ඝාතනයට ලක්වූ වැදගත් ජනමාධ්‍යවේදීන්ට අපහාස නොකරනු

අදාළ රාජ්‍ය නිලධාරියාට එරෙහිව වහා පියවර ගනු ඔහුට ඇත්තේ කුරිරු මානසිකත්වයක් ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම යුක්ති සහගත යැයි හැඟෙන ආකාරයෙන් ප්‍රකාශයක් කළ ඉහළ රාජ්‍ය නිලධාරියාට එරෙහිව වහාම නීතිමය සහ විනය…
අදාළ රාජ්‍ය නිලධාරියාට එරෙහිව වහා පියවර ගනු
ඔහුට ඇත්තේ කුරිරු මානසිකත්වයක්

ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම යුක්ති සහගත යැයි හැඟෙන ආකාරයෙන් ප්‍රකාශයක් කළ ඉහළ රාජ්‍ය නිලධාරියාට එරෙහිව වහාම නීතිමය සහ විනය පියවර ගත යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් පාලිත ලිහිණිය කුමාර මහතා අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
දැන්වීම
මේ රටේ ජනමාධ්‍යවේදියෙකු ඉලක්ක කර ගනිමින් රජයේ ඉහළම මට්ටමේ නිලධාරියෙකු සිදු කළ පිළිකුල් සහගත ප්‍රකාශයක් මේ දිනවල අන්තර් ජාලය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. ඒ මගින් කියැ වෙන්නේ තුන් වැනි පංතියේ ජනමාධ්‍යවේදීන් පිරිසක් පසුගිය කාලයේ දී ඝාතනය කර ඇති බවය. එහි අනියමාර්ථය වන්නේ ඔවුන් මරා දැමිය යුතුව තිබුණ බවය.
පසුගිය කාලයේ දී මේ රටේ ඝාතනයට ලක්ව ඇති ජනමාධ්‍යවේදීන් පිළිබඳව සැලකීමේදී ඔවුනට එම අවාසනාවන්ත සහ බිහිසුණු ඉරණමට මුහුණදීමට සිදු වූයේ ඔවුන් විසින් සිය හෘර්දය සාක්ෂියට එකඟව සිදු කර ඇති මාධ්‍ය භාවිතය හේතුවෙනි. ඒ නිසාම මේ රටේ බලවත්ම පාර්ශ්වයන් හි වෛරයට ගොදුරු වීම හේතුවෙනි. එම සිදුවීම් සැලකිය හැක්කේ ඉතාමත්ම බිහිසුණු, පිළිකුල් සහගත සහ නින්දිත ඝාතනයන් ලෙසටය.
ඒ අනුව මෙම රාජ්‍ය නිලධාරියා සිය නිලබලය උපයෝගී කර ගනිමින් සිදු කරන්නේ එවැනි ඝාතන යුක්ති සහගත කිරීමකි. එමෙන්ම හෙට දවසේ ද එවැනි ඝාතන සිදු කරන්නට අනුබල දීමකි. ඉතාමත් කුරිරු මානසිකත්වයක් ඇති, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සාරධර්ම නොතකන පුද්ගලයෙකුට හැර ඒ ආකාරයෙන් බිහිසුණු සේම පිළිකුල් සහගත ප්‍රකාශයක් සිදු කළ නොහැකිය.
එවැනි පුද්ගලයෙකු මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළම තැතක කටයුතු කිරීම මගින් පෙන්නුම් කරන්නේ මේ රටේ ඉහළම රාජ්‍ය යාන්ත්‍රණය පිරිහීමට ලක්ව ඇති තරමය. මේ පිළිබඳව වගකීම් සහගත සමාජය සිය බලවත් අවධානය යොමු කළ යුතුව තිබේ. මෙම ප්‍රකාශය සිදු කළ නිලධාරියා පිළිබඳව අදාළ වග කිව යුත්තන් විසින් සිය බලවත් අවධානය යොමු කර ඊට එරෙහිව නිසි පියවර ගත යුතුව ඇතැයි යන්න අපගේ බලවත් විශ්වාසයයි