කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ හා මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

“Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ හා මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (15) පෙරවරුවේ ආරම්භ කෙරිණි. වසර 60ක…
“Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ හා මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (15) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
වසර 60ක කාලය තුළ මෙම පර්යන්තය සම්පූර්ණයෙන් වසා දමා සියලු පහසුකම් සහිත නවීන සහ ආකර්ෂණීය බස් නැවතුම්පොළක් ලෙස පුර්ණ සංවර්ධනයකට ලක් කෙරෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු ශ්‍රම දායකත්වය සහ කොළඹ මහ නගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ අනෙකුත් ආයතනවල දායකත්වයෙන් සහ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, ජාතික විද්වත් සංසදය (NIO Engineering) ඇතුළු සංවිධානද ස්වේඡාවෙන්ම මේ සඳහා එක්ව සිටී.
දැන්වීම
2026 වසරේ අප්‍රේල් මාසයේදී, සිංහල-දෙමළ අලුත් අවුරුද්දට පෙර ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය.
මෙම උත්සව සභාව ඇමතූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ පොදු ප්‍රවාහනය ශක්තිමත් නොකර, රටක් දියුණු කළ නොහැකි බවයි. පොදු ප්‍රවාහනය රටක ආර්ථික ක්‍රියාවලියේ ප්‍රධාන කොටසක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා සුවපහසු, කාර්යක්ෂම සහ අඩු පිරිවැයකින් යුත් පොදු ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබා දීම තුළින් මෙරට ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම වේගවත් කළ හැකි බවද සඳහන් කළේය.
සමරු ඵලකය නිරාවරණය කර කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ ව්‍යාපෘතිය සමාරම්භය සනිටුහන් කිරීමේ අවස්ථාවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවද නිරත විය.
නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලි, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්, කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීහුද, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, රාජ්‍ය නිලධාරිහු, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීහු, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරීහු සහ වෘත්තීය සංගම්,වෙළෙඳ සංගම් නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
“පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්” උදා කර දීමේ රජයේ වැඩපිළිවෙළට අනුව තිරසර, නවීන සහ ප්‍රමිතිගත පොදු ප්‍රවාහන පද්ධතියකින් සමන්විත සුන්දර ජීවන රටාවක් අත්කර ගැනීම උදෙසා දුම්රිය ස්ථානවල පොදු පහසුකම් ඉහළ නැංවීම, දුම්රිය ස්ථාන සුවපහසු ආරක්ෂිත ස්ථාන බවට පත් කිරීම අරමුණු කර ගනිමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ජාතික විද්වත් සංසදය (NIO Engineering) ඇතුළු රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය මත දිවයිනේ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබේ. විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
සමරු ඵලකය නිරාවරණය කරමින් මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කිරීමේ අවස්ථාවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ අතර, එහි පාලක මැදිරිය ඇතුළු ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවට අනන්‍ය ‘රුහුණු කුමාරි’ නම් නව සිංහල පරිගණක අක්ෂරය හඳුන්වාදීමද මෙහිදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ පිහිටි ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් දුම්රිය ස්ථානයක් ලෙස සැලකෙන මරදාන දුම්රිය ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි දුම්රිය ස්ථාන අතරින් දෙවෙනි විශාලතම දුම්රිය ස්ථානය ලෙස සැලකේ. මෙහි පෞරාණිකත්වයට හානියක් නොවන පරිදි මෙම නවීකරණ කටයුතු සිදු කිරීමට නියමිතය.
මෙහිදී, උත්සව සභාව ඇමතූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ දුම්රිය සේවාව නොසලකා හැරීම සහ පැරණි දේශපාලන සංස්කෘතියේ ගොදුරු බවට දුම්රිය සේවකයින් පත්වීම මෙරට ගුණාත්මක දුම්රිය සේවාවක් ගොඩනැඟීමේදී අභියෝගයක්ව පැවතී බවයි.
ජනතාවගේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා සපුරන ප්‍රධාන මාධ්‍යයක් වූ දුම්රිය සේවය පිළිබඳ ජනතා විශ්වසනීයත්වය ගොඩනඟමින් සක්‍රීය සහ කාර්යක්ෂම දුම්රිය සේවාවක් පවත්වා ගැනීමත්, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයත් අරමුණු කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති, මගීන් මෙන්ම ප්‍රදේශවාසී ජනතාව, පෞද්ගලික අංශය ඇතුළු සියලුදෙනා එක් කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවත්, ඒ වෙනුවෙන් ඉදිරියේදීද සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නජිත් ඉන්දික, ලක්මාලි හේමචන්ද්‍ර, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. පෙරේරා, දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය යන මහත්ම මහත්මීහුද, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීහූ, පෞද්ගලික ආයතන නියෝජිතයෝ සහ පාසල් සිසුහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.