චීන තානාපතිවරයා සහ අගමැති අතර හමුවක්

මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ෂෙන්හොන් (Qi Zhenhong) මහතා වෙත අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසාදය පළ කළේය. ඒ, ඊයේ (27) පස්වරුවේ චීන…
මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ෂෙන්හොන් (Qi Zhenhong) මහතා වෙත අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසාදය පළ කළේය.
ඒ, ඊයේ (27) පස්වරුවේ චීන තානාපතිවරයා අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ ය.
කොවිඩ් වසංගතය පාලනය කිරීමට මෙන් ම එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ද චීන රජයට ඔහු විසින් කෘතඥතාව පළකර ඇත. ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වයට සුබ පැතුම් එක්කළ තානාපති චී.ෂෙන්හොන් මහතා ඒ සඳහා සිය රජයේ අඛණ්ඩ සහයෝගය හිමිවන බව ප්‍රකාශ කළේය.
දැන්වීම
කොවිඩ් වසංගත අභියෝගය ජයගැනීම සඳහා ආරම්භයේ පටන්ම චීනය වෛද්‍ය සැපයුම්, එන්නත් සහ මූල්‍ය ආධාර ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිනමා ඇති බව ද හෙතම මෙහි දී සිහිපත් කළේය. චීන මහජන බැංකුව (PBOC) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අතර චීන යුවාන් බිලියන 10ක ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම ගෝලීය ආයෝජකයින්ගේ හැඟීම් ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩි කිරීමට උපකාරී වනු ඇතැයි චීන තානාපතිවරයා මෙහි දී අවධාරණය කළේය.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සහ රබර් සහල් ගිවිසුම අත්සන් කර වසර 70ක් සපිරීම සනිටුහන් කරන 2022 වසර ශ්‍රී ලංකා-චීන ද්විපාර්ශ්වික සබඳතාවයේ වැදගත් වසරක් වනු ඇති බවට චීන තානාපති චී.ෂෙන්හොන් මහතා මෙහි දී සිය විශ්වාසය පළ කළේය.
ලබන මසට යෙදෙන අගමැතිවරයාගේ උපන් දිනය වෙනුවෙන් චීන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පූර්ව උපන් දින සුබ පැතුම් එක්කිරීමට ද තානාපති චී.ෂෙන්හොන් මහතා මෙහි දී කටයුතු කළේය.