කැනඩා යවන්න මිනිස්සුන්ගෙන් කෝටි ගණන් ගැරූ “සක්විති හිමි” හොයා රට පීරයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

(ජයකාන්ත ලියනගේ) කැනඩාවේ යවන බව කියමින් විවිධ ප්‍රදේශවල විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් ලබා ගෙන වංවා කළ බව කියන අහුන්ගල්ලේ විහාරස්ථානයක සක්විති හිමි නමක් සොයා ගැනීම සදහා අහුන්ගල්ල පොලීසිය…
(ජයකාන්ත ලියනගේ)
කැනඩාවේ යවන බව කියමින් විවිධ ප්‍රදේශවල විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් ලබා ගෙන වංවා කළ බව කියන අහුන්ගල්ලේ විහාරස්ථානයක සක්විති හිමි නමක් සොයා ගැනීම සදහා අහුන්ගල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
දැනට සති දෙකක පමණ කාලයක සිට මෙම චීවර ධාරී පුද්ගලයා විහාරස්ථානයෙන් අතුරුදනව සිටින බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි අහුන්ගල්ල පොලිසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
අහුන්ගල්ල, ගල්වෙහෙර මඵව වත්ත පුරාණ විහාරස්ථානයේ වැඩ සිටි ගල්කුලමේ සෝරත නමින් පෙනී සිටි මෙම චීවර ධාරී පුද්ගලයා කැනඩාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්ය වරයකු බවත් මහාචාර්ය ජයන්ත කැලේගම මහතා සිය පියාණන් බවත් ප්‍රදේශවාසීන්ට පවසා තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
මෙම පුද්ගලයා ප්‍රදේශවාසීන් විහාරස්ථානයට පැමිණි පසු ඉතා සූක්ෂම අන්දමින් ඔවුන්ගේ සිත් දිනා ගෙන කටයුතු කර තිබෙන බවද ඒ නිසාම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මොහුට අවනතව කටයුතු කර තිබෙන බවද අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
අහුන්ගල්ල, බදුල්ල, වැල්ලවාය, බණ්ඩාරවෙල, ගිනිගත්හේන, අවිස්සාවේල්ල, වැලිගම, කිතුල්ගල, මහනුවර, පල්ලෙකැලේ ආදී ප්‍රදේශවල එකසිය පනස් දෙදෙනෙකු මුලා කරමින් ඔවුන්ගෙන් රුපියල් කෝටි අටකට වැඩි මුදලක් මෙසේ වංචා කර තිබෙන බවද අහුන්ගල්ල පොලීසිය කියයි.
මෙම විහාරස්ථානය කැලෑවෙන් වැසී ගොස් ඉතා ජරාවාසව තිබී ඇති අතර ප්‍රදේශයේ ධානපතියෙක් පසුගිය කාලයේ රුපියල් කෝටියකට අධික මුදලක් වැය කර ප්‍රතිසංස්කරණය කර තිබේ.
මෙම විහාරස්ථානයේ විහාරාධිපති කොස්ගොඩ, හෑගල්ල මහ විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති කොස්ගොඩ මහින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථානය ගොඩ නංවා ඇත.
කොස්ගොඩ මහින්ද හිමියන් අහුන්ගල්ලේ වෙනත් ප්‍රධාන විහාරස්ථානයක වැඩ වාසය කරන බැවින් මෙම හිමි නම සොයා ගෙන ඇත්තේ පුවත්පත් දැන්වීමක් මගිනි.
අහුන්ගල්ල, මළුවේවත්ත පුරාණ විහාරස්ථානයට හිමි නමක් අවශ්‍ය බව සඳහන් දැන්වීමක් සති අන්ත ප්‍රධාන පුවත්පක පළ කිරීමෙන් පසු මෙම හිමිනම මීට මාස හතරකට පමණ පෙරදී විහාරස්ථානයට වැඩම කළ බව විහාරාධිපති කොස්ගොඩ මහින්ද හිමියන් අහුන්ගල්ල පොලීසියට ප්‍රකාශ කර තිබේ.
මුදල් වංචා කිරීමෙන් පසු ගල්කුලමේ සෝරත නමින් පෙනී සිටි මෙම පුද්ගලයා මේ වන විට අතුරුදන්ව සිටින බව අහුන්ගල්ල පොලීසිය කියයි. මෙම හිමිනමගේ රියදුරා බව කියන අයකු අහුන්ගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍ර පද්මලාල් මහතා ඇතුඵ අහුන්ගල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2