කරූ ආනන්දාභිමානීය සම්මානයෙන් පිදුම් ලැබූ වගයි

"කරූ කියන්නේ ඕනෑම අභියෝගයක් ජය ගත හැකි නායකයෙක්" - ජනපති- ආර්ථික, ආගමික ,සංස්කෘතික සහ දේශපාලනික යන සකල අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ ආනන්දීය චරිතයකට ජීවිතයට එක් වරක් පමණක්…
"කරූ කියන්නේ ඕනෑම අභියෝගයක් ජය ගත හැකි නායකයෙක්" - ජනපති-
ආර්ථික, ආගමික ,සංස්කෘතික සහ දේශපාලනික යන සකල අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ ආනන්දීය චරිතයකට ජීවිතයට එක් වරක් පමණක් ලබා දෙන ආනන්දාභිමානී සම්මානයෙන් දේශබන්දු කරු ජයසූරිය මහතා පිදුම් ලැබීය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරූ ජයසූරිය මහතා මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ, කොළඹ ආනන්ද විද්‍යාලයේ 135 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ 2020 සහ 2021 වර්ෂ සඳහා වන ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (29) පෙරවරු 9.00 ට පැවැත් විණ.
දැන්වීම
කීර්තිමත් සහ දීප්තිමත් ආදි ආනන්දියෙකු වන දේශබන්දු කරු ජයසූරිය මහතාට මෙම අතිශය ගෞරව සම්මානය පිරිනැමුණේ කොළඹ ආනන්ද විද්‍යාලයේ කලමනාකාරණ මණ්ඩලයේ තීරණයකට අනුව වන අතර මීට පෙර ඒ මහතා ශ්‍රී ලංකා අභිමාන්‍ය සම්මානයෙන් ද පිදුම් ලබා තිබිණ.
එහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ, කරූ ජයසූරිය යනු ඕනෑම අභියෝගයක් භාර ගෙන ජය ගත හැකි සහ ඕනෑම අභියෝගයක් පැනලා භාර ගන්නා ආදර්ශවත් දේශපාලන නායකයෙකු වන අතර එම නිසා ඔහු ආදර්ශයට ගෙන ක්‍රියා කිරීම සියලු දෙනාගේ වගකීමක් වන බවය.
දේශබන්දු කරු ජයසූරිය මහතා පිදුම් ලැබූ ආනන්දාභිමානීය සම්මානයට අදාළ සන්නස් පත්‍රයේ මෙසේ සටහන් වී තිබිණි..!
"ස්ව ශක්තියෙන්, ස්වෝත්සාහයෙන් නැඟී සිටිමින් අනලස්ව, අනල්ප ව ධාර්මිකව, සැදී පැහැදී රෑ දිවා වෙහෙසී සිය නිජබිම, ජාතිය, ආගම, භාෂාව ජන සමාජය කෙරෙහිඉමහත් සැදැහැ ගුණ නුවණින් අප්‍රමාණව ක්‍රියා කරමින් තම දෙගුරුන්ට ද, තමන් ශිල්ප ශාස්ත්‍ර හදාළ ශ්‍රී ලාංකික බෞද්ධ අධ්‍යාපනයෙහි මුදුන් මල්කඩ බඳු වූ කොළඹ ආනන්ද විද්‍යාලයට ද යශෝ කීර්තිය අත්පත් කර දුන්, උපන් රටේ සහජීවනය, සංහිඳියාව උදෙසා කැපවෙමින් අධ්‍යාපනික, ආර්ථික, සමාජයීය දේශපාලනික හා සංස්කෘතික ක්ෂේත්‍රයන් හි අභිවර්ධනය නගමින් අගතියෙන් තොර ව සත්‍යවාදීව මැතිසබයේ කථානායක ධුරය හොබවමින් පරමාදර්ශීය ඇවතුම් පැවතුම් පළ කළ ශ්‍රී ලංකාභිමාන්‍ය නාමධාරී "කරු ජයසූරිය" සුධීමතාණන් වෙත "ආනන්දාභිමානී" වීර සම්භාවිත ගෞරව නාම අභිනන්දනය මෙසේ පිරිනමනු ලබම්හ"