කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ආදර කතාවක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

1942 : A Love Story 1994 වසරේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත් චිත්‍රපටයක්. Ek Ladaki Ko Dekha Toh Aisa Laga යනු එම චිත්‍රපටයේ ඇතුළත් අතිශය ජනප්‍රිය ගීතයක්. අනිල් කපූර් සහ මනීෂා කොයිරාලගේ රංගනයෙන් ඔපවත්…
1942 : A Love Story 1994 වසරේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත් චිත්‍රපටයක්. Ek Ladaki Ko Dekha Toh Aisa Laga යනු එම චිත්‍රපටයේ ඇතුළත් අතිශය ජනප්‍රිය ගීතයක්. අනිල් කපූර් සහ මනීෂා කොයිරාලගේ රංගනයෙන් ඔපවත් වූ මෙම චිත්‍රපටයට 1995 වසරේ පැවති ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ සම්මාන රැසක් හිමි වූ අතර Ek Ladaki Ko Dekha Toh Aisa Laga ගීතයේ පද රචනයට සහ ගායනයට හිමි සම්මාන ද ඒ අතර විය.
Ek Ladaki Ko Dekha Toh Aisa Laga නමින් බොලිවුඩ් සිනමා නිර්මාණයක් රිදී තිරයට පිවිසියේ පසුගිය පෙබරවාරි පළමු වැනිදාය. නව යොවුන් චිත්‍රපටයක් ලෙසින් නිර්මිත එය පවසන්නේ ආදර කතාවක් ගැනයි.
ලෝකයේ විවිධාකාර වූ ආදර කතා අතරේ ඇතැම් ආදර කතා සරල වන්නේ නැහැ. Ek Ladaki Ko Dekha Toh Aisa Laga චිත්‍රපටයේ ස්වීටිගේ ආදර කතාවත් එවැනි සංකීර්ණ ආදර කතාවක්. ස්වීටිගේ පවුලේ උදවිය උනන්දු වන්නේ ඇය ඉක්මනින් විවාහකර දීමටයි.
යෝජිත තරුණයා ලේඛකයෙකු වන අතර ස්වීටි වෙත වූ ඔහුගේ කැමැත්ත ඉහළින්ම ඇත. නමුත් ස්වීටිගේ ජීවිතයේ රහසක් වේ. එනම් ඇයගේ සැබෑ ප්‍රේමය යි. ඇයගේ අදහස තම සත්‍ය ආදරයට තම පවුලේ සාමාජිකයන් මෙන්ම සමාජය ද මනාපයක් නොදක්වන බවයි.
සමරිසි තැනත්තිය වූ ස්වීටිගේ උත්සාහය තම සිත් ගත් තැනැත්තියහට පවුලේ සාමාජිකයන් කැමැති කරවා ගැනීමයි. ස්වීටි වෙත විවාහ යෝජනාවක් ගෙන ආ තරුණ ලේඛකයා මිතුරෙකු ලෙසින් ඇයගේ එම උත්සාහය වෙනුවෙන් උපකාරයට පැමිණෙන අතර ඒ හා සම්බන්ධ සිදුවීම් දාමය Ladaki Ko Dekha Toh Aisa Laga නමින් රිදී තිරයෙන් දිග හැරේ.
වසරේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ආදර කතාවක් ලෙසින් හැඳීවෙන Ek Ladaki Ko Dekha Toh Aisa Laga චිත්‍රපටයේ ස්වීටි ලෙසින් චරිත නිරූපණය කරන්නේ සෝනම් කපූර් විසිනි. ස්වීටි වෙත සිය පණ දෙවැනි කොට සෙනෙහස දක්වන පියාගේ චරිතයට පණ පොවන්නේ සැබෑ ජිවිතයේ ද පියා වන අනිල් කපූර් විසිනි.
මෙය අනිල් සහ දියණිය සෝනම් එකම සිනමාපටයකට දායක වන පළමු අවස්ථාවයි. ඔවුන් සමඟින් ජුහි චව්ලා, රාජ්කුමාර් රාඕ, අක්ෂේ් ඔබ්රෝයි, රෙජීනා සැන්ඩ්‍රා, බ්රිජෙන්ද්රා කාලා ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. Ek Ladaki Ko Dekha Toh Aisa Laga අධ්‍යක්ෂණය කරන්නේ, ශෙලී චොප්රා ධර් විසිනි. මෙය ඇයගේ කුලුඳුල් සිනමා පටය වන අතර නිෂ්පාදනය කරන්නේ Sanju, PK, 3 Idiots,, Parineeta වැනි චිත්‍රපට නිෂ්පාදනය කළ විනෝද් චොප්රා විසින්.
ඇතැම් හොලිවුඩ් නිර්මාණ සේම Fire, Marsarita with Straw, Angry Indian Goddesses වැනි බොලිවුඩ් චිත්‍රපට සමරිසිබව කතාබහට ලක් කළ මෑත කාලින සිනමා නිර්මාණ වේ. හොලිවුඩ් නිර්මාණවල උක්ත මාතෘකාව සංවේදී ලෙසින් කතාබහට ලක් කළද බොලිවුඩ් නිර්මාණ ඒ පිළිබඳ සංවේදී නොවී හාස්‍යයට ගැනීම දකින්ට ලැබේ.
බිලියන 1.3ක් පමණ වන ඉන්දීය ප්‍රේක්ෂකාගාරයේ බහුතරය මෙවන් සිනමා නිර්මාණ ප්රියනොකරන බැවින් බහුතරයක් වූ ඔවුන්ගේ අවධානය දිනා ගැනීම වෙනුවෙන් එම චිත්‍රපට හාස්‍යමය ස්වරූපයෙන් නිර්මාණය කරන්නට සිනමාකරුවන් උනන්දුවන බව විචාරක අදහසයි. කෙසේ නමුත් සමරිසිබව මාතෘකා වුව ද Ladaki Ko Dekha Toh Aisa Laga චිත්‍රපටය විශේෂ වන්නේ, අනිල් කපූර්, සෝනම් කපූර්, ජුහී චව්ලා, රාජ්කුමාර් රාඕ වැනි ජනප්‍රිය තලයේ නළු නිළියන් මෙන්ම විනෝද් චොප්රා වැනි ප්‍රකට නිෂ්පාදකවරයෙක් මෙවැනි චිත්‍රපටයකට දායක වන පළමු අවස්ථාව බැවිනි.
එදා ජාවේද් අක්තාර් විසින් රචනා කර කුමාර් සානු විසින් ගායන කළ Ladaki Ko Dekha Toh Aisa Laga ගීතය මෙම චිත්‍රපටය වෙනුවෙන් නව සංගීත සංයෝජනයෙන් යුතුව නිර්මාණය කර ඇති අතර ධර්ෂන් රාවල් සහ රෝචක් කෝලි විසින් එය ගායනා කර ඇත.
(උපුටා ගැනීම සරසවිය පුවත්පතින්)
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2