කිසිවිටෙක ඡන්දයක් නොඉල්ලූ රාජ්‍ය නායකයා
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 8

අධ්‍යාපනය ලබන සමයේ උසස් අධ්‍යාපනය සඳහා ලන්ඩන් බී.ඒ. උපාධියට ලියාපදිංචි වීමට අයඳුම්පතක් ඉදරිපත් කිරීමට තමාට අවශ්‍ය වුවත්. ඒ සඳහා නියමිත මුදල සොයා ගැනීමට ඔලිවර්ට නොහැකි විය. අවසානයේ එම මුදල ඉල්ලා ගන්නට…
අධ්‍යාපනය ලබන සමයේ උසස් අධ්‍යාපනය සඳහා ලන්ඩන් බී.ඒ. උපාධියට ලියාපදිංචි වීමට අයඳුම්පතක් ඉදරිපත් කිරීමට තමාට අවශ්‍ය වුවත්. ඒ සඳහා නියමිත මුදල සොයා ගැනීමට ඔලිවර්ට නොහැකි විය. අවසානයේ එම මුදල ඉල්ලා ගන්නට ගියේ තමාට ඥාතියෙකු වන ධනවතෙකු හමුවටයි.
සියලූ විස්තර ඇසු ඔහු පැවසුවේ ‘‘ඇඟිල්ලේ තරමට ඉදිමෙන්නට ඕනෑ. හරියට වත්කමක් නොමැතිව ලොකු ලොකු විභාග පාස් කරන්නේ කොහොමද? ඉගෙන ගත්ත තරමට රැකියාවක් හොයාගෙන අපට කරදරයක් නොවන විදියට ජීවත් වෙයල්ලා. ඔච්චර ඉගෙන ගන්න හදන්නේ රජ වෙන්නද? ආපු අතක් බලාගෙන පලයං. ඔය විකාර වලට දෙන්න අපි ළඟ සල්ලි නැහැ’’ කියා ඔලිවර් එළවා ගත්තේ සිත් පිත් නොමැති අයෙකු ලෙස ය.
දිනෙන් දින පිරිහුන මෙම ඥාතියා හමුවේ ඔලිවර් දිනෙන් දිනම බැබළෙන්නට විය. සිඟමනට වැටුණු එම ඥාතියා පිහිටක් සොයාගෙන ආවේ ඔලිවර් හමුවීමට ය. ඔහුට හොඳින් සැලකූ ඔලිවර් අවශ්‍ය උදව් උපකාර සිදුකළේ මෙත් සිතිනි. අබෞද්ධයකු වුවද ඔලිවර් තුළ මුදු ගුණය තිබුණි. කරුණාව, මෛතී‍්‍රය පිරී ඉතිරි ගිය සිතක් විය.
මාසික වේතනයක් පමණක් ලැබූ තැපැල් ස්ථානාධිපතිවරයෙකු වූ ඇල්ෆ්රඞ් අර්නස්ට් ගුණතිලක මහතාට උපත ලද එකම පුතණුවන් වූයේ ඔලිවර් අර්නස්ට් ගුණතිලක ය. වර්ෂ 1892 ඔක්තෝම්බර් 20 වනදා උපත ලද ඔලිවර් ගෙවා දැම්මේ සංචාරක දිවි පෙවෙතකි. තම පියාගේ රැකියාවට අනුව විවිධ ප්‍රදේශවලට සේවා මාරු ලැබෙන විට කුඩා ඔලිවර් ද එම ප්‍රදේශවලට ගියේ ය. ඒ අනුව බදුල්ල, නුවරඑළිය, ති‍්‍රකුණාමලය, දෙහිවල, කොළඹ ආදී ස්ථානවල විටින් විට පදිංචි වූ ඔලිවර්ගේ දෙමාපියන් ඔහුට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට උනන්දු විය.
ඔලිවර්ගේ පියා නුවරඑළියේ තැපැල් ස්ථානයේ සේවය කරන විට, ඔවුන් පදිංචිව සිට ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ ගවරම්මානනම් ගම් ප්‍රදේශයේ ය. ඔවුන් ජීවත්ව සිටි නිවෙස තවමත් තිබෙනු දැකිය හැක. නමුත් එම නිවස සහිත ඉඩම අද ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරන පින් බිමකි. එය ගවරම්මාන විදුරුපොළ පියතිස්ස පිරිවෙන් විද්‍යායතනය වේ. එහි අධිපති රාජකීය පණ්ඩිත නුවරඑළියේ චන්ද්‍රජෝති මහ නා හිමියෝ තමා වැඩ වාසය කරන ආවාස ගෙය එදා ඔලිවර් ගුණතිලක පවුලට සෙවන දුන් නිවෙස බව මා එහි ගිය විටෙක පවසා සිටියහ.
එපමණක් නොව සීත සමයේ ඔවුනට උණුසුම ලබා දුන් නිවසේ සාලය මැද පිහිටි දර පෝරණුව නා හිමියන් සුරක්ෂිතව අද ද, ආරක්ෂා කරන්නේ ඒ අතීතය සිහි ගන්වන්නට ය.
බොරැල්ලේ සිට දෙහිවලට දිනපතා පයින්
අගහිඟකම්වලින් පිරුණ ඔලිවර්ගේ පාසල් ජීවිතය ඔහු කිසි විටෙකත් බරක් කරගත්තේ නැත. තම පියා දෙහිවල ප්‍රදේශයේ සේවය කරන සමයේ දී දෙහිවල සිට මරදාන දක්වා දුම්රියෙන් පාසලට පැමිණෙන ඔලිවර් මරදානේ සිට පයින් දිනපතා බොරැල්ලේ වෙස්ලි විද්‍යාලයට ගිය අතර, පාසල ඇරුණු පසු යළි බොරැල්ලේ සිට මරදානට පයින් අවුත් දුම්රියෙන් දෙහිවලට ගොස් ඇත. පාසල් අධ්‍යාපනයෙන් පසු ලන්ඩන් බී.ඒ විභාගය සමත්ව පාසල් ගුරුවරයෙකු ලෙස රජයේ සේවයට පැමිණි ඔලිවර් එහි ටික කලක් සේවය කර බැංකුවක සේවකයෙකු ලෙස නව තනතුරක් ලැබීය. සිය ජීවිතය පුරා එක දිගට කිසිම රැකියාවක නොයෙදෙන ඔලිවර් සැම රැකියාවක්ම සිදුකළේ ටික කාලයකි. එය ඔහුගේ ජීවිත කාලය පුරාම සිදු වූ සිදුවීමකි.
බැංකු සේවය අතහැර ටික කලකින් ඔහු යොමු වූයේ ලේක් හවුස් ආයතනයට ය. එහි දී ඔහුට එහි හිමිකරු වන ඞී.ආර්. විජයවර්ධන මහතා පැවරුවේ ඬේලි නිව්ස් පුවත්පතේ කළමනාකාර පදවිය ය. ඔහු පැවරුණ වගකීම් නොපිරිහෙළා අකුරටම සිදුකරන අයුරු දුටු ඞී.ආර්. විජයවර්ධන මහතා ඔලිවර්ට තව තවත් වගකීම් පවරා වේතනයත් වැඩි කළ ද, ලේක් හවුස් ආයතනයේ නොරැඳුන ඔලිවර් ඊළඟ රැකියාව ලෙස තෝරා ගත්තේ රාජ්‍ය අංශයේ විගණන සේවාවයි. එහි සහකාර ගණකාධිකාරිවරයෙකු ලෙස පත්ව සිටි ඔලිවර් පළමුවන ලාංකික ගණකාධිකාරීවරයා බවට පත් විය. එයින් පසු ඔහු ලංකාවේ ප්‍රථම ලාංකික විගණකාධිපති ධුරයේ ද වැඩ භාරගත්හ.
පසුව එයින් ඉවත්ව ඔලිවර් දෙවන ලෝක යුද්ධයත් සමඟ තනතුරකට ප්‍රවිෂ්ට විය. එම තනතුර වූයේ ආහාර කොමසාරිස් තනතුරය. යුද සමයේ ලාංකික ජනතාවට ආහාර හිඟයක් නොවන අයුරින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට අවශ්‍ය විධිවිධාන යෙදීම මෙම තනතුරට පැවරුණ මූලික කරුණක් විය. මේ සමඟම ලංකාවේ සමුපකාර සේවය ද විධිමත්ව ජනතාව අතරට පිවිසෙන්නට වූයේ මෙම යුගයේදීය. ඊට අමතරව ලංකා යුද හමුදාවේ ආරක්ෂක කොමසාරිස් ධුරය ද පැවරුණේ ඔලිවර් ගුණතිලකයන් වෙතය. කුමන තනතුරක් ලැබුණ ද එයට නියමිත රාජකාරි සේවාවක් කිසි විටෙකත් පැහැර නොහැර මනාව ඉටු කිරීම ඔලිවර් ගුණතිලක චරිතයේ සුවිශේෂී ලක්ෂණය විය.
එදා අධිරාජ්‍යවාදී යුගයක වුවද දක්ෂයන්ට නිසි තැන දිමට ඉංගී්රසි පාලකයන් මැලි වූයේ නැත. අද මෙන් විවිධ හැකියාවන් ඇති දක්ෂයන් කපා හැර අදක්ෂයන් මුල් පුටුවල ලග්ගවන සිරිතක් ඔවුන් දැන සිටියේ ද නැත. ඒ නිසා ජාති බේද ආදි පටු බේදයන්ගෙන් තොරව දක්ෂයා මුල්තැනට ගෙන ඔවුන්ගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්නට ඉංගී්රසි පාලකයෝ උනන්දු විය. ඒ අනුව ඉංගී්රසි ආණ්ඩුකාරවරයා ඔලිවර් ගුණතිලකට තවත් සුවිශේෂී තනතුරක් පිරිනැමුවේය. එම තනතුර ද ලාංකිකයෙකුට හිමි වූ ප්‍රථම අවස්ථාව විය. තනතුර වූයේ මුදල් ලේකම් තනතුර ය. මෙම තනතුර ලබන්නාට තවත් සුවිශේෂී වරප්‍රසාදයක් හිමි විය. එය නම් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිල ලත් මන්තී‍්‍ර ධුරයකි. මේ නිසා ඔලිවර් ගුණතිලකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතයෙකු වීමේ දුර්ලභ අවස්ථාව හිමි විය.
සෙනෙට් සභාවෙන් පාර්ලිමේන්තුවට
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී ඔලිවර් ගුණතිලකගේ දක්ෂතාවයන් හොඳින් වටහා ගත් දේශපාලනඥයා වූයේ ඞී.ඇස්. සේනානායක මහතා ය. රටට නිදහස ලබාගන්නට උපක්‍රමශීලිව කටයුතු කරන ඞී.ඇස්.ට ඔලිවර් කදිම මිතුරෙකු විය. ඩොනමෝර් කොමිසම සමඟ රටට උරුම වූ පාර්ලිමේන්තු ක්‍රමයට අවශ්‍ය වන පුද්ගලයෙකු ලෙස ඞී.ඇස්.ට ඔලිවර් හොඳින් පෙනී ගියේය. ඞී.ඇස්. 1946 එක්සත් ජාතික පක්ෂය පිහිටුවන විට එයට ඔලිවර් ද සම්බන්ධ කර ගත්තේය. නමුත් ඔලිවර් කිසි විටෙක පාර්ලිමේන්තු මැතිවරණයකට තියා ගම් සභාවකට ද ඡන්දය ඉල්ලීමට ඉදිරිපත් වූ අයෙකු නොවීය.
1947 පැවති ලංකාවේ පළමු පාර්ලිමේන්තු ඡන්දයෙන් පසු ඞී.ඇස්. පිහිටුවන ලද ආණ්ඩුවට ඔලිවර් ද එකතු විය. ඒ සෙනෙට් සභා මන්තී‍්‍රවරයෙකු වශයෙනි. සෙනෙට් සභාවේ සභානායක වූ ඔලිවර්, ඞී.ඇස්. රජයේ ස්වදේශ කටයුතු සහ ග්‍රාම සංවර්ධන ඇමැතිවරයා විය. ලංකාවට නිදහස ලබා ගන්නට ඞී.ඇස්. ගෙන ගිය ජාතික මෙහෙවරට ඔලිවර් න්‍යායාත්මකව දුන් සහය සුළුපටු නොවේ. ඉංගී්රසීන් සමඟ සුහදව සාකච්ඡා කිරීම. තර්ක විතර්ක කිරීම පමණක් නොව ඔවුන් රැවටිය යුතු අවස්ථාවල ඒවා සිදු කිරීමට ද ඔලිවර් උපන් හපන් ඇත්තෙක් විය. ලංකාවට නිදහස ලැබුණ විගස පාර්ලිමේන්තුවට ආයුබෝවන් කියූ ඔලිවර් එංගලන්තය බලා පිටත්ව වී රාජ්‍ය තාන්ති‍්‍රක සේවයේ යෙදෙන්නට ය. එහි වසර කිහිපයක් සේවය කර ලංකාවට පැමිණි ඔලිවර් යළිත් පාර්ලිමේන්තුවට පිවිස ගොවිකම් හා ආහාර ඇමැති වශයෙන් වැඩ භාර ගත්තේ ය.
ලංකාවේ තුන්වන අගමැතිවරයා වශයෙන් පත් වූ සර් ජෝන් කොතලාවල මහතා 1954 දී ලංකාවට එළිසබත් මහ රැජිණ ගෙන්වීය. ඇයගේ පරිවාර ඇමැතිවරයා වූයේ සර් ඔලිවර් ගුණතිලකය. රැජිණ ආපසු යන විට ඔලිවර් ඇගේ කුළුපඟ හිතවතෙකු වී තිබිණි. සර් ජෝන්ට විශාල වුවමනාවක් තිබුණේ එවකට ලංකාවේ ආණ්ඩුකාර පදවිය හොබවන සෝල්බරි සාමිවරයා එම තනතුරෙන් පහ කිරීමට ය. එයට ලොකු හේතුවක් ද තිබුණි. ඞී.ඇස්.ගේ මරණයෙන් පසුව අගමැති වීමට බලා සිටිය සර් ජෝන්ට එම තත්ත්වය අහිමි කිරීමට විශාල කාර්යභාරයක් සිදු කළ තැනැත්තා සෝල්බරි සාමි වීමය. ඒ නිසා සෝල්බරි සාමි වෙනුවට පත් වන අලූත් ආණ්ඩුකාරවරයා වශයෙන් ඔලිවර් ගුණතිලක පත්කර ගන්නට සර් ජෝන් මහ රැජිණ සමඟ කතා කරගත්හ. මහ රැජිණගේ ලංකා ගමනයේ දී ඔලිවර් දැන හඳුනාගෙන කුළුපඟ වීම නිසා එම තනතුරට ඔහු පත් කිරීමට ඇය ද කැමති විය.
පළමු සිංහල ලකිසුරු
නමුත් ලංකාවේ එවකට සිටි පක්ෂ විපක්ෂ නායකයෝ ඔලිවර් ආණ්ඩුකාරවරයා වනවා දක්නට කිසිසේත්ම කැමති නොවීය. අගමැතිවරයාගේ මේ යෝජනාවට අකමැති වූ ඇමැතිවරු සිය විරෝධය ඔලිවර්ට දැනෙන්නට ඇරියේ ය. ඒ වන විට සර් ජෝන් රජයේ ඇමැතිවරයෙකු වූ ඔලිවර් අගමැතිවරයා හමු වී මෙම තත්ත්වය පැහැදිලි කර තමා වෙනුවට වෙනත් අයෙකු පත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියහ. මෙයින් කෝපාවිෂ්ට වූ අගමැති සර් ජෝන් කොතලාවල ඔලිවර් ගුණතිලකට මෙසේ පවසා ඇත. ‘‘මේ අහපන් යකෝ, උඹ කැමති වුණත් නැතත් මොකා විරුද්ධ වුණත් මම ආණ්ඩුකාරයා විදියට පත් කරගන්නේ උඹ. උඹ රජගෙදරට යන එක නවත්වන්න මොකාටවත් බැහැ. උඹ ඒකට සූදානම් වෙයන්’’ යැයි පවසා සර් ජෝන් කොතලාවල මහතා ඔලිවර් ගෙනා යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.
වර්ෂ 1954 ජූලි මස 17 වන දින සිරි ලංකාවේ ප්‍රථම වරට සිංහල ලාංකිකයෙකු ආණ්ඩුකාර ධුරයේ වැඩ බාරගත්හ. ඒ ඔලිවර් අර්නස්ට් ගුණතිලක මහතා ය. ඔහු රජ ගෙදරට පැමිණියේ තමාගේ පියාණන් සමඟ ය. ඒ වන විට පියාට වසර 90ක් සම්පූර්ණ වී තිබුණි. පියා සමඟ රජ ගෙදර පදිංචි වූ නව ආණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතාගේ බිරිඳ ද, මව ද, ඒ වන විට පරලෝ සැපත් වී තිබුණි.
මව මිය ගොස් තිබුණේ 1948 දී පමණ ය. ඔලිවර් ගුණතිලක මහතා විවාහ වූයේ කන්ද උඩරට මහනුවර ප්‍රදේශයෙනි. ඔහුගේ සිත් ගත් මනාලිය වූයේ එස්තර් බි්රයටිස් ජයවර්ධන මෙනවිය ය. මෙම දෙපළට දු දරුවන් දෙදෙනෙකු හා එක් පුතෙකු විය. ජොයිස් ගුණතිලක හා ශීලා ගුණතිලක ලෙස හැඳින් වූ දියණිවරු දෙදෙනාගෙන් ජොයිස් ගුණතිලක විවාහ වූයේ පාර්ලිමේන්තුවේ හිටපු මහ කොමසාරිස්වරයෙකු ව සෑම් විජයසිංහ මහතාගේ ඥාති සොයුරු මැලරි විජයසිංහ සමඟ ය. ඔහු වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ද මාමා කෙනෙකි.
සී.පී. ට කළ අසාධාරණය
ඔලිවර් ගුණතිලක මහතා තීන්දු තීරණ ගැනීමේ දී ඔහු ගත් වැරැදි දේශපාලන තීන්දුව වූයේ 1960 මාර්තු මැතිවරණයේ දී බහුතර බලයක් තිබූ සී.පී. ද සිල්වා මහතාට ආණ්ඩුවක් පිහිටු වීමට අවසර නොදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ය. නමුත් සුළුතරයක් තිබූ ඩඞ්ලි සේනානායක මහතාට ඔහු ආණ්ඩුවක් පිහිටුවා අගමැතිවීමට අවස්ථාව ලබා දුනි. ඒ අනුව ඩඞ්ලිගේ ආණ්ඩුව කඩාගෙන වැටෙද්දී සි.පී. ද සිල්වා මහතාට ආණ්ඩුවක් පිහිටුවා අගමැති වීමට ඉඩකඩ සලස්වා නොදී රජය විසුරුවා හැරීම ය.
සුළුතරයක් තිබූ ඩඞ්ලිට අගමැති වීමට ආරාධනා කළත් බහුතරයක් තිබූ සී.පී.ට අගමැති වීමට ඉඩකඩ නොදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිම ඔලිවර් ගුණතිලකට දිට්ඨධම්මවේදනීය පාප කර්මයක් පටිසන් දීමට හේතු විය. ඒ අනුව 1960 ජූලි මැතිවරණයෙන් බලයට පත් වූ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ රජය ද ඔලිවර් ගුණතිලකයන් අග්‍රාණ්ඩුකාර ධුරයේම තබා ගත්තේ ය. 1962 දී මැතිණියගේ රජය පෙරළා දැමීමට සිදු කළ අසාර්ථක කුමන්ත්රණයේ දී සර් ඔලිවර්ට ද චෝදනා එල්ල විය. මෙහි ප්‍රතිඵලය වූයේ එතෙක් අගමැතිවරුන් පස් දෙනෙකුගේ ආණ්ඩුවලට නායකත්වය දුන් සර් ඔලිවර්ගේ අග්‍රාණ්ඩුකාර බලය ගිලිහී යෑමයි. ඒ වන විට ඔහු සිය පදවියේ අටවන වසරට ළං වෙමින් තිබුණි. ගුණතිලක යුගය අවසන් කරමින් 1962 පෙබරවාරි 26 වන දින අග්‍රාණ්ඩුකාර ධුරයට විලියම් ගොපල්ලව මහතා පත් විය.
ඊට වසර දෙකකට පෙර බළපිටි පුත්‍රයෙකුට අගමැති වීමට ඉඩ නොදුන් ඔලිවර් ගුණතිලකගේ අග්‍රාණ්ඩුකාර පදවියට බළපිටියෙන් පැවත එන උඩරට පරපුරක පුද්ගලයෙකුට තම පදවිය පිරිනමන්නට සිදුවීම ඔලිවර්ගේ දෛවයේ සරදමක් ද වූ අතර දිට්ඨධම්මවේදනීය කර්මයකට මුහුණ දීමට සිදුවීමකි. එදා සී.පී.ට අගමැති පදවිය පිරිනැමුවා නම් ඔලිවර් ගුණතිලක තවදුරටත් සිය පදවියේ සිටීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබුණි.
දෙවියන්ගේ කැමැත්ත
සිය තනතුරු අහිමි වීමෙන් පසු ඔලිවර් ගුණතිලක මහතා වැඩි කාලයක් ජීවත් වූයේ විදේශගතව ය. නමුත් අප රටට තිබුණු ගෞරවය, ආදරය කිසිවිටෙකත් අඩු කළේ නැත. ජීවිතයේ සැදෑ සමය ගෙවමින් අසූ අටවන වියේ පසුවන අතරතුර ඔහු ජීවිතයෙන් සමුගත්තේ 1978 දෙසැම්බර් 17 වනදා ය. ඒ මීට වසර 38කට පෙරදීය.
යුගයක් ශෝභමානවත් කළ දශක ගණනාවක් සිරිලක දේශපාලනයේ ජය කෙහෙළි නැංවූ ශී‍්‍රමත් ඔලිවර් අර්නස්ට් ගුණතිලක සිරිලක ප්‍රථම ලාංකික අග්රාණ්ඩුකාරවරයාණෝ මෙරට සිදු කළ අමිල, නිමල මහ මෙහෙවර තවත් යුග ගණනාවක් යනතුරු සිරිලක නොනැසී පවතින බව ස්ථිර ය. ඒ වනතුරුම ඔලිවර් ගුණතිලක යන ශ්‍රී නාමය ද අප රටේ අමරණීයව පවතිනු ඇත.
-දේ.සු .ද .සොයිසා-
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 8
