහිටි ඉඩමේ ඔප්පුව තිබෙන්නේ තිරු නඩේෂන්ගේ නමට. 2015 ජනවාරි 08 රාත්‍රියේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නිවසට බලය හුවමාරු කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කරන්න රනිල් වික්‍රමසිංහ ගියේ තිරු නඩේෂන් එක්ක.

තිරු නඩේෂන් හෝ නිරුපමා රාජපක්ෂ මේ බලයේ ඉන්න චෞර වළල්ලෙන් පිට අය නෙවෙයි. ඒ වළල්ලේ ඇතුළේ  ඉන්න අයගේම ධනය මේ හෙළිවී තිබෙනවාදැයි සැකයක් තිබෙනවා. 

එපමණක් නෙවෙයි. ඉමාම් සුබේරි කියන සීඅයිඒ නියෝජිතයා අවුරුදු 12කට සිර දඬුවම් විඳනවා. මේ සීඅයිඒ නියෝජිතයාට එවකට මහ බැංකු අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්රාල් ඩොලර් මිලියන 6.5ක් ගෙවා තිබෙනවා.

ඒ ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කරන්න කියලා. ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ අවසරයක්වත් නැති බව වාර්තා වෙනවා. එක්සත් ජනපදයේ සීඅයිඒ නියෝජිතයින්ගේ වත්කම් පරීක්ෂා කරනකොට ලංකාවේ කබ්රාල්ලා ගැන හෙළිවෙනවා.

ප්‍රංශයේ එයාර් බස් සමාගම සම්බන්ධයෙන් එරට සහ එංගලන්තය, ඇමරිකන් එක්සත් ජනපදය පරීක්ෂණයක් පැවැත්වූවා. මේ සමාගම ලෝකයේ රටවල්වලට ඒයාර් බස් ලබාදීමේදී විවිධ කප්පම් ලබාදීම හරහා පෙළඹවීම් කර ඇති බව පරීක්ෂණයකින් ඔප්පු වුණා.

එහිදී එවකට එයාර් ලංකා ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට බෲනායිවල පිහිටි සමාගමක් හරහා ඩොලර් මිලියන 2ක් ලබාදී ඇති බව හෙළිවුණා. මේ මුදල ඕස්ටේලියාවේ ගිණුමක් හරහා ලංකාවේ නිමල් පෙරේරාගේ ගිණුමකට පැමිණි බව හෙළිවුණා.

මේ විදිහට ලෝකයේ මූල්‍ය අපරාධ පිළිබඳ කරන පරීක්ෂණවලදී ලංකාව පිළිබඳවත් හෙළිදරව් වෙනවා. පැනමා පත්‍රිකාවලින් පවා මේ ගැන වාර්තා වුණා. එක්සත් ජනපදයේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත මහින්ද රාජපක්ෂ මහත්මයා ඉලක්ක කරගෙන ඩොලර් මිලියන 7කට ආසන්න මුදලක් චීන සමාගමක් විසින් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට ලබාදුන් බව හෙළිකර තිබෙනවා.

මේ පුවත්පතට විරුද්ධව නඩු දාන බව මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා. නමුත් නඩු දැම්මේ නැහැ. මේක දූෂිත රාජ්‍යයක් නොවෙයිද? මේ අපේ රටේ ජනතාවගේ සාරය සූරාගත් චෞර වළල්ලක්.

දේශප්‍රේමී සළුපිළි පොරවාගෙන සිටින මේ රාජපක්ෂ චෞර වළල්ල මුහුදු මංකොල්ලකරුවන් පිරිසක් නැවක් අත්පත් කරගෙන සිටිනවා වගේ අපේ රට අත්පත් කරගෙන සිටිනවා.

අපි කියන දේ අහන්න සූදානම් නැති කවුරුන් හෝ ඉන්නවා නම් ජාත්‍යන්තර වශයෙන් හෙළිදරව් වන මේ තොරතුරු ගැනවත් අවධානය යොමු කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න