කරූගෙන් මහින්දට අභියෝගයක්

දේශපාලන පළි ගැනීම් වාර්තාව ඉවත් කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන බව පෙන්වනු ජාත්‍යන්තර අපවාදයෙන් රට බේරා ගනු ආණ්ඩුව ජනතාවගේ ජීවිත එක්ක සූදු කෙළිනවා හමුදාකරණයෙන් වසංගතය මර්දනය කරනු බැහැ රට බංකොළොත්…
දේශපාලන පළි ගැනීම් වාර්තාව ඉවත් කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන බව පෙන්වනු
ජාත්‍යන්තර අපවාදයෙන් රට බේරා ගනු
ආණ්ඩුව ජනතාවගේ ජීවිත එක්ක සූදු කෙළිනවා
හමුදාකරණයෙන් වසංගතය මර්දනය කරනු බැහැ
රට බංකොළොත් වෙලා..!
(සුජිත් මංගල ද සිල්වා)
ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකු නම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යුත්තේ සිය නමින් පාර්ලිමේන්තු පුස්තකයේ තිබෙන දේශපාලන පළි ගැනීම් පිළිබඳ උපාලි අබේරත්න කොමිෂන් සභා වාර්තාව වහාම ඉවත් කර ගනිමින් ජාත්‍යන්තර අපවාදවලින් රටත් ජනතාවත් බේරා ගැනීම යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.
රටේ සාමය සහ ජන ජීවිතයේ ආරක්ෂාව සහතික වනු ඇත්තේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිර්මාණය කර ගෙන ඇති අත්තනෝමතික සහ ඒකාධිපති බලය සීමා කරමින් රටේ ව්‍යවස්ථාදායකයට වග කියන බහුතර ජනතාවගේ සාමූහික නියෝජනයක් සහිත ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීමෙන් පමණකැයි ද ඔහු පෙන්වා දෙයි.
දැන්වීම
දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී සිකුරාදා (25) සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කියා සිටියේය.
අද වන විට අපේ රට පවතින්නේ ඉතාමත් බරපතළ අනතුරක් අභියසයි. රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමේ දැවැන්ත අවදානමකට මුහුණ දී තිබෙනවා. ඒ අතර කොවිඩ් වසංගතය මුළු මහත් රටම වෙළා ගනිමින් පවතිනවා. එවැනි භයානක තත්ත්වයකට රට ඇද වැටී ඇති පසුබිමක පාලකයන්ගේ අත්තනෝමතික සහ හිතුවක්කාරී තීරණයක ප්‍රතිඵලයක් ලෙස රටේ කෘෂිකර්මාන්තය ද කඩා වැටෙන තත්ත්වයක් ඇති වෙලා.
මෙම තත්ත්වය කෙටියෙන් පැහැදිලි කරන්නේ නම් අද ගොවියන්ට වගා කරන්නට පොහොර නෑ. ධීවරයා අසරණ කරලා. රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රය දවසින් දවස කඩා වැටෙමින් පවතිනවා. දරුවන්ට අධ්‍යාපනය ලබන්නට හැකියාවක් නොමැති වෙලා. සමස්ත රාජ්‍ය සේවයම අකර්මන්‍ය වෙලා. ඒ නිසා රට මුහුණ පා ඇති මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවා ගැනීමේ වගකීම අප සියලු දෙනාගේම කර මත පැටවී තිබෙනවා. එම කරුණු සැලකිල්ලට ගනිමින් ජනතාව දැනුවත් කිරීම අප සතු වගකීමක් ලෙස සලකනවා.
පාලකයන් මේ පිළිබඳව සිය අවධානය බලවත් ලෙස යොමු කළ යුතුයි. දේශපාලන පක්ෂ, ජාති සහ ආගම් ආදී සියලුම පටු භේද නොසලකා හරිමින් රටේ අනාගත යහපත උදෙසා සියලුම පාර්ශව එක්සත් කරමින් විධිමත් සහ පැහැදිලි ක්‍රියා මාර්ග වෙත යොමු විය යුතුයි. පසු ගිය මාස ගණනාව තිස්සේම අප පුන පුනා ප්‍රකාශ කළ පරිදිම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රටේ සමස්ත බලය එක් පුද්ගල හස්තයක් යටතට යොමු කර ගෙන තිබෙනවා. ඒ නිසා රටේ සමස්ථ ප්‍රජාතන්ත්‍රීය ආයතන පද්ධතියම බිඳ වැටී තිබෙනවා. රට බරපතළ වසංගතයකට මුහුණදී තිබියදීත් අඩුම වශයෙන් ඊට හෝ සාර්ථකව මුහුණ දීමට නොහැකි වී ඇත්තේ ඒ නිසයි. මෙවැනි ව්‍යසනයක් හමුවේ පවා බල අහංකාරය ඉවත් කර ගන්නට සූදානම් බවක් පෙනෙන්නට නැහැ. අවම වශයෙන් වසංගත රෝග විශේෂඥයන්ගෙන් පවා නිසි ප්‍රයෝජනයක් නොගෙන තනි මතයට වැඩ කරන බවක් පෙනෙන්නේ ඒ නිසයි.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වන විද්වත් ප්‍රජාව මෙවැනි මොහොතක රටට උදව් කරන්නට සූදානමින් සිටින බව අප හොදින්ම දන්නවා. නමුත් රටක් ලෙස අප ඔවුන්ගෙන් පවා නිසි ප්‍රයෝජනයක් ගන්නා බවක් පෙනෙන්නට නැහැ. ඒ කෙසේ නමුත් දැන්වත් අප යථාර්ථයට මුහුණ දිය යුතුව තිබෙනවා. ඒ නිසා මෙම වසංගතය මැඩලීම සඳහා දැන්වත් සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන විශේෂඥයන් මූලික කර ගන්නා සිවිල් යාන්ත්‍රණයකට එම කටයුත්ත භාර කළ යුතුව ඇතයි අප විශ්වාස කරනවා. හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ක්‍රියාත්මක විය යුත්තේ එම යාන්ත්‍රණයට අනුබද්ධවයි. ඔවුන් ලබා දුන් සේවය අපි අගය කරනවා. රට හමුදාකරණය කිරීමෙන් වසංගත රෝග මර්දනය කරන්නට බැහැ. එවැන්නකින් සිදු වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ නිදහස දුර්වල කිරීම පමණයි.
ඒ නිසා අප නැවත නැවතත් ප්‍රකාශ කරන්නේ රටේ ජනතාවගේ ජීවිත සමග සූදු කෙළිමින් රටත් ජනතාවත් අනතුරේ නොහෙළන ලෙසයි. රට මුහුණ දී ඇති අවදානම අවතක්සේරු නොකරන ලෙසයි. කොවිඩ් වසංගතය හේතුවෙන් බ්‍රහස්පතින්දා (24) දිනයේ දී පමණක් මරණ 45 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මේ දක්වා රට පුරා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 2814 ක් වනවා. සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 248050 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර බ්‍රහස්පතින්දා (24) දිනයේ දී පමණක් ආසාදිතයන් 1917 ක් වාර්තා වුණා. මේ තත්ත්වය අතිශය භයානකයි.
මෙවැනි පසුබිමක් මත 2021.06.21 වැනිදා සංචරණ සීමා ඉවත් කිරීම ගැන රට පිළිගත් විද්වතුන් ගණනාවක්ම සිය විරෝධය පළ කර තිබෙනු අප දුටුවා. ඇතම් ප්‍රධාන ජනමාධ්‍ය, රජයේ මෙම තීරණය හඳුන්වාදී තිබුණේ ආත්ම වංචාවක් ලෙසයි. ඒ නිසා රජය මේ පිළිබදව බලවත් අවධානයක් යොමු කළ යුතුයි. ඒ අනුව වෛද්‍ය විශේෂඥයන්ගෙන් යුත් විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්ද ඇතුළත් කර ගන්නා සිවිල් යාන්ත්‍රණයකට කොවිඩ් මර්දන ක්‍රියාවලිය භාර දෙන ලෙස අප බලවත් වුවමනාවකින් යුතුව ඉල්ලා සිටිනවා. හමුදාවට ද මෙහි කාර්‍යභාරයක් තිබෙනවා.
මේ අතර පූර්ව සැලසුමක් සහ කෘෂි විශේෂඥයන්ගේ නිසි තක්සේරුවකින් තොරව පොහොර සම්බන්ධයෙන් රජය ගෙන ඇති අත්තනෝමතික තීන්දුව රටේ සමස්ත කෘෂි කාර්ම ක්ෂේත්‍රයම විනාශය මුඛයට තල්ලු කළ හැකි හේතුවක් වී තිබෙනවා. අද වගා කිරීමට අවශ්‍ය පොහොර නොමැති කමින් රට පුරා ගොවියන් බලවත් අසීරුතාවයකට පත් කර තිබෙනවා. රජයේ මෙම අදූරදර්ශී ප්‍රතිපත්තිය නිසා රටේ සමස්ත කෘෂි නිෂ්පාදනය අවම වශයෙන් 40%න් හෝ පහත වැටෙනු ඇතැයි විද්වතුන් මත පළ කර තිබෙනවා. ඒ තත්ත්වය අවාසනාවන්ත තත්ත්වයක්. එවැන්නක් සිදු වුව හොත් රටේ ආහාර සුරක්ෂිතතාවය බරපතළ ලෙස බිඳ වැටිය හැකියි. විශාල ආහාර අහේනියක් ඇති වීමේ අනතුර නිසා ජනතාව බරපතළ දුෂ්කරතාවයන්ට පත් විය හැකියි. එමෙන්ම එවැනි තත්ත්වයක් නිර්මාණය වීමෙන් රට පුරා ලේ හැලෙන විරෝධතාවයක්ද මතු විය හැකියි. ඒ නිසා මෙම කාරණයට අදාළව අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සාමාන්‍ය පොදු ජනතාවගේ ජීවිත සමග සූදු නොකෙළින ලෙසයි.
මෙම සියලු තත්ත්වයන් මත රටේ ආර්ථිකයද බරපතළ ලෙස කඩා වැටෙමින් තිබෙනවා. අද වන විට අපගේ විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 300ක් දක්වා හැකිලී තිබෙනවා. එම තත්ත්වය අතිශයින්ම භයානකයි. විදේශීය රටවලින් ලබා ගන්නා ඩොලර් බිලියන 200ක මුදල් පමණක් යොදවා ඊට පිළියම් සෙවීම විහිළුවක් බව කිව යුතුයි. ඛණිජ තෙල් මිල වැඩි කිරීමෙන් රජය තාවකාලික සහනයක් ලබා ගත්තත් ඒ මගින් පමණක් අද පවතින තත්ත්වය අනුව රටේ ආර්ථිකය ශක්තිමත් කළ නොහැකියි.
ඒ අනුව එම අභියෝගයට මුහුණදීමේ වගකීම පැවරී ඇත්තේ ආණ්ඩුවටයි. ඒ සඳහා ස්ථාවර සහ පැහැදිලි ප්‍රයත්නයක පිහිටා කටයුතු කළ යුතුයි. සමහර ඇමතිවරුන්ට අනුව රජයට අවශ්‍ය ආකාරයට වියදම් කිරීමට මුදල් ඇති බවක් ප්‍රකාශ වෙනවා. අද රටේ ආර්ථිකය පිළිබඳව අබමල් රේණුවක හෝ දැනුමක් තිබේ නම් ඔවුන් එවැනි කතා කියන්නේ නැහැ.
මේ අතර පාලකයන්ගේ සුඛ විහරණය උදෙසා අලුත් යාන වාහන ගෙන්වීම සඳහා රුපියල් කෝටි ගණනින් විදේශ විනිමය වැය කරනවා. නමුත් සාමාන්‍ය ජනතාවගේ ජීවිත එදිනෙදා පවත්වා ගෙන යාමට අවශ්‍ය භාණ්ඩ ඇතුළත් බොහෝ ආනයන මේ වන විට සීමා කොට තිබෙනවා. අද සාමාන්‍ය වාහනයකට තබා කම්පියුටරයකට පවා අවශ්‍ය අමතර කොටස් සපයා ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා කල් නොයවා එම අභියෝගයටද සාර්ථක පිළිතුරක් සපයා නොගත හොත් මේ රටේ ජනතාවගේ ජීවිත තව තවත් දුක්ඛිත තත්ත්වයකට පත් විය හැකියි.
රටේ ආර්ථිකය මේ ආකාරයට දවසින් දවස දුර්වල වෙමින් කඩා වැටීමේ අනතුරක පවතිද්දී, GSP+ අපට අහිමි වුව හොත් ඒ මගින් සිදු වන්නේ රටේ ආර්ථිකය කබලෙන් ලිපටද ඇද වැටීමයි. ඒ වගේම රටේ නිශ්පාදන ආර්ථිකය දැවැන්ත පසු බෑමකට ලක් විය හැකියි. මේ වන විට විවිධ නිශ්පාදන සහ සේවාවන් හි නියුතු අති විශාල පිරිසකට ඒ මගින් රැකියා අහිමි විය හැකියි. විශේෂයෙන්ම ඇඟළුම්, තේ, ධීවර ඇතුළු නිශ්පාදන සහ කර්මාන්ත ගණනාවක්ම ඒ මඟින් දැඩි පසු බෑමකට ලක් විය හැකියි.
ඒ නිසා ශ්‍රී ලංකාව වගකීමකින් යුතුව කටයුතු කරන රාජ්‍යයක් බවට අප මේ මොහොතේ ප්‍රදර්ශනය කළ යුතුව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා ආණ්ඩුව යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කළ යුතුව තිබෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කරන බවට පැහැදිලි සහතිකයක් ලෝකයට ලබා දිය යුතු වෙනවා. යුරෝපා සංගමය නියෝජනය කරන සෑම රටක්ම අපගේ මිත්‍ර රාජ්‍යයන් බව කිව යුතුයි. එක් එක් රටවල් ලෙස ගත් විට හෝ සංගමයක් ලෙස ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහි වන්නේ නැත. නමුත් වඩා යහපත් ලෝකයක් සඳහා ඔවුන් ඉහළින්ම පිළි ගන්නා නිර්ණායකවලට ඔවුන් ගරු කළ යුතු වෙනවා. ඒ බව අපද පිළි ගත යුතුයි. අපේ ඉතිහාසය සහ සංස්කෘතිය අනුවද එකී නිර්ණායකයන් අපට ද ඉතාමත් වටිනාකම් ගෙන දෙන බව අප පිළි ගත යුතුයි.
ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම, සිවිල් පාලන ව්‍යුහයන් ශක්තිමත් කිරීම, අල්ලස හෝ දූෂණ පිටු දැකීම, මානව ගරුත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වැනි එකී වටිනාකම් තහවුරු කරන ප්‍රමාණයට රටත් රටේ ජනතාවත් ආරක්ෂා වන බව අප තේරුම් ගත යුතුයි. නිදහසින් පසු රටක් ලෙස අප ද පිළි ගත් එවැනි අගයන්ටද ජාත්‍යන්තර මට්ටමෙන්ද ඉහළ පිළි ගැනීමක් පවතිනවා. නමුත් මෑත කාලයේ සිදු වූ ඇතැම් අමිහිරි සිදුවීම් නිසා එම වටිනාකම්වලට බරපතළ හානියක් සිදුව තිබෙනවා.
රට පිළි ගත් ජනමාධ්‍යවේදීන් සහ දේශපාලකයන් ඝාතනයට ලක්වීම පිළිබඳව අද වන තෙක් අප රටේ නීතිය ක්‍රියාත්මක වූයේ නැහැ. රාජ්‍ය භාරයේ සිටි සිර කරුවන් තොග පිටින් ඝාතනයට ලක්වීම පිළිබඳව රටක් වශයෙන් අප ලැජ්ජාවට පත් විය යුතු නැද්ද..? පොලිස් භාරයේ සිටින සිරකරුවන් සැඟවූ ආයුධ පෙන්වීමට යාමේදී ඝාතනය වන තත්ත්ත්වය රටක් ලෙස අප යුක්ති සහගත කරන්නේ කෙසේද..? ඇතැමුන් ඊට දක්වන හේතුන් මේ රටේ ජීවත් වන කුඩා දරුවෙක් පවා පිළි ගන්නවාද..? රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ ශානි අබේසේකර මහතාට සැලසුම් සහගතව සිදු කර ඇති අයුක්තිය සලකා බැලීමේ දී මේ රටේ වගකිව යුතු රාජ්‍ය නිලධාරීන්ට පවා සිදු කර ඇති අනතුර ඉතාමත් සාහසික බව පැහැදිලි වනවා.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින් දේශපාලන පක්ෂයන්ගෙන්ද සමන්විත පක්ෂග්‍රාහී කොමිෂන් සභා ක්‍රමයක් ස්ථාපිත කිරීම ලෝකය හමුවේ යුක්ති සහගත කළ හැකිද..? එවැනි තත්ත්වයක් මත නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත් වෙනු ඇතැයි ජාත්‍යන්තර ප්‍රජාව අතර විශ්වාසයක් ගොඩනැගේවිද..?
විශේෂයෙන්ම ඊනියා ජනාධිපති කොමිෂන් සභා නිර්මාණය කරමින් දූෂණ චෝදනා එල්ල වෙද්දී දේශපාලකයන්ද ඇතුළු සිය සහචර චෞරයන් නීතියෙන් නිදහස් කර ගන්නට කටයුතු කරන විට නීතියේ ආධිපත්‍ය පිළිබඳ විශ්වාසයක් ජාත්‍යන්තර ප්‍රජාව අතර ගොඩනැගේවිද..? දේශපාලන පළි ගැනීම් පිළිබඳ උපාලි අබේරත්න කොමිෂන් සභා වාර්තාව අගමැතිතුමාගේ නමින් පාර්ලිමේන්තු පුස්තකයේ තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකු වශයෙන් එම වාර්තාව ඉවත් කර ගැනීමට අගමැතිතුමාට හැකියාව තිබෙනවා.
මේ අතර දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්නය ද අධිකරණ ක්ෂේත්‍රයේ වගේම සබුද්ධික සමාජයේත් පුළුල් අවධානයට ලක් විය යුතුයි. එහි ඇත්ක ප්‍රශ්නයක් තිබෙනවා. ඇතැම් පුද්ගලයන් වසර 10/15/20 වැනි කාල පරාසයන් තිස්සේ චෝදනා ගොනු කිරීම පවා නොකර රඳවා තබා ගෙන සිටිනවා. ඇතැම් අවස්ථාවලදී උත්තර අධිකරණය පවා ඒ ගැන වග කිව යුත්තන් වෙත සිය අවධානය යොමු කර තිබෙනවා. එමෙන්ම ඔවුන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව යුරොපා පාර්ලිමේන්තුවේ පවා සාකච්ඡා වී තිබෙනවා. ඇතැම් පොලිස් නිලධාරින්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපයන් හේතුවෙන් එවැනි තත්ත්වයන් ඇති විය හැකියි. යම් උසස් පුද්ගලයන්ගේ බලපෑම් නිසාද එවැනි දෑ සිදුවිය හැකියි. ඒ අනුව දේශපාලන සිරකරුවන්ට අදාළව යුක්තිය ඉටු විය යුතුයි. එහෙත් දේශපාලන සිරකරුවන්ට මුවා වී අපරාධකරුවන්ට අධිකරණ එකඟත්වයකින් තොරව කිසිඳු ආකාරයේ සමාවක් ලබා දිය යුතු නැහැ.
එමෙන්ම GSP+ සහනය පිළිබඳව නැවත සලකා බැලීමට යුරෝපා සංගමය ගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්දය දී ඇති මන්ත්‍රීවරුන් 628 දෙනා අපගේ මිත්‍ර රාජ්‍යයන් බවද ඔවුන් එකඟ නොවන්නේ අවනීතියට සහ මානව සාරධර්මයන්ට පිටුපෑම කෙරෙහි පමණක් බවට අප තේරුම් ගත යුතු වෙනවා.
සමස්තයක් වශයෙන් ගත් කළ රට දේශපාලනිකවද, ආර්ථික සහ සමාජීය වශයෙන්ද ඇද වැටෙමින් පවතිනවා. එම ප්‍රපාතයෙන් අපට ගොඩ ආ හැක්කේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙන් පමණයි. ජනතාවගේ අයිතිවාසිකම් සහ නිදහස තහවුරු කිරීමෙන් පමණයි. රටේ සාමය සහ ජන ජීවිතයේ ආරක්ෂාව සහතික වනු ඇත්තේ රට එවැනි මාවතකට යොමු වුව හොත් පමණයි.
ඒ සඳහා ගත යුතු පළමු පියවර වන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිර්මාණය කර ගෙන ඇති අත්තනෝමතික සහ ඒකාධිකාරී බලය සීමා කරමින් රටේ ව්‍යවස්ථාදායකයට වග කියන, බහුතර ජනතාවගේ සාමූහික නියෝජනයක් සහිත ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීම මගින් පමණයි. මැතිවරණ, පොලිස්, රාජ්‍ය සේවා, මානව හිමිකම් සහ අල්ලස් හෝ දූෂණ කොමිසන් සභා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් මත ශක්තිමත් කරමින් ස්වාධීන කිරීම මගින් පමණයි. දිනෙන් දින මිලිටරිකරණයට රට යොමු කර වමින් ශ්‍රී ලංකාව මියන්මාරයක් බවට පත් කිරීමේ අනතුරුදායක මාවතින් බැහැර වී රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාවර ලෙස තහවුරු කිරීම මගින් පමණයි. අවසාන වශයෙන් රටේ සමස්ත බලය එක් පුද්ගල හස්තයකට ගොනු කරවීමේ ප්‍රතිවිපාක අත්විඳිමින් සිටින සහ අත්විඳ ඇති අප ඒ බව තේරුම් ගනිමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලිමේ තීරණාත්මක අධිෂ්ඨානයෙන් සමස්ත රටම ඒ සඳහා පෙළ ගැස්ස විය යුතුයි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අඛණ්ඩවම යුක්තිය සාධාරණය රජයන රටක් වෙනුවෙන් පෙනී සිටින බවත් ඒ සඳහා සියලු පාර්ශ්ව සමග එක්සත්ව මැදිහත් වන බවත් ප්‍රකාශ කරන අතර අප ඒ සඳහා යොමු වන්නේ කිසිදු බල දේශපාලන ඉලක්කයක් මුල් කර ගනිමින් නොවන බවද අවධාරණය කරනවා.