කවුරුත් හෙළි නොකළ යහ පාලන අර්බුදයේ තරම මෙන්න..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7

මලික් දෙවැනි වතාවටත් රනිල් විපක්ෂයට යවයි..! විපක්ෂයෙනුත් ගෙදරට ද..? නව අගමැති කරූ ද,මහින්ද ද නැති නම් සජිත් ද..! මහින්ද එන්නේ රට ගොඩ දාන්නද, නඩු ගොඩ දාන්න ද..? (සුජිත් මංගල ද සිල්වා සහ අශෝක ජයතුංග)…
මලික් දෙවැනි වතාවටත් රනිල් විපක්ෂයට යවයි..!
විපක්ෂයෙනුත් ගෙදරට ද..?
නව අගමැති කරූ ද,මහින්ද ද නැති නම් සජිත් ද..!
මහින්ද එන්නේ රට ගොඩ දාන්නද, නඩු ගොඩ දාන්න ද..?
(සුජිත් මංගල ද සිල්වා සහ අශෝක ජයතුංග)
යහ පාලන ජාතික රජය අභ්‍යන්තරයේ උද්ගත වී ඇති උග්‍ර අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් “lankanewsweek” කළ දීර්ඝ සහ පුළුල් විමර්ශනයේදී, මේ වන විට හෙළිදරව් වී තිබෙන තහවුරු කෙරුණු තොරතුරුවලට අනුව රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු වන දේශපාලන පසු බිමක් පාර්ලිමේන්තුවේ වගේම ජාතික දේශපාලන ක්ෂේත්‍රයේ නිර්මාණය වී තිබේ.
උද්ගත වී තිබෙන තත්ත්වය තේරුම් ගෙන රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන්නේ නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔහු එම ධූරයෙන් පහ කර යහ පාලනය අඛණ්ඩවම ඉදිරියට ගෙන යා හැකි සැලසුම් තුනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයින් සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විශාරදයින් ගණනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කරවා ඇති මේ අර්බුදය විසඳා ගත හැකි සැලසුම් කරුණු වශයෙන් මෙසේය.
01.ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද,එක්සත් ජාතික පක්ෂයේ පිරිසකගේ ද සහය ඇතිව 2018 අය-වැය යෝජනාවලිය පරාජය කර අගමැතිවරයාට ව්‍යවස්ථානුකුලවම ඉවත්වීමට සහ කැබිනට් මණ්ඩලය අහෝසි වීමට ඉඩ හැර පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත දිනා ගත හැකි එක්සත් ජාතික පක්ෂයේම පුද්ගලයකුට අගමැතිකම පවරා ඔහු යටතේ අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීම.
02.මේ වැනි ජාතික දේශපාලන අර්බුදයකදී ජාතික දේශපාලන අවශ්‍යතාවයක් මත 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ අගමැතිවරයා ධූරයෙන් පහ කර නව අගමැතිවරයෙකු පත් කළ හැකි ව්‍යවස්ථා ප්‍රතිපාදන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අභිනව අගවිනිසුරුවරයා පත් වීමෙන් පසුව විමසා ඒ තීන්දුව අනුව ඍජු ක්‍රියා මාර්ග ගැනීම.
03.රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් අග්‍රාමාත්‍ය ධූරයේ සිටියදී රටේත් ජන සමාජයේත් මහත් ප්‍රශ්න කිරීම්,සැක සංකා සහ විවේචනවලට තුඩු දී තිබෙන අධිකරණ,පොලිස්,මුදල්,ජනමාධ්‍ය සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශ ජනාධිපතිවරයා යටතට ගෙන මෙහෙයවීම.
04.ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද,එක්සත් ජාතික පක්ෂයේ පිරිසකගේ ද සහය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවා හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කර ඔහු යටතේ නව කැබ්නට් මණ්ඩලය පත් කරමින් යහ පාලන මූලධර්ම මත ආණ්ඩුව ඉදිරියට ගෙන යාම.
05.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා තනි ආණ්ඩුවක් පිහිටු වන ලෙසට එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කිරීම.
මේ සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂවල සහ සුළු දේශපාලන පක්ෂවල නායකයින් ද,දේශපාලන විචාරකයින් ද,මැති ඇමතිවරුන් වගේම බුද්ධි අංශ නිලධාරීන් ද සමග දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කරමින් “lankanewsweek” කළ විමර්ශනයේදී තහවුරු වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අතරින් පළමු හෝ දෙවැනි හෝ තෙවැනි සැලසුම ක්‍රියාත්මක කරනු ඇති බවය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප ආරංචි මාර්ග “lankanewsweek” සමග පැවසුවේ පැහැදිළි වෙනසක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් දහ තුන් දෙනකු ඔහු සමග අවබෝධයකින් යුතුව ක්‍රියා කරන බවය.
නව අග්‍රාමාත්‍ය ධූරය සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය,එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් සඳහන් වුණත් මේ වන තුරු ඒ ආරංචි කිසිවක් තහවුරු වී නොමැත.
කෙසේ නමුත් “lankanewsweek” වෙත මේ වන විට ලැබෙමින් පවතින ආරංචි අනුව බහුතරයකගේ විශ්වාසය ඇත්තේ කතානායක කරු ජයසූරිය මහතා කෙරෙහිය.
උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් බේරා ගැනීම සඳහා සිය නියෝජිතයින් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට යවා තිබේ.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය “සීෂෙල්ස්”සංචාරය ඇරඹීමට පෙර,එනම් ඉරිදා (07) ජනාධිපති නිල නිවසේදී ඔහු හමු වී ඇති එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම්,මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් ජනාධිපතිවරයාට පොරොන්දු ගණනාවක් ලබා දී ඇතත් ඔහු ඒ කිසිවක් පිළි ගෙන නොමැති බව වාර්තා වේ.
එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ස්ථාවරයක සිට ඇති අතර තව දුරටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මේ කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් නොමැති බව අඟවා ඇතැයි දැන ගන්නට තිබේ.
මේ සියලු ප්‍රශ්න උද්ගත වී තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන් ජනාධිපතිවරයා නොසලකා හැර සිය අභිමතය පරිදි ක්‍රියා කිරීම,අධිකරණ,පොලිස්,මුදල්,ජාත්‍යන්තර වෙළඳ සහ ජනමාධ්‍ය යන අමාත්‍යංශ මෙහය වන ආකාරය,හොරුන් ඇතුළු අපරාධකරයින්ට එරෙහිව නිසි පරිදි,විනිවිද භාවයෙන් යුතුව නීතිය ක්‍රියාත්මක කරමින් දඬුවම් ලබා නොදීම,හවුල් ආණ්ඩුවක් තිබියදී ඒ ගැන නොතකා එක්සත් ජාතික පක්ෂයත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාත් සිය අභිමතය පරිදි පමණක් අය-වැය යෝජනාවලිය සකස් කිරීම වගේම ජනාධිපති ඝාතන සැලසුමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානී නාලක සිල්වා මහතා වගේම ඔහුව ආරක්ෂා කරන පොලිස්පතිවරයාව අගමැතිවරයා විසින් ආරක්ෂා කිරීම ඇතුළු සංකීරණ ප්‍රශ්න ගණනාවක් මත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයාට ඉතා සමීප ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් “lankanewsweek” සමග පැවසීය.
මේ අතර මහත්මා ගාන්ධි තුමාගේ ජන්ම දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සහභාගීත්වයෙන් යුතුව අඟහරුවාදා (02) එක සැමරුම් උත්සවයක් පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණත් අගමැතිවරයා සමග ඊට එක්වීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීම නිසා දෙදෙනා වෙනුවෙන් උත්සව දෙකක් වෙන වෙනම සංවිධානය කිරීමට සිදුව ඇති අතර එමගින් පැහැදිළි වන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර උද්ගත වී තිබෙන අර්බුදයේ තරම යැයි විදේශීය තානාපති අංශ ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර මුල සිටම හොඳ අවබෝධයක්,පැහැදීමක් සහ විශ්වාසයක් ගොඩනගා ගැනීමට නොහැකි වී තිබෙන්නේ එම නායකයින් දෙදෙනා අතර පණිවුඩකරුවා ලෙස ක්‍රියා කරන උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ දුර්වලතාවය නිසා යැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanewsweek” සමග පැවසීය.
ගාමිණී ජයවික්‍රම පෙරේරා,ජොන් අමරතුංග,ලක්ෂ්මන් කිරිඇල්ල,රංජිත් මද්දුමබණ්ඩාර,සජිත් ප්‍රේමදාස,රවී කරුණානායක,දයා ගමගේ,නවීන් දිසානායක,අකිල විරාජ් කාරියවසම්,ගයන්ත කරුණාතිලක,අජිත් පී පෙරේරා සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු මහ පොළවේ දේශපාලනය ගැන දන්නා උගත්,බුද්ධිමත්,පරිණත ජ්‍යෙෂ්ඨ සහ තරුණ දේශපාලකයින් ගණනාවක් එක්සත් ජාතික පක්ෂයේ සිටියදී ජන පදනමක් නොමැති,සල්ලි හෙවීමේ කූට ව්‍යාපාර ගැන විනා දේශපාලනය ගැනවත්,ජනතාවගේ අවශ්‍යතා,හද ගැස්ම සහ ප්‍රශ්න ගැනවත් නොදන්නා මලික් සමරවික්‍රම මහතා වගේ පුද්ගලයකු ජාතික ආණ්ඩුවක් වැනි රටක සංකීරණ දේශපාලන ක්‍රියාවලියකදී නායකයින් දෙදෙනා අතර පණිවුඩකරු ලෙස යොදා ගැනීම තරම් තවත් අඥාන ක්‍රියාවක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් කරුණු ගෙන හැර දක්වමින් වැඩි දුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ එම ජ්‍යෙෂ්ඨ නායකයා මෙසේ ද කීය.
“රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ විටින් විට කැරළි මතු වෙනවා.එසේ කැරළි මතු වූ සෑම අවස්ථාවකදීම එම කැරළි සමථයකට පත් කිරීම සඳහා එම කැරළිකරුවන් අතර සිටිමින් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සාකච්ඡා කළේ මලික් සමරවික්‍රම මහතායි.එහෙත් එතුමාට එරෙහි එම අභ්‍යන්තර කුමන්ත්‍රණ සහ කැරළි නතර වුණේ නැහැ.එදා වගේම අදටත් එම අභ්‍යන්තර අර්බුද පවතිනවා.ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ පවා විටින් විට මතු වන එම අර්බුදවත් කළමනාකරණය කර ගනිමින් විසඳා ගැනීමට මලික් සමරවික්‍රම මහතා අසමත් වී සිටිනවා.
ඒ වගේම අපට මතකයි 2001 ආණ්ඩුවේ දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අතර ප්‍රශ්න ඇති වූ අවස්ථාවේදීත් දෙපාර්ශවය අතර පණිවුඩකරු හැටියට ක්‍රියා කළේ මලික් සමරවික්‍රම මහතායි.ඒ අවස්ථාවේදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය වෙනුවෙන් සාකච්ඡාවට පැමිණියේ මනෝ තිත්තවැල්ල මහතායි.මේ සුප්‍රසිද්ධ “මනෝ-මලික්” සාකච්ඡා අවසන් වූයේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය ජය ගෙන රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකමත් අහිමි වී ඔහු විපක්ෂයට තල්ලු වීමෙනුයි.
වර්තමානයේ උද්ගත වී තිබෙන තත්ත්වය අනුව අපට පෙනී යන්නේ ද පණිවුඩකරුවෙකු සහ සාකච්ඡාකරුවෙකු ලෙස මලික් සමරවික්‍රම මහතාගේ අසාර්ථක භාවය හේතුවෙන් 2004 සිට බැලුවාම අවුරුදු එකොළහකට පසුව ගොඩනැගු ආණ්ඩුව සහ අගමැතිකමත් අහිමී වී රනිල් වික්‍රමසිංහ මහතාට යළිත් විපක්ෂයේ ගාල්වීමට අවශ්‍ය පසුබිම මලික් සමරවික්‍රම සකස් කර ඇති බවයි.”
මේ අතර ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබෙන වත්මන් දේශපාලන වතාවරණය සහ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් විදේශීය තානාපති අංශවල ස්ථාවරයට අදාළව “lankanewsweek” කළ විමර්ශනවලදී තහවුරු වූයේ ඉන්දියාව සහ ඇමරිකාව ඇතුළු ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන තත්ත්වයන් කෙරෙහි තීරණාත්මක ලෙස මැදිහත්වීම් කරන රටවල සහයෝගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් කෙරහි සාපේක්ෂව අඩු බවය.
කෙසේ නමුත් ඉන්දීය “රෝ” ඔත්තු සේවය තෙවැනි පාර්ශවයක් හරහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශවල ද අනුදැනුම මත කළ විශේෂ සමීක්ෂණයකදී හෙළි වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියම නායකයා සජිත් ප්‍රේමදාස මහතා වන අතර ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනප්‍රියම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවය.
එමෙන්ම යහ පාලනය ඉදිරියට ගෙන යනවා නම් දොස්තර රාජිත සේනාරත්න හෝ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඊළඟ ආණ්ඩුවේ අගමැති ධූරයේ සිටිය යුතු බවට ද ඇතැම් විදේශීය තානාපති අංශවල ස්ථාවරය වී තිබේ.
විශේෂයෙන් කතානායක කරු ජයසූරිය මහතා කෙරෙහි ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ විදේශීය තානාපති අංශවල විශ්වාසය පළ වී තිබෙන අතර බොහෝ දේශපාලන ක්‍රියාකාරිකයින්ගේ ස්ථාවරය වී තිබෙන්නේ “කරු-සජිත්” සුසංයෝගයක් රටට අවශ්‍ය බවටය.
එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාධාරණ දැක්මකින් යුතු ඉහළම පෙළේ අභ්‍යන්තර ආරංචි මාර්ග “lankanewsweek” සමග හෙළි කර සිටියේ මේ සියලු ප්‍රශ්නවලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්,විශේෂයෙන් ඔහු සමග සිය අනාගත දේශපාලන පැවැත්ම වෙනුවෙන් තරඟයට දේශපාලන ගනුදෙනු කිරීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් විශේෂයෙන්ම වග කිව යුතු බවය.
ඊට අමතරව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග,මංගල සමරවීර,මලික් සමරවික්‍රම,දුමින්ද දිසානායක,මහින්ද අමරවීර සහ ජයම්පති වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු එකතරා සුවිශේෂී සුළු පිරිසක් ද මේ දේශපාලන ව්‍යාකුලත්වය පිටු පස සිටින බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන උපක්‍රමය වී තිබෙන්නේ රටේ විශාල ආර්ථික සහ දේශපාලන අර්බුදයක් තිබෙන බවත් ඒ සියලු අර්බුද සඳහා විසඳුම් දිය හැකි සඛ්‍යතාවය හෙවත් හැකියාව තිබෙන්නේ තමාට පමණක් බවත් ජන මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා,ආණ්ඩුව සහ ජන සමාජය හමුවේ මවා පාමින් තමාට,වගේම සිය පවුලේ අයට සහ හිතෛෂීන්ට එල්ල වී තිබෙන නීතිමය චෝදනා සඳහා අනියම් බලපෑම් කරමින් එමගින් ගැළවීම බව රාජ්‍ය බුද්ධි අංශ අනාවරණය කර ගෙන සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7