අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගම ගාල්ලේ නොවුණත් ගාල්ලේදී වැඩ පෙන්වපු රංගන..!

ගම ගාල්ලේ නොවුණත් ගාල්ලේදී වැඩ පෙන්වපු රංගන..!

ලෝකෙටම ක්‍රිකට් උගන්වපු, ක්‍රිකට් පටන් ගත්ත රටක කණ්ඩායමක් සමග තමන් ටෙස්ට් ක්‍රිකට් පටන් ගත්ත ක්‍රීඩාංගනයකදීම ටෙස්ට් පිටියෙන් සමු ගනිමින් අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වෙන්න ලැබීමත් එක්තරා විදිහක…

ලෝකෙටම ක්‍රිකට් උගන්වපු, ක්‍රිකට් පටන් ගත්ත රටක කණ්ඩායමක් සමග තමන් ටෙස්ට් ක්‍රිකට් පටන් ගත්ත ක්‍රීඩාංගනයකදීම ටෙස්ට් පිටියෙන් සමු ගනිමින් අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වෙන්න ලැබීමත් එක්තරා විදිහක සුවිශේෂී සිදුවීමක්. එම විශේෂිත ක්‍රිකට් ක්‍රීඩකයා නම් තම 93 වැනි ටෙස්ට් තරගයට ගාල්ලේදී සහභාගී වූ රංගන හේරත්ය.

එහෙත් එහිදී දුටු විශේෂ කාරණය වුයේ ගෙවීගිය සතියේ දින 04ක් කාලයක් තුළ රංගනගේ සමුගැනීමේ ටෙස්ට් තරගය පැවැත්වුයේ ලංකාවේද එංගලන්තයේද කියන ප්‍රශ්නය මතුවීමයි. ඊට හේතුව ක්‍රීඩාංගණයට පැමිණ සිටි 6000කට අධික එංගලන්ත ජාතික නරඹන්නන් දුටු විටයි.

එහෙම වෙන්න හේතුව වුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 6500ක පමණ වූ ප්‍රේක්ෂක ධාරිතාව එංගලන්ත ජාතිකයන් විසින් වේලාසනින්ම වෙන්කරවා ගන්නා ලද නිසාය. ලංකාවෙන් ටික දෙනෙක් සිටිය නමුත් ඒ අතර හිටපු රංගනට ආදරය කරන බොහෝ දෙනෙකු හිටියේ නොසතුටින්. හේතුව වෙනදා ගාල්ලේදී මින් පෙර සුපිරි ක්‍රීඩකයන් සමුගන්න විට ඔවුන්ගේ නමින් සුපිරි මට්ටමේ කුටි නිර්මාණය කර තිබුනත් මෙවර රංගන වෙනුවෙන් එවන් පහසුකම් සහිත ප්‍රේක්ෂක කුටි නොතිබීමයි.

රංගනගේ ටෙස්ට් දිවියේ අවසන් පන්දුව පසුගිය බ්‍රහස්පතින්දා (08) එංගලන්තයට එරෙහිව යැවීමෙන් පසුව ඔහුගේ නම ඉදිරියේ ලියවී ඇති ටෙස්ට් කඩුලු 433න් 102ක්ම ලබා ගෙන තිබෙන්නේ ඔහු 1999දී ටෙස්ට් ක්‍රිකට් ආරම්භ කළ ගාල්ල ක්‍රීඩාංගණයේදී වීමත් විශේෂයි. ඒ කෙසේ වෙතත් ගාල්ල ක්‍රීඩාංගණයේදී ඔහුගේ අවසන් ටෙස්ට් තරගය පටන් ගන්නට පෙර ගාල්ලේදීම හමුවෙලා කියපු මේ කතාවලින් ඔහුගේ නිහතමානි ක්‍රීඩා ජීවිතය ගැන අදහසක් ගන්න හොදටම ප්‍රමාණවත්.

"මම මුල සිටම ගත්තොත් පොල්ගහවෙල ශාන්ත බර්නදෙත් විද්‍යාලය, නාරම්මල මයුරපාද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය යන පාසල් තුනෙන්ම අධ්‍යාපනය ලැබුවා.මයුරපාද විද්‍යාලයෙන් තමයි ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ. එතැනදී තමයි මගේ පළමු ක්‍රිකට් පුහුණුකරු ලාල් දීනපුර්ණ මහත්මයා හමු වෙන්නේ. ඊට පසුව මගේ ඒ කාලේ ක්‍රිකට් දක්ෂතා දැකලා තමයි රොහාන් දීරසුරිය මහතා මාව කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඇතුළත් කළේ. එහෙම ක්‍රිකට් කරන විටදී 1994දී ශ්‍රී ලංකා 17න් පහල ක්‍රිකට් කණ්ඩායමත්  මැලේසියාවට යන්න අවස්ථාවක් ලැබුණා. ඒ මොහොතේ තමයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ වෙන්න ඕන කියන සිහිනයක් ඇති වුණේ. කොහොම වුනත් ක්‍රිකට්වලට තිබුන ආදරය සහ කැමැත්ත නිසා තමයි ක්‍රීඩාව දිගටම කරගෙන ගියේ ඉන් පසුව ජාතික කණඩායමට ක්‍රීඩා කරන්න හැකියාවක් මට තියනවා කියලා හිතුණා. ඒ ඔස්සේ හිතට අධිෂ්ඨානයක් ගොඩනගා ගෙන පාසලේ අවුරුදු 19න් පහළ කාලයක් ක්‍රීඩා කළා. ඊට පසුව මම කොළඹ මුවර්ස් ක්‍රීඩා සමාජයට සම්බන්ධ වෙලා ක්‍රීඩා කරන කාලේ 1999දී ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායමත් සමග එංගලන්තයට යෑමට අවස්ථාවක් ලැබුණා. එහිදී එංගලන්ත "ඒ " කණ්ඩායමත් සමග හොඳින් ක්‍රීඩා කරපු නිසා මට ජාතික කණ්ඩායමට එන්න අවස්ථාවක් ලැබුණා. ඒ නිසා ඒ අවුරුද්දෙම ගාල්ලට ඇවිල්ලා ඕස්ට්‍රේලියාවට එරෙහිව මගේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කරන්න අවස්ථාව උදා වුණා. ඉන් පසුව 2000 අවුරුද්දේ සිට වරින් වර ඇවිල්ලා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න ඉඩ ලැබුණා."

රංගනයේ ගමන තුළත් සෑම වීර චරිතයකටම ඇති බාධා නොතිබුණා නොවෙයි කියලා මේ පිලිතුරුවලින්ම වටහා ගන්න පුළුවන්.

"නමුත් 2002 දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග දකුණු අප්‍රිකාවට යන්න මට ඉඩ ලැබුණත් මම නැවත ශ්‍රී ලංකා ජාතික කණඩායමට තෝරා ගත්තේ 2004 වසරේදීයි. අයෙමත් 2005 දී ජාතික කණඩායමෙන් එලියට යන්න සිදුවුණා. එහෙම කාලයක් තමයි මට තිබුණේ. හැබැයි ඒ ගැන මම සන්තෝෂ වෙනවා. ඇරෙන්න දුක් වුනේ නෑ. ඒ කාලය තුළ ආපසු හැරී බලද්දී මගේ තිබුණු අඩුපාඩු හදා ගන්නේ, කොහොමද ක්ලබ් එකේ ක්‍රීඩා කරන්නේ කියලා අධිෂ්ඨානශීලීව කටයුතු කරන්න මම වඩාත් උනන්දු වුණා. මම ගැන මට ලොකු විශ්වාසයක් තිබුණා. නැවතත් ජාතික කණ්ඩායමට එන්න පුලවන් කියලා. 2009දි මම ලීග් ක්‍රිකට් ගහන්න එංගලන්තයට ගියා. ඉන් පසුව තමයි මුරලිදරන් ආබාධයකට ලක් වුන වෙලාවේ මට හදිසි කැඳවීමක් ලැබුණේ. එහෙම ඇවිල්ලා 2009 සිට මේ වනතුරු ක්‍රීඩා කරගෙන ආවේ. මගේ මේ ගමන බැලුවම මට පුළුවන් ආකාරයෙන් කණ්ඩායමට වගේම රටට සියයට සියයක්ම මගේ සහයෝගය ලබා දුන්නා, කියලා මම අද හිතනවා. ඒ නිසා මම මේ ලබා ගත්ත දැනුම සහ පළපුරුද්ද ඉදිරියේදී නවකයින් සමග බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙනවා."

පාසැල් කාලයේ සිදුකරන ලද වෙනසක් ගැනද සිහිපත් කරන්නට රංගන අමතක කලේ නැත. ඒ කතාව පාසල් කාලයේ ආරම්භක පිතිකරුවෙක් සහ වේග පන්දු යවන්නෙක් වෙලා පසුව වෙනස් වූ හැටි.

"එහෙත් හැම තරගයකම ආරම්භක පිතිකරුවෙක් විදිහට ක්‍රීඩා කරලා නැහැ. නමුත් මම මයුරපාදේ ඉදල මලියදේව විද්‍යාලයට ගියාම එහි තිබුණ තරගකාරීත්වය නිසා  පුහුණුකරු මගේ හැකියාවනුත් හඳුනාගෙන ඔහුගේ දක්ෂතාවයෙන් මම දඟ පන්දු යවන්නෙක් බවට පරිවර්තනය කළා. ඒ වගේම මට ඉදිරිපෙළ පිතිකරුවෙක් විදිහටත් බැට් කරන්නත් අවස්ථාව අඩු වූ නිසා පන්දු යැවීම කෙරෙහි වැඩි අවධානය යොමු කළා."

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය කියන්නේ රංගන හේරත් වැඩිම ටෙස්ට් කදුළු ප්‍රමාණයක් ලබා ගත්ත ක්‍රීඩාංගනයයි. එම ක්‍රීඩාංගනයේදී තමන්ගේ 93 වැනි ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරලා මෙම තරගාවලියේදීම එංගලතයට එරෙහිව තවත් ටෙස්ට් තරග දෙකක් තිබියදී ක්‍රිකට් දිවියෙන් සමු ගන්න තීරණය කලේ ඇයි කියන ප්‍රශ්නය රංගන ඉදිරියේ තැබුවා.

"අන්තිම අවුරුදු එකහමාර වගේ ගත්තොත් බොහෝ වෙලාවට මම ටෙස්ට් තරග 03ක් එක දිගට තරඟ කරලා නැහැ. මගේ කොන්දේ තිබුන ආබාධය ඒකට ප්‍රධාන හේතුවයි. එහෙම තිබෙන වෙලාවක ටෙස්ට් තරගාවලියේ තරග තුනම ක්‍රීඩා කරන එක ගැන මට විශ්වාසයක් නැති නිසා ඒ හැම ප්‍රශ්නයක් ගැනම කණ්ඩායමේ පුහුණුකරු හා නායකයා ඇතුළු සියලුම දෙනා සමග කතා කරලයි ගාල්ල තරගයට පමණක් ක්‍රීඩා කරන්න තීරණය කළේ."

වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලොකු අයියා ඔබයි කියන අදහසත් එක්කම ඇසු ප්‍රශ්නවලට රංගනගේ පිළිතුරු මෙසේ ගලාගෙන ආවා.

" ඔව් මට ලැබෙන අත්දැකීම් තවත් කෙනෙකුට නොලැබෙන්න පුළුවන්. නමුත් මම කණ්ඩායමෙන් ඉවත් කරපු වෙලාවේ පුහුණුවීම් අත්හැරලා ඒ ගැනම කල්පනා කරලා වෙනත් දේකට මගේ හිත යොමු කරන්න ගියා නම් අද මෙහෙම තැනක ඉන්නේ නැතිවෙන්න ඉද තිබුණා. නමුත් ආයෙමත් මට ඒ දේවල් කරන්න පුළුවන් කියන එක මම ගැන මට ලොකු විශ්වාසයක් තිබුණා. පුහුණු කටයුතුවලදී පවා හිතට හොරා වැඩ කරන්න ගියේ නැහැ.හැම තිස්සෙම වැරදි හදාගෙන ඉදිරියට යා යුතුයි කියන අධිෂ්ඨානය මගේ හිතේ තිබුණා. ඒ දේවල් තමයි මගේ ජීවිතයෙන් කාට හෝ ගත හැකි දෙයක් තියනවා කියලා හිතන්නේ. සමහර වෙලාවට ආපස්සට හැරිලා බැලුවහම ඊට වඩා හොදට කරල තරග දිනවන්න තිබුණානම් හොදයි කියලා හිතෙනවා. එහෙම බැලුවාම 2011දි තවත් වර්ඩ් කප් ජයග්‍රහණයක් ගන්න තිබුණා නම් හොදයි කියලා දැන් හිතනවා.

එහෙත් ක්‍රිකට් ක්‍රීඩාව නිසා ලැබුන දේවල් තමයි මට වැඩිපුරම තියෙන්නේ. මට පසුතැවෙන්න දෙයක් නැහැ. මට අවුරුදු 21දී ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලැබුණා. මම හිතන්නේ අපේ රටේ අතලොස්සකට තමයි ඒ වගේ වයසකදී ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබෙන්නේ. කණ්ඩායමෙන් ඉවත් වෙන්න සිදුවූ අවස්ථාවලදී වුනත් එහෙම වුනේ කණ්ඩායමේ සංයුතිය ගැන හිතල වෙන්න ඇති. ඒ පැත්තෙන් ගත්තත් මට කිසිම කලකිරීමක් නැහැ. "

තමා වටා හැමදාම සිටි පිරිස් අමතක නොකරන්නද රංගන අප හමුවූ අවස්ථාවේදී සිතා ගත්හ.

99 සිටම මේ දක්වා රසිකයෝ මා වටා සිටියා. අපි මේ කරන්නේ ක්‍රීඩාවක් නිසා තරඟ ජය ගන්න පුළුවන්. ඒ නිසා රසිකයෝ හැටියට මට කළ උදවු මම අමතක කරන්නේ නැහැ. ඉදිරියේදීත් එන අයට ඒ විදිහටම රසිකයන්ගෙ,ක්‍රීඩා ලෝලීන්ගේ උදවු ලැබේවි කියලා මා බලාපොරොත්තු වෙනවා.

මගේ අම්මා සහ තාත්තා අද ජීවතුන් අතර නැහැ. (හැගීම්බරව කඳුළු පිරි දෙනෙතින්) නමුත් එයාලගෙන් මුල සිටම ලැබුණු සහයෝගය නිසා තමයි මේ වගේ තැනකට එන්න මට හැකියාව ලැබුනේ. ඊට අමතරව මගේ පවුල බිරිඳ සහ දරුවන්, පාසල්වල විදුහල්පතිතුමන්ලා වගේම ගුරුභවතුන්, පුහුණුකරුවන්,පාසලේ මිතුරන් ඇතුළු සියලුම දෙනා මතක් කරන්න කැමතියි.

ඉතාම වැදගත්ම දේ තමයි ක්‍රීඩකයෝ විදිහට කටයුතු කරන්න අපිට සෑම විටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබුණ සහයෝගය අමතක කරන්න බැහැ.

1994 සිටම මේ දක්වා එහි සියලුම නිලධාරීන්ගෙන් වගේම සියලුම ක්‍රීඩා අමාත්‍යවරුන්ගෙන් ලැබුන සහයෝගය මේ මොහොතේ ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා.

ඒ වගේම මා සමග සිටි ක්‍රීඩකයෝ මෙන්ම මාධ්‍යවේදීන් සහ සියලුම ක්‍රීඩාලෝලීන් වගේම මා සේවය කරන සම්පත් බැංකුවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලට මගේ ස්තුතිය  පුද කරන අතර  ගෞරවය  ඔවුන් සියලු දෙනා මතක් කර සිටිනවා.

ගම ගාල්ලේ නොවුණත් ගාල්ලේදී වැඩ පෙන්වපු රංගන..!

(මව්බිම)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 6
බෙදාගන්න
ගම ගාල්ලේ නොවුණත් ගාල්ලේදී වැඩ පෙන්වපු රංගන..! | Lanka Newsweek