අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කළු ලෝගුව පොරවා ගත් මැරයෝ ගැන ප්‍රශ්න කෙරෙති ..!

කළු ලෝගුව පොරවා ගත් මැරයෝ ගැන ප්‍රශ්න කෙරෙති ..!

යසන්ත කෝදාගොඩට යහ පාලනයයි-යම පාලනයයි පැටලිලා..! නීතීඥයින්ට තර්ජනය කරලා..! අගමැතියි-එජාපයි දැඩි ස්ථාවරයක..! නීතියේ දෙවඟන සාධාරණය. ඒ අනුව නීතිය සියලු දෙනාටම පොදුය.එක හා සමනය.එහෙත් එම දෙවඟනට හරි මඟ යාමට…

යසන්ත කෝදාගොඩට යහ පාලනයයි-යම පාලනයයි පැටලිලා..!

නීතීඥයින්ට තර්ජනය කරලා..!

අගමැතියි-එජාපයි දැඩි ස්ථාවරයක..!

කළු ලෝගුව පොරවා ගත් මැරයෝ ගැන ප්‍රශ්න කෙරෙති ..!

නීතියේ දෙවඟන සාධාරණය. ඒ අනුව නීතිය සියලු දෙනාටම පොදුය.එක හා සමනය.එහෙත් එම දෙවඟනට හරි මඟ යාමට පාර කියන නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ සහ එහි තවත් නිලධාරීන් සිව් දෙනකුට එරෙහිව කොළඹ, අලුත් කඩේ උසාවිය හමුවේ බෝගොඩගේ චන්දන පෙරේරා නම් නීතීඥයෙකු විසින් අපූරු පැමිණිල්ලක් සිදු කරනු ලැබ තිබේ.

එම නීතීඥයා මේ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිට, නීතිපතිට, අගවිනිසුරුවරයාට, නීතීඥ සංගම්වලට, නිතිය සහ සාමය පිළිබඳ ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතාට වගේම අධිකරණ ඇමතිනි තලතා අතුකෝරාල මහත්මියට ද  සිදු කොට තිබේ.

චන්දන පෙරේරා නම් මෙම නීතීඥයා “මෙන්ඩිස්”  සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතීඥ කෝලිත් ධර්මවර්ධන මහතාගේ නීතීඥ කණ්ඩායමේ අයෙකි. අදාළ පැමිණිල්ලෙන් කියවෙන්නේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා සහ තවත් නිලධාරීන් සිවු දෙනෙකු විසින් නඩුවට යුක්තව අදාළ තොරතුරු සහ ලියකියවිලිවල විස්තර හෙළි කර ගන්න තර්ජනය කරමින් බිය වැද්දීමට ක්‍රියා කරනු ලැබූ බවය.

යම් නඩුවකදී සිය සේවා දායකයාගේ විස්තර ඉල්ලීම් සහ තර්ජනය කිරීම් නීති විරෝධී සහ සදාචාර විරෝධී වන අතර නීතීඥ ආචාර ධර්මවලට පටහැනි ක්‍රියාවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.තවද නීතිපතිවරයා විසින් චන්දන පෙරේරා නම් නීතීඥයා කැඳවා ප්‍රශ්න කොට ඇති බවද කියවේ. එසේ කිරීම ද නීතියට සහ සදාචාරයට පටහැනි ක්‍රියාවක් බව නීති අංශවල මතය වේ.මීට පෙරද යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියෙකු නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවා බැන තර්ජනය කර තිබූ අතර ඔහු යසන්ත කෝදාගොඩ මහතාටඑරෙහිව  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනුකොට තිබිණ.

මේ ක්‍රියාවලි සිදු වන්නේ මහා බැංකු  බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තකට අදාළවය. එම නඩුවේ විත්තිකරුවන් වන්නේ “පර්පෙචුවෙල් ට්‍රේසරීස්”, “මෙන්ඩිස්” සහ “වෝල්ට් ඇන්ඩ් රෝ” වැනි පාර්ශව කිහිපයක් වන අතර එම සමාගම් අර්ජුන අලෝසියස්ලාට අයිති ඒවාය.

එම නඩු කටයුත්තේදී චෝදනාව  වී ඇත්තේ මහා බැංකු  බැඳුම්කර ගනුදෙනුවේ ලාභයෙන් ගත් මුදල් ඉහත සමාගම් වෙත යවා එම සමාගම් හරහා විවිධ දේශපාලන පක්ෂවල දේශපාලඥයිනටද එම මුදල් බෙදා දී ඇති බවය. එම නඩුවේදී  විත්තිය වෙනුවෙන් කෝලිත් ධර්මවර්ධන නීතීඥ කණ්ඩායම සහ නීතීඥ චන්දන පෙරේරා ක්‍රියා කරයි.

එම නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකශ ලබා දෙන ලෙස ඉල්ලා “මෙන්ඩිස්” සමාගමේ සේවකයන් හතර දෙනෙකුට මීත දින ගණනාවකට පෙර  දැනුම් දී තිබිණ.මේ දැනුම්දීම සම්බන්ධයෙන් බියට සහ සැකයට පත්ව ඇති එම සේවකයන් කට උත්තර දීමට පෙර කොළඹ කොටුවේ GOH හෝටලයේදී නීතීඥ චන්දන පෙරේරාව හමු වී තිබේ. පසුව චන්දන පෙරේරා සමග එම සේවකයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබේ.

නීතීඥ චන්දන පෙරේරා  පැය දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට අනතුරුව එම ස්ථානයෙන් පිට වී ගොස් තිබෙන්නේ එම සේවකයන් හතර දෙනා ස්ථාන හතකට ගෙන යාම නිසාය.මේ සිද්ධිය  සිදුව ඇත්තේ 2018 අගෝස්තු මස 31 වැනිදාය. එදින හවස 4.00ට  පමණ චන්දන පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට කතා කොට තිබේ.

එහිදී තවම පරීක්ෂණ අවසන් වී නොමැති බව ඔහු කියා තිබෙන අතර එදින රාත්‍රී 7.00ත් 8.00ත් අතර වේලාවකදී ද  චන්දන පෙරේරා යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කතා කොට ඇත.ඒ වන විටද පරීක්ෂණ  කටයුතු අවසන්  වී නොතිබූ නිසා චන්දන පෙරේරා රාත්‍රී 8.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ළගට ගොස් යළිත් ඇමතුම් දුන් විට රාත්‍රී 9.30 ට අදාළ සේවකයන් හතර දෙනා එළියට එවා තිබේ.

එහිදී සේවකයන් තිදෙනෙකු  චන්දන පෙරේරාට කියා ඇත්තේ මෙන්ඩිස් සමාගමේ මුදල් කළමනාකරු වන සුජිත් අල්විස්  නැමැත්තා (සිවු දෙනාගෙන් කෙනෙකි.) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කියා සිටියේ සිව් දෙනා එකතු වී ලේඛණ වගයක් විනාශ කළ බවය. නමුත්  අනික් තිදෙනා කියා ඇත්තේ ලේඛණ විනාශ නොකළ බවය. පසුව සුජිත් අල්විස් නැමැත්තා සහ සෙසු සේවකයන් තිදෙනා එකට තියා ඇත්ත කියාපල්ලා යැයි තර්ජනය කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය ලෙස ප්‍රකාශ තුනක් ලබා ගෙන සටහන් කර ගත් බව ද ඒ අය චන්දන පෙරේරා මහතාට දැනුම් දී තිබේ.උදේ වරුවේ බොරු කියා සිටියේ  චන්දන පෙරේරා නීතීඥයාගේ උපදේශ මත බවට ප්‍රකාශ කරන්න යැයි කියා එම ප්‍රකාශය පොතක සටහන් කර ගත් බව ද එම සේවකයින් සිය නීතීඥයා සමග පැහැදිළි කර තිබේ.

පසුව 2018 සැප්තැම්බර් 12 වනදා යසන්ත කෝදාගොඩ මහතා විසින් චන්දන පෙරේරා මහතා නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණ.  එහිදී යසන්ත කෝදාගොඩ සමග සිටි හරිප්‍රිය ජයසුන්දර නම් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරියා  “පෙන්ඩ්‍රයිව්”  එකක තිබූ  වීඩියෝවකින් චාන්දන පෙරේරා GOH එකට ඇතුළු වන අයුරු පෙන්වා තිබේ.ඔබ සාක්ෂිකරුවන්ට සාක්ෂි  වසන් කරන ලෙස උපදෙස් දුන් බව ඒ අය එළි කළා යැයි යසන්ත කෝදාගොඩ මහතා එහිදී  චන්දන පෙරේරා මහතාට චෝදනාත්මකව කියා තිබේ.

“ඔබට හිරේ යන්න වේවි.. කළු කෝට් ගැලවෙවී. මම කණගාටු වෙනවා  මගේ බැච් එකේ කෙනෙකුට විරුද්ධව දැඩි “රිපෝර්ට්” එකක් ලියන්න සිදු වීම ගැන” යනුවෙන් ද කියමින් යසන්ත කෝදාගොඩ මහතා චන්දන පෙරේරා මහතා බිය ගන්වමින් තර්ජනය කර ඇතැයි වාර්තා වෙයි.

“මෙන්ඩිස්” සමාගමේ විනාශ නොකළ “වවුචර්” තොගයක්  තිබෙන බවත් ඒවා සාක්ෂි කරුවෙකු අතේ ඊළග දිනයේ පස්වරු 1.30ට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම පරීක්ෂණය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  අම්පාවිල මහතා අතට පත් කරන ලෙස ද යසන්ත කෝදාගොඩ මහතා දැනුම්දී ඇත.

මේ ගනුදෙනුවට අදාළව සිදු කෙරුණු බව කියන දුරකථන සංවාදවලදී භාවිතා කෙරුණේ යැයි සැක කෙරෙන “RW”, “RK”, “NR” යන කෙටි යෙදුම්වලින්  හැඳින් වුණු අයගේ නම් එළි කරන ලෙසද යසන්ත  කෝදාගොඩ මහතා චන්දන පෙරේරා මහතාගෙන් දැඩිව ඉල්ලා තිබේ.

තමා  ඒ ගැන හෝ “වවුචර්” ගැන කිසිවක්  නොදන්නා බව චන්දන පෙරේරා මහතා කියා ඇති අතර එවිට යසන්ත කෝදාගොඩ මහතා කියා තිබෙන්නේ දෙදෙනා අතර මේ හමුව වැරදි එකක් වුණත් තමා එම හමුව සාධාරණ බව අඟවන්න පියවර ගන්නා බවය.එදින යසන්ත කෝදාගොඩ සමග තවත් නීතීඥවරියන් සිවු දෙනෙකු සිට තිබේ. එහිදී හරිප්‍රිය ජයසුන්දර මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන්යසන්ත කෝදගොඩ මහතාට සිය විරෝධය පළ කරමින් කියා ඇත්තේ ඔබ මේ ක්‍රියා කරන ආකාරය  වැරදි බවය.“ඔබ මෝඩ වැඩක් මේ කළේ.. මොහු මේ ඔක්කොම  එළියේ කිව්වොත්  මොකද වෙන්නේ..මට මේ සිද්ධිය ගැන නීතිපතිට දිවුරුම් ප්‍රකාශයක් දෙන්න වේවි.” යනුවෙන් ද  කියලත් හරිප්‍රිය ජයසුන්දර මහතා යසන්ත කෝදාගොඩ මහතාට කියා තිබේ.

එළියට පැමිණි චන්දන පෙරේරා සිය  ජේෂ්ඨ නීතීඥ කෝලිත් ධර්මවර්ධන හමුවී සියලු සිදුවීම් පවසා දෙදෙනාම නම ගිය  ජනාධිපති නීතීඥයෙකුට කතා කොට තිබේ. පසුව ඔහුගේ උපදෙස් මත, යසන්ත කෝදාගොඩගේ  වැරදි ප්‍රශ්න කිරීම, තොරතුරු ඉල්ලීම සහ තර්ජනාත්මක ස්වරුපයෙන් ක්‍රියා කිරීම ගැන නීතිපතිට පැමිණිලි කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගෙන ඇත.

ඊට පසුදා ඉහත දැක්වූ ජනාධිපති නීතීඥයා මේ ගැන නීතිපතිට කතා කොට ඇති අතර අනතුරුව නීතිපති යසන්ත කෝදාගොඩට කතා කොට නීතීඥ මහත්වරුන්ට බලපෑම් කිරිම සහ ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීම නවත් වන ලෙසත් වහාම පැමිණ තමා හමු වන ලෙසත් දැනුම් දී ඇත.

මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ ද විශේෂ අවධානය යොමු වී තිබෙන අරලිය ගහ මන්දිරයේදී ගෙවුණු සතියේ පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව පුළුල් සංවාදයක් ඇති විය.

“ මේ රටේ නීති ක්ෂේත්‍රය ගැන ලොව පුරා පිළිගැනීමක් තිබෙනවා. ඒත් ළගදී නඩුවක විත්ති පාර්ශවයක් නියෝජනය කරන නීතිඥයෙක් නීතිපති දෙපාර්තමේන්තුවට කැදවලා එහි ප්‍රධානියෙක් සහ  තවත් නිලධාරින් හතර දෙනෙක් ඔහුට තර්ජනය කරලා “කලළු කෝට්” ගලවනවා ආදිය කියලා බිය කරලා ඒ නඩුවට අදාළ තොරතුරු හා ලියකියවිලි ඉල්ලා තිබෙනවා.කෝලිත ධර්මවර්ධන කියන නීතිඥ කණ්ඩායමේ චන්දන පෙරේරා කියන නීතිඥයාටයි එහෙම බලපෑම් ඇවිත් තියෙන්නේ." යනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවී කරුණානායක මහතා එහිදී මේ සිද්ධිය විස්තර කරමින්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග කියා සිටියේය.

"මටත් ආරංචියි. එහෙම කළා නම් ඒක ඉතා වැරදි වැඩක් හා නරක පූර්වාදර්ශයක්. නඩුවකදී සේවාදායකයාගේ විස්තර හා ලියකියවිලි තර්ජන කරලා ඉල්ලන්න වෙනත් කිසිම පාර්ශවයකට අයිතියක් නෑ. ඒක නීති විරෝධී සහ සදාචාර විරෝධී වගේම නීති ආචාර ධර්මවලටත් පටහැනි පහත් වැඩක්" යනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කර ඇත.

"ඒ චන්දන පෙරේරා කියන නීතිඥයා මේ ගැන පොලිස්පතිට, නීතිපතිට, අග්‍රවිනිශ්චකාරවරයාටට නීතිඥ සංගම්වලට වගේම නීතිය හා සාමය ඇමතිටත්  අධිකරණ ඇමතිනියටත් පැමිණිලි කරලාලු. නීතිඥයන්ට විතරක් නෙවෙයි, සාක්කිකාරයන්ටත් තර්ජනය කරලා නඩු අහන ක්‍රමයට මේ රට ගෙනියන්න නීතිපති දෙපාර්තමේන්තුවේ  නිලධාරින් ක්‍රියා කළොත් ඒක මහා ඛේදවාචකයක් වේවි" කියා  රවී කරුණානායක මහතා කළ තර්කය අධි  නීතිඥයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද අනුමත කළේය.

"ඒ නීතිඥයාගේ පැමිණිලි ගැන අදාළ සියලු අංශවල අය දැඩි පරීක්ෂණයක් කළ යුතු වෙනවා. මීට කලින් මහ බැංකු නිලධාරියෙක් කැඳවල තර්ජන කළාම ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමක් නීතිපති දෙපාර්තමේන්තුවේ  ඉහළ නිලධාරියෙකුට එරෙහිව ගොනු කළා. ඒ කළ නිලධාරියාම දැන් නීතිඥයන්ටත් තර්ජන දැමීම ගැන වහාම පරීක්ෂණ කළ යුතුයි" අගමැතිවරයා දැඩි ස්ථාවරයක හිඳිමින් කියා සිටියේ මේ සිද්ධියේ බරපතළකම පෙන්වා දෙමිනි.

"නීතිඥ  චන්දන පෙරේරා කළ පැමිණිලි වලින් පස්සෙ එම  නීතිපති දෙපාර්තමේන්තු  නිලධාරියා එක එක අය අත පණිවිඩ එවමින් හමුවීමට සහ සමතයකට පත්වීමට  කතා කරනවා කියලත් ආරංචියි. ඒත් ඒ චන්දන පෙරේරා  නීතිඥයා ඒකට යට නොවන බව කියලලු” කියා රවී කරුණානායක මහතා වැඩි දුරටත් සඳහන්  කළේය.

"එදා  වගේ මේ රජය නීතියට අත ගහන්නෙ නෑ. ඒත් ඒක කරන්න නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට  ඉඩ දෙන්නත් බෑ. නීතිපති දෙපාර්තමේන්තුව තියෙන්නේ පොලිසිය සාක්කි විමසලා ඒ අයට  ලබාදෙන කරුණු මත පදනම්ව නඩු පැවරීම වගේ කටයුතු සඳහායි. තර්ජනය කරන්නයි  නඩු විභාග කරන්නයි නීතිපති දෙපාර්තමේන්තු  නිලධාරීන්ට බෑ. එහෙම නම් උසාවි මොකටද? කොටින්ම ඔය චන්දන පෙරේරා කියන නීතිඥයා කැඳවලා තර්ජනය කරන්න තියා ප්‍රශ්න කරන්නත් නීතිපති නිලධාරීන්ට කිසිම අයිතියක් නෑ. මේ ගැන ආණ්ඩුව දැඩි ස්ථාවරයක හිදිමින් කටයුතු කරන්නේ නීතියේ උත්තරීතරභාවය රැක ගැනීමටයි" අගමැතිවරයා යළිත් අවධාරණයෙන් කියා සිටියේය.

යම් නඩු කටයුක්තකදී නිරායාසයෙන් එළි වන සහ සුක්ෂමව පාදා ගන්නා තොරතුරු, සාක්ෂි  සහ ලේඛණ මත වැරදිකරුවන්ට දඩුවම් දීම සිදු කළ යුතු වුවත් සාක්ෂිකරුවන්ට වගේම නීතීඥවරුන්ට ද තර්ජන සහ බලපෑම කොට “කළු කෝට්” ගල වන බවට බිය ගන්වා පාතලේ ක්‍රමයටත් එහා ගිය මැර ක්‍රියා ඔස්සේ නඩු කටයුතු සිදු කිරීමට  වත්මන් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් ක්‍රියා කරයි නම් නීතියේ දෙවන්ගනට  පමණක් නොව මේ රටේ  සමස්ථ ජනතාවටම අබ සරණය.

මන්ද විවිධ දේශපාලකයින්ගේ උසි ගැන්වීම් හෝ මුදල් මළු හෝ දැන හැඳුනුම්කම්,තර්ජන,බිය ගැන්වීම් මත සියල්ල තීන්දු වී වැරදිකරු නිවැරදිකරුවා වී නිවැරදිකරු වැරදිකරු බවට පත්වී නීති ක්‍ෂ්ත්‍රයම නරා වළක් බවට පත්වීම මහා ඛේදවාචකයක් වනු ඇති නිසාය.

එහෙයින් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් මෙවැනි තර්ජන කිරීම්, බියවැද්දවීම, නඩු කටයුක්තකට අදාළ ලියකියවිලි සහ තොරතුරු ඉල්ලීම වැනි ක්‍රියා නීති විරෝධී සහ සදාචාර විරෝධි වන අතර  නීති ආචාර ධර්මවලටද පටහැනි බවට නීතීඥ චන්දන පෙරේරා මහතා  විසින් සිදු කරනු ලැබූ  පැමිණිල්ල ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව,නීතීඥ සංගම් වගේම  අදාළ මැති ඇමතිවරුන් ප්‍රමුඛ  සමස්ථ ආණ්ඩුවේම වගකීමක් බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7
බෙදාගන්න
කළු ලෝගුව පොරවා ගත් මැරයෝ ගැන ප්‍රශ්න කෙරෙති ..! | Lanka Newsweek