අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කෝටි 1000ක ණයක් මහජන බැංකුවෙන් කෑ "MTD" අධ්‍යක්ෂක මණ්ඩලය ඉල්ලා අස්වෙලා..!

කෝටි 1000ක ණයක් මහජන බැංකුවෙන් කෑ "MTD" අධ්‍යක්ෂක මණ්ඩලය ඉල්ලා අස්වෙලා..!

“ මලික්-ජෙහාන් ” කෝටි 1000 ට පොල්ලක් තියන්න යන ලකුණු.. ? ( සුමුදු පෙරේරා ) මහජන බැංකුවෙන් රුපියල් කෝටි 1000 ඉක්මවූ අති විශාල මුදලක් ණයට ගෙන ඇති ජෙහාන් අමරතුංග මහතා විධායක නියෝජ්‍ය සභාපති ධූරය දරන…

“මලික්-ජෙහාන්” කෝටි 1000 ට පොල්ලක් තියන්න යන ලකුණු..?

(සුමුදු පෙරේරා)

මහජන බැංකුවෙන් රුපියල් කෝටි 1000 ඉක්මවූ අති විශාල මුදලක් ණයට ගෙන ඇති ජෙහාන් අමරතුංග මහතා විධායක නියෝජ්‍ය සභාපති ධූරය දරන “MTD WALKERS PLC” සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය හදිසියේම ඉල්ලා අස්වී තිබේ.

එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙසේ ඉල්ලා අස්වී තිබෙන්නේ, මහජන බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ද වන සිය විධායක නියෝජ්‍ය සභාපති ජෙහාන් අමරතුංග මහතා එම බැංකුවෙන්ම රුපියල් කෝටි 1000 ඉක්මවූ ණයක් ගැනීමේ සිද්ධිය රටේ ආන්දෝලනයට තුඩු දී තිබීම සහ සමාගමක් ගත් ණයක් ගෙවීමට අපොහොසත් වුණොත් අදාළ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය සිය පෞද්ගලික දේපොළ විකුණා හෝ එම ණය මුදල ගෙවීමට නීතියෙන් බැදී සිටින නිසාය.

දැන්වීම

“MTD WALKERS PLC” සමාගමේ සම්පූර්ණ අධ්‍යක්ෂ මණ්ඩලයම ඉල්ලා අස්වී තිබෙන තත්ත්වය හමුවේ රුපියල් කෝටි 1000 ඉක්මවූ සිය ණය මුදල පියවා ගැනීම මහජන බැංකුවට ප්‍රශ්නයක් වනු ඇතැයි ආර්ථික සහ මුල්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

මහ ජන බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ලෙස ද  ක්‍රියා කරන ජෙහාන් අමරතුංග නැමැත්තා “MTD WALKERS PLC” සමාගම වෙනුවෙන් එම බැංකුවෙන්ම රුපියල් කෝටි 1000 ඉක්ම වූ අති විශාල ණය මුදලක් ලබා ගෙන ඇත්තේ  සිය දේශපාලන හයිය සහ සබඳතා පාවිච්චි කරමිනි.

මේ හේතුවෙන් මහජන බැංකුව අභ්‍යන්තරයේ උග්‍ර අර්බුදකාරී තත්ත්වයක් කලක සිටම නිර්මාණය වී තිබූ අතර “මලික් නිසා මහ ජන බැංකුව අනතුරේ…” යන ශීර්ෂය යටතේ 2018 අගෝස්තු මස 02 වැනිදා මේ පිළිබඳ සියලු තොරතුරු මුලින්ම රටට හෙළි කළේ “lankanewsweek” කණ්ඩායමය.

උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ව්‍යාපාරික සගයා වන ජෙහාන් අමරතුංග මහතා මේ අති විශාල ණය මුදල ලබා ගෙන ඇත්තේ මලික් සමරවික්‍රම මහතාගේ ද, බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ලෙස තමාගේ ද බලතල අනියම් ලෙස  පාවිච්චි කරමින් බව මහ ජන බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මලික් සමරවික්‍රම මහතා ද ප්‍රධාන කොටස්කරුවකු වන “MTD WALKERS PLC” යනු මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් ඇතුළු රට පුරා  මහ මාර්ග සහ අනෙකුත්  ඉදිකිරීම් කොන්ත්‍රාත් ගණනාවක් ලබා ගෙන සිටින මැලේසියාවේ “CML-MTD CONSTRUCTIONS” සමාගමේ ප්‍රධානතම දේශීය කොටස්කරුය.

මැලේසියාවේ “CML-MTD CONSTRUCTIONS” සමාගමට අනුබද්ධිත මෙම “MTD WALKERS PLC” හී නියෝජ්‍ය විධායක සභාපතිවරයා වන ජෙහාන් අමරතුංග මහතා,මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ද සමග එක්ව එම සමාගමේ මුදල් අයථා ලෙස පාවිච්චි කර ඇතැයි කියන චෝදනාව මත මැලේසියානු බලධාරීන් “MTD WALKERS PLC” සමාගමේ සියලුම ගිණුම් මේ වන විටත් “සීල්” තබා තිබේ.

මැලේසියානු බලධාරීන් “MTD WALKERS PLC” සමාගමේ සියලුම ගිණුම් මෙසේ  “සීල්” තැබීම සහ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය හදිසියේම ඉල්ලා අස්වීම මතමේ ප්‍රශ්නය වඩාත් උග්‍ර වී තිබේ.

මහ ජන බැංකුව පිහිටුවා ගත වූ වසර හැට පහ කාලය ඇතුළත එම බැංකුව ලබා දී තිබෙන විශාලතම ණය මුදල මේ රුපියල් කෝටි 1000 ඉක්ම වූ ණය මුදල වන  බව එම බැංකුවේ වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මහ ජන බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ලෙස ක්‍රියා කරන අතර තුර ජෙහාන් අමරතුංග  මහතා, තමා නියෝජ්‍ය විධායක සභාපති ධූරය දරන පුද්ගලික සමාගම වෙනුවෙන් එම බැංකකුවෙන්ම රුපියල් කෝටි 1000 ඉක්ම වූ ණය මුදලක්  ගන්නේ කෙසේ දැයි ප්‍රශ්න කර සිටින ආර්ථික සහ මුල්‍ය විශේෂඥයෝ මේ තත්ත්වය ප්‍රධානියා සහ අනුගාමිකයින් අතර පවතින ගැටුම හෙවත් ළබැඳියාවන්ගේ නීතිමය ගැටුම ලෙස හඳුන් වන අතර මේ ක්‍රියාවලිය මුල්‍ය විනයට, සදාචාරයට සහ බැංකු සම්ප්‍රදායට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ද අවධාරණය කරති.

ජෙහාන් අමරතුංග මහතා මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිටම මහ ජන බැංකුවේ අධ්‍යක්ෂකරයකු ලෙස ක්‍රියා කරන අතර ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ සමීපතමයෙකි.

මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා යහ පාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසුවත් මහ ජන බැංකුවේ අධ්‍යක්ෂකරයකු ලෙස දිගටම රැදී සිටීමට ඔහුට හැකි වී තිබෙන්නේ ඔහු මලික් සමරවික්‍රම මහතාගේ ව්‍යාපාරික සගයා වීම සහ මලික් සමරවික්‍රම මහතාත් ගාමිණීසෙනරත් මහතාත් අතර පවතින කුළුපගකම හේතුවෙන් යැයි අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දුන්නේ මලික් සමරවික්‍රම මහතාගේ සහ ජෙහාන් අමරතුංග මහතාගේ මේ ක්‍රියා කලාපය ආණ්ඩුවට විශාල ප්‍රශ්නයක් වී තිබෙන්නේය යන ස්ථාවරයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සිටින බවයි.  

මහ ජන බැංකුවේ අධ්‍යක්ෂක ධූරය හැරුණු විට ජෙහාන් අමරතුංග මහතා “PEOPLE’S INSURANCE LIMITED”හී විධායක නොවන සභාපතිවරයා ලෙස ද “PEOPLE’S LEASING” හී විධායක නොවන අධ්‍යක්ෂකවරයා ලෙස ද ක්‍රියා කරයි.

මහ ජන බැංකු වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ බැංකුවට රුපියල් කෝටි 1000ක ණයකාරයකු වී සිටින ජෙහාන් අමරතුංග මහතා වහාම බැංකුවේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් විය යුතු බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
කෝටි 1000ක ණයක් මහජන බැංකුවෙන් කෑ "MTD" අධ්‍යක්ෂක මණ්ඩලය ඉල්ලා අස්වෙලා..! | Lanka Newsweek