ගිනි අවි සහ හෙරොයින් සමග දෙදෙනකු මාට්ටු

(ජයකාන්ත ලියනගේ ) පිටිගල පොලිස් වසමේ නියාගම, තල්ගස්වල ප්රදේශයේ නිවසක සගවා තිබියදී මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ දැමිය හැකි මෙරට නිශ්පාදිත ගිනි අවියක්, ජීව අත් බෝම්බයක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 05 ක්, ටී…
(ජයකාන්ත ලියනගේ )
පිටිගල පොලිස් වසමේ නියාගම, තල්ගස්වල ප්රදේශයේ නිවසක සගවා තිබියදී මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ දැමිය හැකි මෙරට නිශ්පාදිත ගිනි අවියක්, ජීව අත් බෝම්බයක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 05 ක්, ටී - 56 උණ්ඩ 06 ක් සහ හෙරොයින් මිලිග්රෑම් 150 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු සිකුරාදා (15) පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගන්නා ලද අවි ආයුධත් සමග සැකකරුවන් එදිනම ඉදිරි නීතිමය කටයුතු සදහා පිටිගල පොලීසියට බාර දී අති අතර සැකකරුවන් දෙදෙනා සෙනසුරාදා (16) ඇල්පිටිය වැඩ බලන මහේස්ත්රාත් ලීලාරත්න විතානාච්චි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2017 දෙසැම්බර් මස 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ .
දැන්වීම
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ සමගි මාවත, නියාගම, තල්ගස්වල ලිපිනයේ පදිංචි පදුම ප්රියහසිත කාරියවසම් (27) සහ වදුරාගල, කුරුණෑගල ලිපිනයේ පදිංචි සූර්යආරච්චිගේ නිලන්ත (25) යන දෙදෙනාය.
පළමු සැකකරු සනතකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ දැමිය හැකි මෙරට නිශ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවිය, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 05 සහා ජීව අත් බෝම්බය සොයා ගෙන තිබේ. එම අවස්ථාවේ සැක කටයුතු අන්දමින් එම නිවසේම සිටි දෙවන සැකකරු අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී ටී - 56 උණ්ඩ 06 සහ හෙරොයින් මිලි ග්රෑම් 150 සොයා ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ ඒකකයට ලැබුණු තොරතුරකට අනුව එම ඒකකය මගින් වැටලීම සිදුකර අවි ආයුධත් සමග සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් හෙරොයින් ජාවාරම්කරුවන් බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන බව පිටිගල පොලීසිය කියයි. ඔවුන්ට පාතාල සම්බන්ධතා තිබේද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් එවැන්නක් මෙතෙක් තහවුරු වී නොමැති බවත් පිටිගල පොලිසියේ ප්රකාශකයෙක් සදහන් කළේය.
ප්රදේශයේ කිහිප දෙනෙකුට පහර දීම්වලට අදාල නඩු කීපයක් පළමු සැකකරුට එරෙහිව ඇල්පිටිය මහේස්ත්රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින බවද එම ප්රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ පිටිගල පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ට්ආරච්චි මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් සුනිල් (24091) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.