ගෝඨාභය රාජපක්‍ෂ යනු හිස් මාධ්‍ය ප්‍රබන්ධයක්..!

කෝටි දෙකකට අධික රටේ ජනතාවගේත් 18 ලක්‍ෂයක් පමණ කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ජනතාවගේත් වගකීම් සම්බන්ධයෙන් ආණ්ඩුව අසමත් බව තහවුරු කර තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා කියා සිටියේය.…
කෝටි දෙකකට අධික රටේ ජනතාවගේත් 18 ලක්‍ෂයක් පමණ කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ජනතාවගේත් වගකීම් සම්බන්ධයෙන් ආණ්ඩුව අසමත් බව තහවුරු කර තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ඒ බව කියා සිටියේ ඊයේ(29) කොළඹ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී වන අතර එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.
අනෙකුත් ක්‍ෂේත්‍රවල මිල ඉහළ යෑම් ලෝක වෙළඳපොළේ බලපෑමෙන් සිදුවූ බව කියනවා. කිරිපිටි, සුදුළුෑණු, පරිප්පු වගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම අපිට පාලනය කරන්න බැහැ කියනවා. එහෙම නම් හාල් මිල ඉහළ ගියේ ඇයි? අපේ රටේ නිෂ්පාදනයක්, රුපියල්වලින් ගනුදෙනුකරන භාණ්ඩයක් වෙලත් මිල ඉහළ ගියේ මේ පාලකයන්ට දැක්මක් සහ වැඩපිළිවෙළක් නොමැති නිසයි.
දැන්වීම
ජනාධිපතිවරයාත් ඔහුටම හරියන කෘෂිකර්ම ඇමතිවරයාත් මේ ක්‍ෂේත්‍රය මුළුමනින්ම අවුල් ජාලාවක් බවට පත්කර තිබෙනවා. ජනාධිපතිවරයා ඇඟෙන් සහ කෘෂිකර්ම අමාත්‍යවරයා කටෙන් මෙහෙයවීමේ ප්‍රතිඵල හැටියට මෙවැනි වියවුලක් නිර්මාණය කර තිබෙනවා.
ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත්වෙන්න කලින් ඔහු සම්බන්ධයෙන් විශාල ප්‍රතිරූපයක් සහිත ප්‍රබන්ධයක් ගොඩනැගුවා. දැන් අයිස් කන්දක් දියවෙනවා වගේ සැබෑ ස්වභාවය හෙළිවෙමින් තිබෙනවා. එය තේරුම් ගන්න තිබෙන හොඳම ක්‍ෂේත්‍රය අපේ රටේ කෘෂිකර්මාන්තයයි.
සහල් මිල පාලනය කරන්න විද්‍යාත්මක නොවන, තාර්කික නොවන විසඳුම් ඉදිරිපත් කළා. එකක් ගැසට් නැවත නැවතත් නිතුත් කිරීම. මෙයට සති දෙකකට පමණ පෙර මම මාධ්‍ය හමුවකදී සහල් මිල සම්බන්ධ ගැසට් නිවේදනය හකුළා ගන්නා බවට අනාවැකියක් පළ කළා. හාල් මිල පාලනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා කඩවල්වලට ගිහිල්ලා මාධ්‍ය සංදර්ශන ඉදිරිපත් කළා.
බැසිල් රාජපක්‍ෂ මහත්තයා කාර්ය සාධක බලකායේ ප්‍රධානියා හැටියට ජනාධිපතිවරයාත් සමගම මෝල් හිමියන් එක්ක සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී ජනරාල්වරයෙක් ඬේටා බේස් එක අපි ළඟ තිබෙන බව කීවා. බැසිල් රාජපක්‍ෂ කීවේ පාලන මිලට විකුණන්නේ නැත්නම් මෝල් පවරා ගන්නා බවයි. ඊට පස්සේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කළා.
විශේෂ කාර්ය සාධක බළකාය එස්.ටී.එෆ්. එක පිරිවරාගෙන ගිහින් හාල් මෝල් වටළලා සාංදර්ශන පෙන්නුවා. ජනාධිපතිවරයා මේ මාධ්‍ය සංදර්ශනවලින් මෝහනයට පත්වෙලා ඉන්නේ. ඔහු බලයට එන්නෙත් මාධ්‍ය සංදර්ශන හරහායි. දැන් පැහැදිලි වෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂ යනු හිස්, මාධ්‍ය ප්‍රබන්ධයක් බවයි.
සමහර ක්‍ෂේත්‍ර පිළිබඳව තමන්ගේ අවබෝධය අඩුවෙන්න පුළුවන්. හරි නායකයෙකු නම් නිවැරදි උපදෙස් ලබාගෙන ක්‍රියා කළ යුතුයි. නමුත් ඔහුත් කෘෂිකර්ම ඇමතිවරයාත් සහල් අපනයනය කරන ප්‍රධාන රටක් බවට අපේ රට පත්කරන බවට වහසිබස් දෙඩුවා.
අවසානයේ මීට මාස දෙකකට පමණ පෙර කෘෂිකර්ම ඇමතිවරයා සහ මෝල් හිමියන් අතර සාකච්ඡාවක් පවත්වා වී මිලදී ගැනීමේ මිල අමාත්‍යාංශයේ බලකිරීම පරිදි මෝල් හිමියන් විසින් ප්‍රකාශයට පත්කළා.
ලංකාවේ පළමුවැනි වතාවට වීවලට පාලන මිලක් දැම්මා. ඒ දක්වා තිබුණේ සහතික මිලක්. එයින් කියවෙන්නේ ඒ මිලට වඩා වැඩියෙන් කිරන්න පුළුවන් බව. නමුත් රුපියල් 50ට වඩා වැඩියෙන් වී කිරන්න බැහැ කියලා පාලන මිලක් දැම්මා. ගොවි ජනතාව විශාල වශයෙන් අසරණභාවයට පත්වුණා. සිංහල අවුරුද්දට කලින් මාස් කන්නයේ අස්වැන්න ලැබෙන කාලයේ රුපියල් 50ට වඩා වැඩියෙන් වී මිලට ගන්න දෙන්නේ නැහැ කිව්වා.
ගොවියෝ අස්වැන්න නෙළලා ගෙදර ගේන්න අක්කර දෙක හමාරකට රු. 40,000ක්වත් වැය වෙනවා. නමුත් ඔවුන්ට දෙන්න වුණේ තුට්ටු දෙකට. කෘෂිකර්ම ඇමතිවරයා ගොවියාගේ පැත්ත වෙනුවට මෝල් හිමියන්ගේ පැත්ත නියෝජනය කරමින් රු. 50ට වඩා වැඩියෙන් වී කිරන්න දෙන්නේ නැහැ කීවා.
දැන් මේ වෙනකොට ගොවිජනතාව ළඟ තිබෙන්නේ කුඩා ප්‍රමාණයක්. වැඩිම වී පංගුව තිබෙන්නේ වී මිලදී ගන්නන් ළඟ. දැන් නාඩු රු. 50ට, සම්බා රු 52ට, උපරිම වශයෙන් මිලදී ගෙන ඩඞ්ලි සිරිසේන සහල් මිල තීරණය කළා.
මහා පරිමාණ මෝල් හිමියන් මාධ්‍ය හමුවක් තියලා නාඩු රු. 115ට, සම්බා140ට, කීරි සම්බා 165ට මිල නියම කළා. හැබැයි මේ මිලට විකුණන්නේ රු. 50ට ගත්ත වී තොගයි. ගොවි ජනතාවට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාගන්න තිබුණු ඉඩකඩ ආණ්ඩුවෙන් ඇහිරුවා.
ඒ අතරේ පාරිභෝගික ජනතාවට අඩු මිලට හාල් ලැබුණෙත් නැහැ. මේ නිසා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් සම්භාරයක් මෝල් හිමියන් සහ තීරණ ගත්ත ඇමතිවරුන් අතර ගොඩගැසුණු බව අපිට පේන්න තියෙනවා. ඒ නිසා ආණ්ඩුව නියෝජනය කළේ ගොවි ජනතාවගේ පැත්තවත් දෙකෝටියකට අධික බත් කන ජනතාවගේ පැත්තවත් නොවෙයි.
මේ ආණ්ඩුව හැමදාම නියෝජනය කරන්නේ මාෆියාකාරයන්වයි. අනෙක් පැත්තෙන් මාධ්‍ය සංදර්ශනවලින් රටක් පාලනය කරන්න බැරි බව ඔප්පු කර තිබෙනවා. සැබැවින්ම සහල් මිල පාලනය කළ හැක්කේ කොහොමද? අපේ රටේ ජනතාවගේ ප්‍රධානතම ආහාරය සම්බන්ධයෙන් වී මිලදී ගැනීමේ සහ සහල් වෙළඳපොළේ ඒකාධිකාරිය බිඳින්න ඕනෑ.
ඉතා කුඩා කණ්ඩායමක් වී මිලදි ගැනීම සහ සහල් තොග වෙළඳාමේ යෙදීම නිසා සියල්ල තීරණය කිරීමේ බලය ඔවුන් වෙත තිබෙනවා. ආණ්ඩුව කරන්න ඕනෑ ගැසට් ගහන එක නෙවෙයි. ඒකාධිකාරිය බිඳ තරගකාරිත්වයක් ඇති කිරීමයි. ඒ නිසා අනිවාර්යයෙන්ම රජයේ මැදිහත්වීමක් ඕනෑ. නමුත් මේ පාලකයන්ට ඒ පිළිබඳ දැක්මක් හෝ ඕනෑකමක් නැහැ. මේ නිසා අසරණ වෙන්නේ අපේ රටේ පොදු ජනතාවයි.
අනෙක් පැත්තෙන් රසායනික යෙදවුම් එක රැයින් නතර කිරීම නිසා කෘෂිකර්මාන්තයට වෙන හානිය අපි දිගින් දිගටම පෙන්වා දී තිබෙනවා. රසායනික යෙදවුම්වල ඉඳලා කාබනික යෙදවුම් දක්වා පරිවර්තනය වෙන්න අනිවාර්ය සංක්‍රමණීය කාලපරිච්ඡේදයක් ඕනෑ. සෞභාග්‍යයේ දැක්ම අනුව නම් එය අවුරුදු 10ක්.
පසුගිය කාලයේ මේ විදිහේ සැලසමක් 2020දී අවසන් කරන්න සකස් කර තිබුණා. නමුත් 2018 සමාලෝචනයය කරලා 2030 දක්වා කල් දැම්මා. නමුත් අපේ රටේ මහ කන්නයේ තීන්දුවක් අරගෙන යල් කන්නයේ සිට ක්‍රියාත්මක කරනවා. මේ නායකයන් ජාත්‍යන්තර සමුලුවලට ගිහින් තමන්ගේ ප්‍රධාන වැඬේ එය බවට පුරසාරම් දොඩවනවා.
අද වෙනකොට කාබනික පොහොර නිෂ්පාදන සැලසුම් සියල්ල අසාර්ථක වී ඒවා ආනයනය කිරීමට සූදානම් වෙනවා. නයිට්‍රජන් 17%ක් අඩංගු කාබනික පොහොර ආනයනය කරන්න දෙන බව කිව්වා. ඒ අනුව ටෙන්ඩර් කැඳවූවා. බොහෝ දෙනෙක් ඒ අනුව ඉල්ලුම් කළේ නැහැ. නමුත් චීනයේ කින්ඩාවෝ සමාගමට ටෙන්ඩරය ලබාදී තිබෙන්නේ 10% නයිට්‍රජන් ප්‍රතිශතයට ආනයනය කරන්න.
ඒ අනුව ගෙන්වූ සාම්පල්වල අර්වේනියා සහ බැසිලස් කියන ඉතාමත් හානිකර බැක්ටීරියා තිබෙන බව ශාඛ නිරෝධායන සේවයෙන් හොයා ගත්තා. මේ සම්බන්ධයෙන් මහින්දානන්ද මාධ්‍ය සාච්ඡා පවත්වා නිරෝධායන සේවය ගැන සැක පහළ කළා. කෘෂිකර්ම ඇමතිවරයා පෙනී සිටියේ තමන්ගේ අමාත්‍යාංශය යටතේ තිබෙන ශාඛ නිරෝධායන සේවය වෙනුවෙන් නෙවෙයි.
චීනයෙන් ගෙනෙන කැලිකසල සමාගම්කාරයාගේ පැත්තයි. මේ ගොල්ලෝ සමාගම්වල නියෝජිතයෝ. හරිනම් විෂ සහිත පොහොරක් ලංකාවට පැමිණීම වැළැක්වීමේ පරීක්‍ෂණ කළ නිලධාරීන්ට ස්තුති කරන්න ඕනෑ. හැබැයි ඒ වෙනුවට ඇමතිවරයා කුමන්ත්‍රණයක් තියෙන බවට සී.අයි.ඩී.යට පැමිණිලි කරන බව කීවා.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බොහෝ නිලධාරීන්, ක්‍ෂේත්‍රය පිළිබඳ විශේෂඥයින්. ඔවුන් විෂ සහිත කාබනික පොහොර ගෙන්වීම වැළැක්වීම සඳහා විශාල හඬක් නැගුවා. අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. මේ නිසා අපේ රටේ පොදු ජනතාව, අපේ මාතෘභූමියේ පැත්ත ගැනීමෙන් විශාල විනාශයක් වීම වැළැක්වුණා.
ඔක්තෝබර් මැද වනවිට මහ කන්නයේ වී වගාව ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් කාබනික පොහොර දෙන්න නම් විශාල මෙහෙයුමක් කරන්න වෙනවා. නමුත් ඒ කිසි දෙයක් නැහැ. අපි දිගටම කීවේ ගොවියෝ කෘෂිකර්මාන්තය අත්හැරීම වගේම විශාල ආහාර හිඟයක් ඇති වෙන බවයි. ඩොලර් නැති නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා වරායෙන් ගොඩබා ගන්න බැරිවෙලා තියෙනවා.
නමුත් එහෙම තිබියෙදී හාල් පිටරටින් ගේන බව ආණ්ඩුව කියනවා. රටක ආහාර සුරක්‍ෂිතතාව විනාශ කර ඩොලර් පතුලටම හිඳී තිබෙන වෙලාවක මේ පාලකයන් කිසිදු වගකීමකින් තොරව අපරාධකාරී ක්‍රියාමාර්ග අනුගමනය කර තිබෙනවා. සාමාන්‍යයෛන් දවසකට සහල් මෙ.ටොන් 6,500ක් අවශ්‍ය වෙනවා. එහෙම තියෙද්දී ආණ්ඩුව සහල් මෙ.ටොන් ලක්‍ෂයක් ගේන බව කීවා.
අවුරුද්දේ දින 365න් දින 15කට ප්‍රමාණවත් සහල් ආනයනය කර ප්‍රශ්නය විසඳන බව ආණ්ඩුව කියනවා. මේ පාලකයන් කිසිම අවබෝධයක් නැති අසාර්ථකම පාලකයන්. 20වැනි සංශෝධනය, 2/3 බලය, හදිසි නීති රෙගුලාසි ඇතුළු අධිකාරී බලය සහිත පාලකයන් පත්කිරීමේ ප්‍රතිවිපාකවලට ජනතාව මුහුණපා සිටිනවා. මේ වනවිට ගොවියන් සහ පාරිභෝගික ජනතාව පත්වී තිබෙන අසීරු තත්වයෙන් මුදා ගැනීමට වේගයෙන් මැදිහත්වීම් කළ යුතු බව අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙසේද අදහස් දැක්වීය.
සහල් ඒකාධිකාරිය බිඳින්න හදන්නේ හාල් ආනයනය කරලානම් ඔය ඔක්කොම කරන්න පුළුවන්නේ. ගෝඨාභය බලයට ඇවිල්ලා මේ නොවැම්බර් මාසෙට අවුරුදු දෙකක් වෙනවා. අපේ රටේ සාමාන්‍ය මාසික සහල් පරිභෝජනය මෙටි්‍රක් ටොන් එක්ලක්ෂ අනූපන්දාහයි (195,000). ඒ කියන්නේ ආසන්න වශයෙන් වසරකට අපිට මෙටි්‍රක් ටොන් ලක්ෂ 24ක් ඕනෑ.
හාල් මෙටි්‍රක් ටොන් ලක්ෂ 24ක් ගන්න ආසන්න වශයෙන් වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 36ක් ඕනෑ. හැබැයි මහ බැංකු වාර්තාවල සඳහන් වෙනවා ගිය අවුරුද්දේ අපේ රටේ සහල් නිෂ්පාදනය ට්‍රfික් ටොන් ලක්ෂ 50යි කියලා. පරිභෝජනයට අවශ්‍ය වෙන්නේ මෙටි්‍රක් ටොන් ලක්ෂ 36යි. එහෙනම් ප්‍රශ්නෙ තියෙන්නෙ කොතනද?
රටේ නිෂ්පාදනය ප්‍රමාණවත්ව තිබෙනවා. නිෂ්පාදනය ක්‍රමවත්ව බෙදාහැරීම සඳහා ආණ්ඩුවට සැලැස්මක් නැහැ. හාල් මිල ඉහළ යනකොට රටේ හාල් නිෂ්පාදනය ක්‍රමානුකූලව බෙදා හරින්න විධිමත් සැලැස්මක් නැතුව, රටින් හාල් ගෙනත් ගොඩගහන්න පාලකයෝ ඕන නැහැ.
අර පිටකොටුවේ තොග වෙළෙන්දෙකුට දෙන්නකො. එයා මීට වඩා ඒක කරයි. මේ ප්‍රශ්නයට කරන්න ඕනා ක්‍රමවත් මැදිහත්වීමක්. වී මිලදී ගැනීම, වී ගබඩා කිරීම, හාල් බවට පත් කිරීම, තොග වෙළඳාමේ පංගුවක් රජය අත්පත්කරගන්න ඕනා. ඒ ගොවි සමිති ජාලයක් හරහා, කුඩා මෝල් හිමියන්ගේ ජාලයක් හරහා මේක ප්‍රධාන වැඩක්.
ක්‍රමිකව එහෙම මැදිහත්වෙලා කන්න දෙකතුනක් මහන්සි වුණානම් අද මේ ප්‍රශ්නය රටේ නැහැ. ඒකයි කරන්න ඕනා. එහෙම නැතුව තරඟකාරිත්වය ඇති කරන්න පිටරටින් සහල් ආනයන කිරීම නෙවෙයි කියලා අපි හිතන්නේ.
නිලධාරීන් ඔක්කෝම වැඩ කරන්නේ ඇමතිවරයාගේ නියෝග මත. ඇමතිවරයා බූරු නියෝග දෙනවානම්, නිලධාරීන් ඒ විදිහටම ඒ වැරදි නියෝගය කර තියාගෙන යන්න සූදානම් නැති බව අපි දන්නවා. හැබැයි ඒ ගොල්ලො ඒ නියෝගය වෙනුවෙන් පෙනී හිටිනවා. හැබැයි වැරදි නියෝගය කර තියාගෙන යන්න සූදානම් නැහැ.
එතකොට අක්‍රමවත්භාවයක් ඇති වෙනවා. හැබැයි මෙතන නිලධාරීන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි තිබෙන්නේ. වීවලට පාලන මිල රුපියල් 50යි කියලා කිව්වේ මොන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාද? ගොවිජනසේවා කොමසාරිස්වරයාද? එහෙම කීවේ මහින්දානන්ද ඇමතිවරයා මොල් හිමියන් එක්කයි. ඒ වගේම සහල් මිල ගැසට් එක අයින් කරනවා කිව්වේ කවුද? නිලධාරීන්ද? නැහැ මේ කැබිනට් මණ්ඩලය. ලසන්ත අලගියවන්නලාගේ, බන්දුල ගුණවර්ධනලාගේ කැබිනට් මණ්ඩලය.
ඒ නිසා බොහෝ අය කැමතියි දේශපාලන අධිකාරිය බේරලා පහළ ඉන්න නිලධාරීන්ට ගහන්න. නිලධාරීන්ගේ අඩුපාඩුකම් නැහැ කියලා මම කියන්නේ නැහැ. හැබැයි මූලික වගකීම තියෙන්නේ දේශපාලන අධිකාරියට. ඒ ගොල්ලන්ට තමයි, අවුරුදු 05ක භාරකාර පාලනය බාරදීල තියෙන්නේ ජනතාව වෙනුවෙන් මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න.
එහෙනම් ඔවුන් කියන්න ඕනා තමන්ගේ තීන්දු තීරණ ක්‍රියාත්මක නොකරන නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා කියල. ඒකෙන් පෙන්නුම් කරන්නෙත් පාලනය අසාර්ථකයි කියන එක. ඒ නිසා මම හිතන්නේ නැහැ මේකට නිලධාරීන් වගකිව යුතුයි කියලා. මේකට මුළුමනින්ම වග කියන්න ඕනා දේශපාලන අධිකාරියයි.
අපේ රට කිරි නිෂ්පාදනය සඳහා ඉතාමත් යෝග්‍ය දේශගුණික කලාප කිහිපයක් තිබෙනවා. වියළි කලාපයට පකිස්තානයේ මූරා වර්ගයේ හරක් ඇති කරන්න පුළුවන්. නුවරඑළිය, බණ්ඩාරවෙල, වටවල ප්‍රf්දශවල පර්සියන් වර්ගයේ කිරි දෙනුන් ඇති කරන්න පුළුවන්. අපේ ඉතිහාසයේ ඉඳලා කිරි කර්මාන්තයත් එක්ක ගැට ගැහුණු සතුන්ට ලෙංගතු සංස්කෘතියක් තියෙනවා.
දේශගුණික කලාප ගත්තත් සංස්කෘතිය ගත්තත් ඉතාම හොඳින් කිරිවලින් ස්වයංපෝෂිත විය හැකියි. ඒ වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ගොවිපොළවල් විශාල ප්‍රමාණයක් ඇති කරන්න ඕනෑ. අපි කෘෂිකර්ම අමාත්‍යාංශය දැරූ 2005දී රටේ නිෂ්පාදනය අවශ්‍යතාවයෙන් 17%යි. 2010 වනවිට අවශ්‍යතාවයෙන් 50%කක් රට තුළ නිෂ්පාදනය කරන්න සැලසුමක් හැදුවා. ඇත්තටම එය කළ හැකියි.
නමුත් අපි ඉවත් වුණාම ගොවිපොළවල් කඩලා විකිණුවා. මහින්දානන්ද අලුත්ගමගේ කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා ගොවිපොළවල ඉතිරි ඉඩම් පෞද්ගලික අංශයට විකුණන්න. විනාශයේ පැත්තට මේ ගෙනියන්නේ.
නමුත් අපේ රට තුළ කිරිවලින් ස්වයංපෝෂිත කරන්න ඉතාමත් කැපවීමෙන් හා කැමැත්තෙන් වැඩකරන්න නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා. ඒ වෙනුවෙන් නිවැරදි වැඩපිළිවෙළක් සහ නායකත්වයක් සමගින් රට 100%ක් කිරිවලින් ස්වයංපෝෂිත කළ හැකයි.
අසාර්ථක පාලකයන් හැම වෙලාවෙම ජනතාව අතර අනියත බියක්, සැකයක් ඇති කරනවා. පාස්කු ප්‍රහාරය විශාල වශයෙන් උපයෝගී කරගෙන බලයට අවාට පස්සේ ඔවුන්ටම දැන් පාරා වළල්ලක් වී තිබෙනවා. මේ ප්‍රහාරය ඔවුන් බලය ලබාගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක්ද කියලා සමාජයේ මතයක් ගොඩනැගෙමින් තිබෙනවා.
පාස්කු ප්‍රහාරය වෙලාවේදී කාදිනල්තුමා විශාල කාර්යභාරයක් ඉටු කරමින් කතෝලික ජනතාව සන්සුන් කර තබාගත්තා. කතෝලික ජනතාවගේ තිබුණු විරෝධය ප්‍රචණ්ඩකාරී තත්වයකට පත් නොකිරීම වෙනුවෙන් කාදිනල්තුමා ඉටුකළ කාර්යභාරය අද මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ගේ විශාල පැසසුමකට ලක්වුණා.
නමුත් අද වෙනකොට කාදිනල්තුමා දෙවුර මත පටවා ගත් බර එහෙමම තිබෙනවා. නිරවුල් නොවුණු තැන් පිළිබඳව කාදිනල්තුමන් ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබුණා. ඊට ප්‍රතිචාර වශයෙන් නීති නිලධාරියෙකුගෙන් ලිපියක් යවා තිබුණා.
ප්‍රහාරය ආවරණයක් කරගත් පාලකයන් කාදිනල්තුමා පවරා ගත් ශුද්ධ වූ අයිතිය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් කරන්නේ නැහැ. කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් කොටස් නිීතිපති දෙපාර්තමේන්තුවට පවා යවා නැති බවට සැකයක් ඇතිවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කාදිනල්තුමා විවිධ ප්‍රකාශ සිදුකරමින් ඉන්නවා.
නමුත් මේ තත්වය උපයෝගී කරගෙන ආවේගකාරී ගැටුම් නිර්මාණය කිරීමට විවිධ කණ්ඩායම් ආණ්ඩුව විසින් යොදා ගන්නවා. පාලකයා අසාර්ථක වන හැම වෙලාවෙම හැංගෙන්නේ ජාතිවාදය සහ ආගම්වාදය තුළයි. සැඟවී සිටි පරණ කසකරුවන් වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා, කර තියාගෙන ගිය අය වේගයෙන් කරළියට ඇවිත් තිබෙනවා.
ජාතික රූපවාහිනිය, අයි.ටී.එන්. නාලිකාව යොදාගෙන ඒ කසකරුවන් ප්‍රධානම මත දක්වන්නන් බවට පත්කරගෙන තිබෙනවා. බරපතළ ප්‍රහාරයකට සූදානම් වන බවට ප්‍රහාරයක් සැඟවී ඉන්න බවට ප්‍රකාශ සිදුකරනවා. ඔවුන් ඉන්න තැන දන්නා බව පවා ප්‍රකාශ කරනවා.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ගණනාවක් ලැබී තිබුණත් කිසිම පරීක්‍ෂණයක් කරන්නේ නැහැ. ජාතික රූපවාහිනිය, අයි.ටී.එන්. නාලිකාව ඔවුන්ට යොදා ගැනීමට දුන් ඩලස් අලහප්පෙරුම ගැන ලැජ්ජා වෙනවා. ජාතික සමගිය ගැන වාක්‍ය කණ්ඩවලින් ප්‍රබන්ධ නිර්මාණය කරන ඇමතිවරයෙක් සිටින වෙලාවකදී මේ කසකරුවන් නැවත ප්‍රහාරයක් පටන් ගෙන තිබෙනවා.
මේ ආණ්ඩුව ලේ වැකි කුමන්ත්‍රණයක නියැලෙනවාද කියන සාධාරණ ප්‍රශ්නය මතුවී තිබෙනවා. මේ රටේ සියලුම පූජ්‍ය පක්‍ෂවලින් අපි ඉල්ලන්නේ හීටට එරෙහිව ඉදිරියට එන්න කියලා. ඇති තරම් ලේ වැගිරූ, භිතියට පත්වුණු රටක නැවත එවැනි තත්වයක් ඇතිවීම වැළැක්වීමට පෙරට එන්න කියලා අපි ඕනෑකමින් ආරාධනා කරනවා.