අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කවි සාගරය කළඹා මැති සබයට ගිය මහා කවි සාගර පලන්සූරිය..!

කවි සාගරය කළඹා මැති සබයට ගිය මහා කවි සාගර පලන්සූරිය..!

කටුරෝද මඩ වගුරුවල මානෙල් ඕලූ මැණිකෙගෙ මුහුණ දැකුමට පොරකනවා ලූ පැල්පත තුළ තනිව වසනා ඇගෙ පාළු කැපුමට සුළඟ රස ගී පවසන වාලූ (දේ.සූ.ද සොයිසා) “සුදෝ සුදු” කවි නදියේ පෙන පිඩු අතර තිබෙන මේ රස කව මිනිස්…

කටුරෝද මඩ වගුරුවල මානෙල්             ඕලූ

මැණිකෙගෙ මුහුණ දැකුමට පොරකනවා  ලූ

පැල්පත තුළ තනිව වසනා ඇගෙ           පාළු

කැපුමට සුළඟ රස ගී පවසන                 වාලූ

කවි සාගරය කළඹා මැති සබයට ගිය මහා කවි සාගර පලන්සූරිය..!

(දේ.සූ.ද සොයිසා)

“සුදෝ සුදු” කවි නදියේ පෙන පිඩු අතර තිබෙන මේ රස කව මිනිස් දුවකගේ සුන්දර මුහුණ දැකුමට විල් පොකුණුවල පිපෙන “මානෙල්- ඕලූ” පොර කන අයුරු කියා පාන්නේ රසිකයාගේ සිතට නව මිහිරක් එකතු කරමිනි.

මෙවැනි සුන්දර මුහුණක් රස කවකින් උලුප්පා පෙන්වන්නට තරම් කවියා සෞන්දර්යවාදියෙකු වීම කොතරම් රසවත් සහ මිහිරිවේද..? රටේ වර්තමාන දේශපාලන වාතාවරණය අනුව බැලුවාම එවන් සුන්දර මිනිසුන්ගෙන් රට කර වන මැති සබය පිරුණොත් ඒ තත්ත්වය රටේත් ජනතාවගෙත් කෙතරම් වාසනාවක්ද..?

1956 මහ මැතිවරණයේදී හොරණ මන්තී‍්‍ර කොට්ඨාසය ජය ගෙන මැති සබයට ගිය මේ කවියා ජාතියේ පිනට පහළ වූවෙකි. ඔහු නමින් සාගර පලන්සූරිය වේ. කවි සාගරය කළඹා මැති සබයට ගිය මේ මහා කවියා බොහෝ දෙනෙකු “කේයස්’” යන කෙටි නමින්ද දැන හඳුනා ගෙන ඇත.

පැවිදි ජීවිතය..!

ගිහි ජීවිතයක් සේම විටෙක පැවිදි ජීවිතයක්ද ගත කළ මොහුට නම් කිහිපයක්ම විය. ඔහුට දෙමාපියන් තැබූ නම වූයේ පලන්සූරියලාගේ අප්පුහාමි යනුවෙනි. පසුව පැවිදි දිවියට ඇතුළත් වූ හෙයින් කලල්ඇල්ලේ පේමානන්ද හිමි යනුවෙන් පැවිදි නමක් හිමි විය.

පසුව පැවිදි ජීවිතය අතහැර යළි ගිහි ජීවිතයට පිවිස සිට යළිත් පැවිදි දිවියට ඇතුළත් වන විට ලද පැවිදි නම වූයේ කලල්ඇල්ලේ ආනන්ද සාගර හිමි යනුවෙනි.

මෙම නමේ ඉංගි‍්‍රසි අක්‍ෂර අනුව මුලට ලියැවෙන අකුරු තුන වන “කේ.ඒ.එස්” යන්න උපයෝගි කර ගෙන “කේයස්’ යනුවෙන් කෙටි නමක් සකසා ගත් ආනන්ද සාගර හිමියෝ සිය ලේඛන කලාවේදී එම නම උපයෝගි කර ගත්හ.

පසු කලෙක යළි පැවිදි ජීවිතයෙන් සමු ගෙන ගිහියෙකු වූ මේ  “කේයස්” හෙවත් කලල්ඇල්ලේ ආනන්ද සාගර හිමි,  සාගර පලන්සූරිය යන නමින් පෙනී සිටියත් පැවිදි නමෙහි එන අකුරුවලින් හැඳින්වූ “කේයස්” යන නම ද අත හැරියේ නැත.

කවි සාගරයක් බඳු වූ සාගර පලන්සූරිය කිවිඳුන් උපත ලද්දේ සබරගමු පළාතේ රත්නපුර දිසාවේය. එහි නිවිතිගල මැතිවරණ කොට්ඨාසයේ කලල්ඇල්ල නම් සුන්දර ගම්මානය මෙතුමාගේ නිජ බිම විය.

පාසල් ඉගෙනුම..!

වර්ෂ 1910 මාර්තු මස 11 වන දින උපත ලැබූ මෙතුමාට පියදාස පලන්සූරිය නමින් තවත් කලාකාමි සහෝදරයෙකු විය. ඔහු කොළඹ ප‍්‍රදේශයේ ජීවත් වූ අතර අග නුවර ජාතික, ආගමික, ශාසනික කටයුතුවල නියුතු සමාජසේවකයෙකු විය. ඔහු ලියූ “සිරිබෝ අයියා” නම් කතාව පසු කලෙක චිත‍්‍රපටයකටද නැඟුනි.

කුඩා කල කලල්ඇල්ල රජයේ පාසලෙන් අධ්‍යාපනය ලැබූ මොහු  13 වැනි වියේදී පමණ පැවිදි ජීවිතයට ඇතුළත්ව ඇත. එහිදී ලැබුණු ප‍්‍රථම නම වූයේ කලල්ඇල්ලේ පේ‍්‍මානන්දය. සසුනට වඩා කවියට ඇලුම් කළ කලල්ඇල්ලේ පේමානන්ද හිමි පිරිවෙන් අධ්‍යාපනයෙන් සිංහල, පාලි සහ සංස්කෘත භාෂා උගත් අතර සිවුරු හැර උපැවිදි වුවත් යළි පැවිදි වුයේ ආනන්ද සාගර යන නාමයෙනි.

කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරුවෙණ, මේ හිමියන් අධ්‍යාපනය ලැබූ ප‍්‍රධාන සිප් සැල විය. පෙරදිග භාෂා සේම ඉංගී‍්‍රසි භාෂාවද උගත් මේ හිමියෝ පසුව විද්‍යෝදය පිරුවෙනේ ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළහ.

මේ යුගයේ “ධම්පියා අටුවා ගැටපදය” ලියා මුද්‍රණය කර  පළ කළ අතර එම ග‍්‍රන්ථය කොටස් කිහියකින් සමන්විත පොත් පෙළක් විය. පිරිවෙන් අධ්‍යාපනයේ යෙදී සිටින අයට  මේ පොත් පෙළ  විශාල වශයෙන් ප‍්‍රයෝජනවත් පුස්තක පන්තියක් විය.

මේ යුගයේම කොළඹ කවියන් අතරට එක්වූ “කේයස්” සිය ගම, රට පළාත පිළිබඳව රචනා කළ රසවත් කවි පන්ති පුවත්පත්වල සහ කාව්‍ය සඟරාවල පළ විය.

ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි, වතුරේගම විමලඛන්ති හිමි (විමලේන්ද්‍ර වතුරේගම) වැල්ලබඩ විමල හිමි (විමල් අභයසුන්දර) බඹර කොටුවේ සුධර්ම හිමි (බඹරකොටුවේ සුධර්ම) යන එකල පැවිදි ජීවිතයක් ගත කර පසුව උපැවිදි වූ කවියන් සමග කාව්‍ය ලෝකය බැබල වූයේ වර්තමානයේ ගායක ගායිකාවන්ට තිබෙන තත්ත්වය එදා ඔවුන් විසින් ලබා ගනිමිනි. මේ අයගේ ප‍්‍රධාන වේදිකාව වූයේ අග නුවර තරුණ කවි සමාජයයි.

ශාන්ති නිකේතනයට..!

පසු කලෙක ඉන්දියාවේ ශාන්ති නිකේතනයටද ගොස් උගත් කලල්ඇල්ලේ ආනන්ද සාගර හිමි රවින්ද්‍රනාත් තාගෝර්තුමාගේ ඇසුර ලබමින් සිය දක්‍ෂතාවයන් ඔප් නංවා ගත්තේය.පසුව ශ්‍රී ලංකාවට අවුත් උපැවිදි වී පාසල් ගුරුවරයෙකු වශයෙන් විවිධ ප‍්‍රදේශවල සේවය කළේ පිරිපුන් ගුරුවරයෙකු ලෙසය.

මේ අනුව කොළඹ ආනන්ද සහ නාලන්ද, මොරටුව වේල්ස් කුමාර වගේම  කුරුණෑගල මලියදේව යන  විද්‍යාල එතුමාගේ  ඒ අගනා සේවය ලැබූ  විද්‍යාලයන් වේ.

කොපමණ වැඩ කටයුතු තිබුණද “කේයස්” අතින් කවි පන්තියක් නොලියූන දිනයක් නොවීය. මධු බිඳු වෑහෙන කවි පන්ති කියවීමට ලක් වැසියෝ පි‍්‍රය කළහ. මේ කවිය ඊට හොඳම නිදසුනකි.

බඩ වැටි මල් පඳුරු මුඩු බිම් පිසිමින්     නේ

කටුරොද ගම්මානයට මද නල එන්      නේ

පුර පසළොස්වකට පුන් සඳ පායන්      නේ

මැණිකේ නිසා බව ටික දෙනෙකුයි දන් නේ

පායන පුන් සඳක් මෙන් වැසි වට සැණිනි

නා ගෙන ගෙදර එන මේ සුන්දර  තරුණි

කුඹුරෙන් ගඟට යන මඩ ගෑවුණ   ගතිනි

අදිරිට මගදි සැන්දෑවක මුණ        ගැසුනි

දේශපාලනයට..!

උපැවිදි වීමෙන් පසු 1940 දශකයේදී විවාහ දිවියට පත්වූ සාගර පලන්සූරිය කිවිඳුන් පුතුන් තිදෙනෙකුගේ පියතුමෙකු විය. ඔවුන්ටද මනා අධ්‍යාපනයක් ලබා දෙන්නට ඔහු කි‍්‍රයා කළේය. නමුත් පුතුන් තිදෙනා ලොකු මහත්වී සිටිනවා දකින්නට තරම් ජීවත් විය හැකි කාලයක් ඔහුට  ඉතිරිව තිබුණේ නැත.

කවියට යොමු වූවා සේම සාගර පලන්සූරි මහතාට දේශපාලනයට යොමු වන්නට ද සිදු විය. ඔහු එස් ඩබ්ලියු ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ දේශපාලනයට ලැදිව සිටි අයෙක් විය.

සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට එස් ඩබ්ලියු ආර් ඩී බණ්ඩාරනායක මහතා ගන්නා උත්සාහයට ඔහුගේ දිරිය සවියද ලැබිණි. ඒ අනුව 1956 වසරේ දී පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී හොරණ ආසනය සඳහා මහ ජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් සාගර පලන්සුරිය මහතා  ඉදිරිපත් විය. ඒ වන විට හොරණ මන්ති‍්‍රවරයා වශයෙන් සිටියේ එවකට රජයේ මුදල් ඇමැතිවරයාවූ එම්. ඞී.එච් ජයවර්ධන මහතාය.

මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ එම්.ඞී එච් ජයවර්ධන මහතා ලෙහෙසියෙන් පරදවා සාගර පලන්සූරිය මහතාට හොරණ ආසනය ජය ගන්නට හැකි විය.

කෘතහස්ත දේශපාලකයෙකු වූ එම්. ඞී එම් ජයවර්ධන නම් දේශපාලන නායකයා  එක්සත් ජාතික පක්ෂය රජයේ ප‍්‍රබල ඇමැතිවරයෙක් විය. හොරණට ආගන්තුකයෙකු වූ සාගර පලන්සූරිය, එම්. ඞී එම් ජයවර්ධන මහතා පරාජය කළේ වැඩි ඡන්ද දස දහස් හයසිය පනස් පහකිනි. (10,655) එම මැතිවරණයේදී හොරණ ඡන්ද ප‍්‍රතිඵලය මෙසේය.

සාගර පලන්සූරිය මහතා-මහ ජන එක්සත් පෙරමුණ-29,780

ඇම්.ඞී එච් ජයවර්ධන මහතා-එක්සත් ජාතික පක්ෂය-19,125

නරක් වූ ඡන්ද ප‍්‍රමාණය-312

වැඩි ඡන්ද-10,655

ඡන්දය ලබා දුන් මුළු ගණන-49,217

අමතක නොවන ජීවිතයක්..!

සාගර පලන්සූරිය මහාතා තරග කළ ප‍්‍රථම සහ  අවසාන මැතිවරණයද එම මහ මැතිවරණය විය. ඔහුගේ මන්ත‍්‍රී ධූර කාලය ද ඉතා කෙටි එකක් විය. 1956 අපේ‍්‍රල් මාසයේ සිට 1960 මාර්තු දක්වා,එනම් වසර 4ක කාලයකට පමණක් ඔහුගේ එම මන්ත්‍රී ධූරය සීමා විය.

සාගර පලන්සූරිය කිවිදුන් උගුරේ ආබාධයකින් පීඩා වින්දේය. ඔහු බොහෝ කාලයක් ජීවත් වූයේ නැත. දිවි මං තලාවේ ගෙවි ගියේ වසර 51 ක් තරම් කෙටි කාලයකි.

1961 ජුනි 22 වන දින සිය ආදරණීය පුතුන් තිදෙනා ද පි‍්‍රය බිරිඳද සදහටම  තනි කරමින් හදිසියේම අභාව ප‍්‍රාප්ත සාගරපලන් සූරිය මහතා තවත් වසර 500ක්වත් ජන හදවත්වල ජීවත් වනු නිසැකය.

මේ මහා කවියා අගනුවර තරුණ කවි සමාජයේ සභාපති පදවිය දෑරු කාලය සිහිපත් කර රජය මගින් සමරු මුද්දරයක්ද එතුමාගේ රුව සහිතව මුද්‍රණය කර උපහාර දක්වා ඇත.

මේ මහා කවියාගේ කාව්‍ය නිර්මාණ රැසක් මේ වන විට අප රටේ පාසල් පොත්වල උගත යුතු පාඩම් සඳහා යොදා ගෙන තිබීමත් මේ මහා කවියාට සිදු කළ මහත් ගෞරවයක් ලෙස සැලකීමට පුළුවන. දේශපාලකයෙකු වුවත් පක්‍ෂ දේශපාලනයක යෙදුණත් මේ වන විට මුළු රටම මේ මහා කවියාට දක්වන්නේ අසීමිත ආදරයක් සහ ගෞරවයකි.

කවි සාගරය කළඹා මැති සබයට ගිය මහා කවි සාගර පලන්සූරිය..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න
කවි සාගරය කළඹා මැති සබයට ගිය මහා කවි සාගර පලන්සූරිය..! | Lanka Newsweek