අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කෝටිපති ව්‍යාපාරිකයා මැරූ දකුණේ නමගිය පාතාලයා තව දුරටත් රිමාන්ඩ්

කෝටිපති ව්‍යාපාරිකයා මැරූ දකුණේ නමගිය පාතාලයා තව දුරටත් රිමාන්ඩ්

(ජයකාන්ත ලියනගේ) බළපිටිය, පැටිවත්තේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු වෙඩිතබා ඝාතනය කළේ යැයි අම්බලන්ගොඩ පොලීසිය හා නවගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාගෙන් දෙවන සැකකරු 2017 නොවැම්බර් මස…

(ජයකාන්ත ලියනගේ)

බළපිටිය, පැටිවත්තේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු වෙඩිතබා ඝාතනය කළේ යැයි අම්බලන්ගොඩ පොලීසිය හා නවගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාගෙන් දෙවන සැකකරු 2017 නොවැම්බර් මස 24 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනා ගත කිරීමට බලපිටිය මහේස්ත්‍රාත්   රජින්ද්‍රා ජයසූරිය මෙනවිය ඊයේ (17) නියෝග කළාය.

සිද්ධියට අදාලව හදුනාගෙන සිටින අනෙක් සැකකරුවන්ද අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පරීක්ෂණ වල ප‍්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් මීලග නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත‍්‍රාත්තුමිය අම්බලන්ගොඩ පොලීසියට දැනුම් දුන්නාය.

දැන්වීම

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය, 92274 අංකය යටතේ බළපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ අම්බලන්ගොඩ මාදම්පේ පදිංචි නොරගල් සුමුදු ප‍්‍රියංකර ද සිල්වා (30) නැමැති අයයි.

පළමු සැකකරු වන අහුන්ගල්ලේ පදිංචි අමිල දුෂ්‍යන්ත (32) නැමැති අය, බළපිටිය මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා වෙත ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත නිදහස් කර ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්ගොඩ නගරයේ හා බළපිටිය මහළදූවේ හෝටල කිහිපයක හා කුලියට දෙන ලද තට්ටු ගොඩනැගිලි කිහිපයක හිමිකරුවකු වන කෝටිපති ව්‍යාපාරික බළපිටිය, මහළදූවේ ‘‘අරලියවිලා’’ නිවසේ පදිංචිව සිටි මාදූවගේ සරත් නිමල් (49) නැමැති අයයි.

2016 වසරේ ජූලි 18 වන දින බළපිටිය මහලදූවේ පිහිටි සිය නිවසේ සිට පෞද්ගලික කටයුත්තක් සදහා වතුගෙදර දෙසට සිය ස්කූටි වර්ගයේ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී දහවල් 11.00 ට පමණ වතුගෙදර, පැටිවත්තේදී මොහුට වෙඩි තබා ඝාතනය කර තිබේ. වෙඩි තැබීම සිදුකරන ලද ස්ථානයේ තිබී ටී - 56 උණ්ඩ කොපු 16 ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබුණි. ඝාතනයට ලක් වූ අයගේ දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ අම්බලන්ගොඩ පොලීසිය පළමු සැකකරු හදුනාගෙන අත් අඩංගුවට ගෙන තිබේ. නවගමුව පොලීසිය වෙනත් වෙඩිතැබීමකට අදාලව දෙවන සැකකරු අත් අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමේදී මෙම ඝාතනයේ තොරතුරුද අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

මීට වසර කීපයකට පෙරද ඝාතනයට ලක් වූ අයගේ සහෝදරයකුටද වෙඩිතබා ඝාතනය කර තිබෙන බවත් මීට මාස කීපයකට පමණ පෙර අම්බලන්ගොඩ නගරයේ තවත් කෝටිපති ව්‍යාපාරිකයෙකු ඝාතනයට ලක් වූ බවත් ඒ නිසාම මෙම ඝාතනයන් සම්බන්ධයෙන් පැති කීපයක්ම ඔස්සේම පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.

අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් ගීතානන්ද සිල්වා (6790) මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
කෝටිපති ව්‍යාපාරිකයා මැරූ දකුණේ නමගිය පාතාලයා තව දුරටත් රිමාන්ඩ් | Lanka Newsweek