අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගොවි ජනතාවගේ ජීවිතත් එක්ක ආණ්ඩුව කරන සෙල්ලම වහා නවතනු

ගොවි ජනතාවගේ ජීවිතත් එක්ක ආණ්ඩුව කරන සෙල්ලම වහා නවතනු

(හේමන්ත තුසිත කුමාර) රටේ සමස්ථ ආර්ථික යාන්ත්‍රනයත්, සියලු පුරවැසි ජීවිතත් බරපතල ව්‍යසනයක් වෙත තල්ලුකොට ඇති ආණ්ඩුව දිනපතා අලුත් ප්‍රශ්න නිර්මාණය කරමින්, වැරදි තීන්දු ගනිමින් සිටින බවත් ආණ්ඩුව විසින්…

(හේමන්ත තුසිත කුමාර)

රටේ සමස්ථ ආර්ථික යාන්ත්‍රනයත්, සියලු පුරවැසි ජීවිතත් බරපතල ව්‍යසනයක් වෙත තල්ලුකොට ඇති ආණ්ඩුව දිනපතා අලුත් ප්‍රශ්න නිර්මාණය කරමින්, වැරදි තීන්දු ගනිමින් සිටින බවත් ආණ්ඩුව විසින් එලෙස ආසන්නවම ගනු ලැබූ අදූරදර්ශී සහ අන්තනෝමතික තීන්දු හේතුවෙන් මේ රටේ ගොවි ජනතාව මහත් පීඩනයකට ලක්ව සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි.  

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එලෙස චෝදනා කර සිටියේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් වන අතර එහි මෙසේ ද සඳහන් වේ.
 
ආණ්ඩුව පොහොර තහනමක් ගෙන ආ නමුත්, එය හුදෙක් දේශපාලන අරමුණක් පමණක් වන අතර එය ප්‍රායෝගික නොවන හිතුවක්කාර තීරණයකි.මේ හේතුවෙන් යල කන්නය වෙනුවෙන් වගා කටයුතු කළ ගොවි ජනතාව දැඩි අසරණකමකට පත්වූ අතර ඔවුන්ට මහ කන්නයට මුහුණ දෙන්නට සිදුව ඇත්තේද අපේක්ෂා භංගව ය. පොහොර නොමැතිකමින් වී ගොවියාගේ අස්වැන්න තීරණාත්මක ලෙස පහත බැස ඇති අතර,ගොවීන් විශාල පිරිසක් වගාව අත්හරින තැනට පත්ව සිටී. 

එලවලු ගොවීන් ද,සුළු අපනයන භෝගවල යෙදෙන ගොවීන්, වතු වැවිලි ක්ශේත්‍රයේ තේ,පොල්,රබර් ගොවීන්,පළතුරු ගොවීන්,හේන් ගොවීන්ද පත්ව සිටින්නේ මෙවැනිම දැඩි පීඩාවකට ය. 
නිෂ්පාදනය කඩා වැටීමෙන් ගොවි ජනතාව කෘෂි කර්මාන්තයෙන් ඈත් වීමත්, ගොවි ජනතාවගේ ජීවන තත්වය බිඳ වැටීමත් සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම විසඳුම් ලබාදිය යුතුය.එහෙත් ජනතා සංවේදීකම පිළිබඳව හසරක් නැති ආණ්ඩුවෙන් ඊට සාධනීය විසඳුම් බලාපොරොත්තු විය නොහැකි ය. 

දැන්වීම

දහඩිය මහන්සිය වගුරමින්ද,දසඅතේ ණය වෙමින්ද තමන් විසින් නිෂ්පාදනය කරන අස්වැන්න අලෙවිකරීමේ ගැටලුවටද ගොවී ජනතාව මුහුණ දෙමින් සිටින අතර, ගොවීන්ට ආර්ථික මධ්‍යස්ථාන අසල අසරණව බලා සිටින්නට සිදුව තිබේ. ආණ්ඩුව හාල් මාෆියාව අවසන් කරන බවට ඊනියා ප්‍රචාරක කටයුත්තක් දියත්කොට ඇති අතර,එය වත්මන් ආණ්ඩුව පැමිණි දා සිටම කරන නිරර්ථක මාධ්‍ය සංදර්ශණයක් පමණක් බවට පත්ව තිබේ.

සාමාන්‍යයෙන් කෘෂිකර්මාන්තය පිළිබඳව යම් අවබෝධයක් හෝ තිබේනම්,ගොවි ජනතාවට අවශ්‍ය සුදුසු යෙදවුම් නිසි කලට ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු අතර තත්ත්වයෙන් උසස් බීජ, සුදුසු පොහොර, යනාදිය නිසි කලට ගොවි ජනතාවට ලබාදීම ආණ්ඩුවේ වගකීමකි.

නිෂ්පාදන හැකියාව වැඩි දියුණු කිරීම හැර කෘෂි ආර්ථිකය යළි පණ ගැන්වීමට වෙනත් විකල්පයක් නැති අතර ඒ සඳහා පවතින ගැටලු අවබෝධ කරගැනීමට ආණ්ඩුව සමත් විය යුතුය.ගොවි ජනතාවගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබා දීම උදෙසා මැදිහත්වීම ආණ්ඩුව සතු වගකීමකි. එහෙත් එවැනි සාධනීය සහ සාධාරණ කිසිවක් වෙනුවෙන් ආණ්ඩුව පාර්ශවයේ සූදානමක් හෝ දකින්නට නැත. 

ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර්තමේන්තුව, තේ, පොල්, රබර් වැනි බෝග සඳහා පිහිටුවා ඇති දෙපාර්තමේන්තු, පර්යේෂණ මධ්‍යස්‌ථාන, බොහෝ ඇති නමුත් ඔවුන්ගේ සේවය සක්‍රීයව ලබා ගැනීමේ නිසි වැඩපිළිවෙලක් ද ආණ්ඩුවට නැත. ආහාර සුරක්‍ෂිතභාවය අන් කවරදාටත් වඩා අදවනවිට සුවිශේෂී වී ඇති නමුත් ආණ්ඩුව ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ගොවියා සම්පුර්ණයෙන්ම අකර්මණ්‍යකොට ඇත.

මැතිවරණයට පෙර තිබූ ආණ්ඩුවේ කෘෂිකර්මය සම්බන්ධ ප්‍රතිපත්තිය අද වනවිට සහමුලින්ම උඩුයටිකුරු වී ඇති අතර ගොවියා නඟා සිටුවනවා වෙනුවට ගජමිතුරන් පෝෂණය කිරීම ආණ්ඩුව විසින් සිදුකරමින් සිටී. කොරෝනා ව්‍යසනය සමඟ අරගල කරන ලොව බොහෝ රටවල් සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව සිය ප්‍රමුඛත්වය ලබා දී ඇති නමුත් මෙරට ආණ්ඩුව ඒ දෙකම දුර්මුඛ කොට අවශේෂ ලෙස පසෙකට දමා තිබේ.

එහි ඛේදවාචකය අවාසනාවන්ත ලෙස අත්විඳින්නට සිදුවන්නේද අහිංසක පුරවැසි පරපුරට මිස අවස්ථාවාදී ආණ්ඩුවට නොවේ. එබැවින් රටේ සමස්ථ ජනතාවගේ නාමයෙන් ගොවිජනතාවගේ ප්‍රශ්න කෙරෙහි සංවේදීව වහා විසඳුම් සලසන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරමු. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ගොවි ජනතාවගේ ජීවිතත් එක්ක ආණ්ඩුව කරන සෙල්ලම වහා නවතනු | Lanka Newsweek