කීරි සම්බා වෙනුවට පොන්නි සම්බා දෙන්න ආණ්ඩුව සැරසෙයි

(අචින්ත මධුර) මේ වනවිට වෙළෙඳපොළේ නිර්මාණය වී ඇති දැවැන්ත කීරි සම්බා හිඟයට පිලියමක් ලෙස මෙන්ම පාලන මිලට වඩා වැඩි මිලට කිරි සම්බා අලෙවි වීම පිළිබඳව වාර්තා වන කරුණු සලකා බලා, 2025-10-15 දින සිට…
(අචින්ත මධුර)
මේ වනවිට වෙළෙඳපොළේ නිර්මාණය වී ඇති දැවැන්ත කීරි සම්බා හිඟයට පිලියමක් ලෙස මෙන්ම පාලන මිලට වඩා වැඩි මිලට කිරි සම්බා අලෙවි වීම පිළිබඳව වාර්තා වන කරුණු සලකා බලා, 2025-10-15 දින සිට 2025-11-15 දින දක්වා එක් ආනයනකරුවකුට මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබේ.
ඒ අනුව පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
අඟහරුවාදා (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව තහවුරු කරනු ලැබීය.
දැන්වීම
කෙසේ නමුත් 2024 දෙසැම්බර් මාසයේදී එක්තරා මාධ්‍ය ආයතනයක පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා නැවත කිසි දිනක කිසිඳු හාල් වර්ගයක් මෙරටට ආනයනය නොකරන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සහල් ආනයනය කරනු ලබන සිව් වන අවතාව මෙය වන බවටද තොරතුරු වාර්තා වේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තාව අනුව, ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් 2,460,000ක් වෙයි.
එයින් වාර්ෂික කීරි සම්බා පරිභෝජනය 10%කි. එනම් මෙට්‍රික්ටොන් 246,000ක් පමණ වෙයි.