කිරිවෙහෙරේ හිමිනමට වෙඩි තැබූ සැකකරුවන් හඳුනා ගැනේ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි තබා තුවාල සිදු කළ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි. මෙම වෙඩි තැබීම…
(නිලන්ති චන්ද්‍රසේන)
කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි තබා තුවාල සිදු කළ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ කතරගම මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල් කරගෙන බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසිය.
ඊයේ (12) රාත්‍රී 10.50ට පමණ කිරිවෙහෙර නායක හිමියන් හා අනෙක් හිමිනම කිරිවෙහෙර වැඳ පුදා පැමිණෙන අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මහසෙන් දේවාලය මීට වසරකට පෙර අධිකරණ තීන්දුවක් මගින් කිරිවෙහෙර රජ මහා විහාරාධිපති වන කොබවක ධම්මින්ද හිමියන්ට අයිති වූ අතර ඉන් උරණවූ හිටපු කපුමහතාගේ සැලසුමක් මත ඔහුගේම ජීප් රථයෙන් 03දෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් මෙම වෙඩි කරුවන් ලුහු බැඳ ඇතත් ඔවුන් පළා ගොස් ඇත. කෙසේ වෙතත් ඔවුන් පැමිණි ජීප් රථයේ අංකය සටහන් කර පොලිසියට ලබා දී ඇති අතර ඒ ඔස්සේ මෙහෙයුම් ක්‍රියාත්මක කල පොලිසිය සැකකරුවන් පළා ගිය ජීප් රථය ඊයේ රාත්‍රියේදීම සොයා ගෙන ඇත.
පළා ගිය සැකකරුවන් සොයා ගැනීමට පොලිසිය මේ වනවිටත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
තුවාල ලැබූ ධම්මින්ද හිමියන් හා අනෙක් හිමිනම දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ. හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා මහතා සඳහන් කළේ, තුවාල ලැබූ කිරිවෙහෙර විහාරාධිපති හිමියන් ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා සැත්කමකට ලක් කළ බව ය.
අධ්‍යක්ෂවරයා පැවසුවේ, නායක ස්වාමින් වහන්සේගේ උදර ප්‍රදේශයට වෙඩි ප්‍රහාර 5ක් එල්ල වී ඇති අතර පාදයටද ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. මේ වන විට උන්වහන්සේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
තුවාල ලැබූ අනෙක් හිමිනමගේ තත්ත්වය බරපතල නොවන බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1