කිරිඇල්ලගේ සිලින්ඩරයට ඇඟිලි ගසා ගාර්මන්ට් මලික් ගෑස් බස්ස ගනියි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

කැබිනට්ටුවෙන් විරෝධය..! තනි මතයට වැඩ කරලා “ලිට්රෝ” සමාගමට පාඩු කරලා..! "ආණ්ඩුව යන්නේ ඉබා ගාතේ" (නිමල් ප්‍රියශාන්ත) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ නම්…
කැබිනට්ටුවෙන් විරෝධය..!
තනි මතයට වැඩ කරලා “ලිට්රෝ” සමාගමට පාඩු කරලා..!
"ආණ්ඩුව යන්නේ ඉබා ගාතේ"
(නිමල් ප්‍රියශාන්ත)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ නම් පාවිච්චි කරමින් ඇමතිවරුන් පවා නොතකා ඒ ඒ අමාත්‍යංශවල නිලධාරීන්ට විවිධ නියෝග ලබාදීම සම්බන්ධයෙන් උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට එරෙහිව කැබිනට් මණ්ඩලයේදී ඊයේ (06) දැඩි විරෝධයක් එල්ල විය.
ඔහුට මේ විරෝධය එල්ල වී තිබෙන්නේ ලෝක වෙළඳ පොළේ ගෑස් මිල ඉහළ ගොස් තිබීම,එසේ තිබියදී ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් අඩු කිරීම සහ මිල සූත්‍රය පිළිබඳව කරුණු සාකච්ඡා කෙරුණු අවස්ථාවේදීය.
ලෝක වෙළඳ පොළේ ගෑස් මිල වැඩි වී තිබෙන තත්ත්වය හමුවේ මිල සූත්‍රයට අනුව රටේ ගෑස් මිල අඩු කළ නොහැකි නමුත් ඒ සියල්ල නොතකා ගෑස් මිල අඩු කිරීමට උපදෙස් දී තිබෙන්නේ මලික් සමරවික්‍රම මහතා වන අතර එමගින් රටේ ආර්ථිකයට විශාල පාඩුවක් සිදුව තිබෙන බව එහිදී හෙළි විය.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් අඩු කිරීම ගැන තමා කිසිවක් නොදන්නා බව අදාළ විෂය භාර අමාත්‍යවරයා වන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්‍යුදීන් යන මහත්වරුන් කැබිනට් මණ්ඩලයේදී පැහැදිළි කර ඇත.
අදාළ විෂය භාර අමාත්‍යවරුන් නොතකා සහ ඒ අයට නොදන්වා වගේම ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති,ලෝක ආර්ථික තත්ත්වයන් සහ ජාතික මිල සූත්‍රය ආදිය පසෙක තබා විවිධ අය මෙසේ තීන්දු තීරණ ගන්නේ නම් එමගින් රටේ ආර්ථිකයට,ජනතාවට සහ ආණ්ඩුවට සිදු වන හානිය සම්බන්ධයෙන් වග කිව නොහැකි බව ද එම අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන කැබිනට් මණ්ඩලය හමුවේ තරයේ පෙන්වා දී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ජීවන වියදම් කමිටුව ගත් තීරණයකට අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් අඩු කිරීමට අවශ්‍ය කටයුතු යොදන්න යැයි මලික් සමරවික්‍රම මහතා නියෝග කර තිබෙන්නේ පාරිභෝගික කටයුතු අමාත්‍යංශයේ නිලධාරියකුටය.
මලික් සමරවික්‍රම මහතා වගේම එම නිලධාරියා ද ඒ බව සිය අමාත්‍යවරයාටවත්,විෂය භාර අමාත්‍යවරයාටත් දැනුම් නොදී කෙලින්ම “ලිට්රෝ” සමාගමේ සභාපති ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා වෙත ඒ බව දැනුම් දෙමින් කියා තිබෙන්නේ ආණ්ඩුව ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් මත ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් අඩු කරන ලෙසය.
මේ සම්බන්ධයෙන් “lankanewsweek” ආර්ථික විශේෂඥ ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.
“මේ තත්ත්වයෙන් පැහැදිළි වන්නේ කළ යුත්තේ කුමක් ද කරමින් සිටින්නේ කුමක් ද සහ යා යුත්තේ කිනම් පැත්තකට ද යමින් සිටින්නේ කිනම් දෙසකට ද කියා නොදැනුවත්ව මේ ආණ්ඩුව සිහිනයෙන් ඇවිදිනවා වගේ ඉබා ගාතේ යන බවයි.
පළමුවෙන්ම ගෑස් මිල වැඩි කර දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පහර කෑවාට පසුව ආණ්ඩුව කළේ ලෝක වෙළඳ පොළේ ගෑස් මිල ඉහළ ගොස් තිබියදී මිල සූත්‍රය නොතකා නකුට අකුලා ගෙන සිය විරුද්ධවාදීන්ට දිනුම දී යළිත් ගෑස් මිල අඩු කිරීමයි.
මේ තත්ත්වයෙන් පැහැදිළි වන්නේ මේ ආණ්ඩුවේ නායකයින්ට ආර්ථිකය තබා දේශපාලනයවත් නොතේරෙන බව නොවේද?දේශපාලකයින් ලෙස ආර්ථිකය ගැනත් හොඳින් දන්නවා යැයි ජීවන වියදම් කමිටුවේ අය සිතනවා නම් ඒ තත්ත්වය විහිළුවක් බව කිව යුතුයි.
ගෑස් මිල අඩු කළා කියා රටේ දිළිඳුකම අඩු වනවා නම් සහ එමගින් තවත් වැඩිපුර සහන රැසක් ජනතාවට ලබා දිය හැකි නම් ලෝක වෙළඳ පොළේ ගෑස් මිල වගේම ඊට සාපේක්ෂව සකස් කර තිබෙන මිල සූත්‍රය නොතකා ඒ සහනය දුන්නට ප්‍රශ්නයක් නැහැ.
ආණ්ඩුවට ඇත්තටම වැඩ පිළිවෙළක්,දර්ශනයක් සහ මේ කරුණු කාරණා ගැන නිසි අවබෝධයක් නැහැ.කවුරු තීන්දු තීරණ ගන්නවා ද කවුරුන් කිනම් අයට නියෝග සහ උපදෙස් දෙනවා ද කියා කවුරුත් දන්නේ නැහැ.
මේ දේශපාලකයින්ට පුළුවන් නම් ආර්ථික තීන්දු තීරණ ගන්න මේ රටට මුදල් අමාත්‍යංශයක්,මහ බැංකුවක් සහ ආර්ථික විශේෂඥයින් ඇතුළු කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
