අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

"ඕනෑම මොහොතක" සාකච්ඡා කිරීමට උතුරු කොරියාව සූදානම්..!

"ඕනෑම මොහොතක" සාකච්ඡා කිරීමට උතුරු කොරියාව සූදානම්..!

"කුමන හෝ ආකාරයකින් ඕනෑම මොහොතක" ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා සිදු කිරීමට තවමත් සූදානම් බව උතුරු කොරියාව පවසයි. උතුරු කොරියාව ඒ බව ප්‍රකාශ කළේ නායක කිම් ජොන්ග් අන් සමග පැවැත්වීමට…

"කුමන හෝ ආකාරයකින් ඕනෑම මොහොතක" ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග  සාකච්ඡා සිදු කිරීමට තවමත් සූදානම් බව උතුරු කොරියාව පවසයි.

උතුරු කොරියාව ඒ බව ප්‍රකාශ කළේ නායක කිම් ජොන්ග් අන් සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හදිසියේ අවලංගු කරනු ලැබීමෙන් අනතුරුවය.

උප විදේශ අමාත්‍ය කිම් ක්යේ-ග්වාන් (Kim Kye-gwan) කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප්ගේ එම තීන්දුව "අතිශය ශෝකජනක" බවය.

උතුරු කොරියාවේ "විවෘත එදිරිවාදී බව" හේතුවෙන් ඉහත කී සාකච්ඡාව අවලංගු කළ බව ජනාධිපති ට්‍රම්ප් පැවසීය.

ට්‍රම්ප්-කිම් සාකච්ඡාව, ඇමරිකානු ජනාධිපතිවරයෙකු උතුරු කොරියානු නායකයෙකු සමග එක්ව අසුන්ගෙන සිදු කරනු ලබන පළමු හමුව වීමට නියමිතව තිබිණි.

President Trump addresses North Korea tensions

ජුනි 12 වෙනිදාට යෙදී තිබුණු හමුව පිළිබඳ තොරතුරු පැහැදිලි නොමැතිමුත්, කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම සහ කලාපීය උණුසුම අවම කිරීම පිළිබඳ එහිදී අවධානය යොමු වීමට ඉඩ තිබිණි.

ජනාධිපති ට්‍රම්ප් විසින් සකච්ඡාව අවලංගු කරන බව නිවේදනය කරනු ලැබීමට පැය කීපයකට පෙර උතුරු කොරියාව කියා සිටියේ තමන් පොරොන්දු වූ පරිදී සිය එකම න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානයේ උමං පුපුරවා හරින ලද බවය.

සාකච්ඡාව අවලංගු කරන බව ජනාධිපති ට්‍රම්ප් විසින් නිවේදනය කරනු ලැබුවේ නායක කිම් වෙත පෞද්ගලිකව යොමු කරන ලද ලිපියක් මගිනි.

පසුව තවදුරටත් කරුණු පැහැදිලි කරමින් ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ උතුරු කොරියාව "සද්භාවය ඉතා අඩුවෙන් පෙන්නුම් කර" ඇති බවය.

View image on Twitter

සාකච්ඡාවට පෙර උතුරු කොරියානු රාජ්‍යතාන්ත්‍රිකයන් හමුවීම සඳහා ධවල මන්දිර කාර්යමණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා සිංගප්පූරුව වෙත යැවීම ඇතුළුව උතුරු කොරියාව විසින් "පොරොන්දු මාලාවක් කඩකොට ඇති" බව ඉහත කී නිලධාරියා මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

"උතුරු කොරියානුවන් එහි පැමිණියේ නැහැ. ඔවුන් අපව රස්තියාදු කෙරෙව්වා"

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව නායක කිම් වෙත යොමු කරන ලද ලිපියේ "සෑම වචනයක්ම ජනපති ට්‍රම්ප්ගේ අණ පරිදි" සඳහන් කළ බවත් ඔහු කියා සිටියේය.

උතුරු කොරියානු නායකයා වෙත යොමු කරන ලද ලිපියේ ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ "කිසියම් දිනෙක" උතුරු කොරියානු නායකයා හමුවීමට තමන් අපේක්ෂා කරන බවය.

"අවාසනාවකට, ඔබ විසින් වාඩාත් මෑතකදී නිකුත් කරන ලද නිවේදනයෙන් පෙන්නුම් කර ඇති උග්‍ර කෝපය සහ විවෘත එදිරිවාදී බව මත පදනම්ව දීර්ඝ ලෙස සැලසුම් කෙරුණු සාකච්ඡාව මේ මොහොතේ පැවැත්වීම සුදුසු නොවන බව මට හැඟෙනවා" යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් නායක කිම් වෙත යොමු කළ ලිපියේ දැක්වේ.

"ඔබ, ඔබේ න්‍යෂ්ටික හැකියාවන් පිළිබඳ කතා කරයි. එහෙත් අපේ න්‍යෂ්ටික හැකියාව කෙතරම් බලවත් ද සුවිශාල ද යත් ඒවා කිසි දිනෙක භාවිත කිරීමට නොලැබේවායි මම දෙවියන් යදින්නෙමි" යනුවෙන් ද ඔහු සිය ලිපියේ සඳහන් කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප් සිය ලිපිය අවසන් කරන්නේ, සිය අදහස වෙනස් කරගතහොත් දුරකථනයෙන් තමන් අමතන මෙන් නායක කිම් ජොන්ග් අන් වෙත යෝජනා කරමිනි.

U.S. President Donald Trump (L) welcomes South Korean President Moon Jae-in at the White House in Washington, 22 May 2017.

ධවල මන්දිරයේදී පසුව නිවේදනයක් නිකුත් කළ ජනාධිපති ට්‍රම්ප් විසින් සාකච්ඡාව අවලංගු කිරීමට ගත් පියවර හඳුන්වනු ලැබුවේ උතුරු කොරියාව සහ ලෝකය ලැබූ "දැඩි පරාජයක්" ලෙසය. උතුරු කොරියාවේ ඕනෑම "නොසැලකිලිමත්" පියවරකට ප්‍රතිචාර දැක්වීම සඳහා "අවශ්‍ය වුවහොත්" ඇමරිකානු හමුදා සූදානමින් සිටින බවත් එම නිවේදනයේ සඳහන් විය.

සිය පාලනය විවේචනයට ලක් කර, සාකච්ඡාව පිළිබඳ සැක පහළ කරමින් උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් නිකුත් කළ නිවේදනයකට ජනාධිපති ට්‍රම්ප් ප්‍රතිචාර දැක්වූ බවක් පෙනෙන්නට තිබේ.

උතුරු කොරියාව "ලිබියාව වැනි අවසානයක් දකිනු" ඇති බව අඟවමින් ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් (Mike Pence) කළ ප්‍රකාශය චෝ සොන්-හුයි (Choe Son-hui) විසින් හඳුන්වනු ලැබුවේ "මෝඩ" ප්‍රකාශක් ලෙසය.

පසුගිය දශකයක කාලය තුළ ඇමරිකාව සමග වාර කීපයක්ම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කර ඇති චෝ සොන්-හුයි සාකච්ඡා කිරීම සඳහා උතුරු කොරියාව "දණින් නොවැටෙන" බව පැවසුවාය. එමෙන්ම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කෙරෙන උත්සාහයන් අසාර්ථක වුවහොත් "න්‍යෂ්ටික බලය ප්‍රදර්ශනය කිරීමක් " සිදුවිය හැකි බවට ද ඇය අනතුරු ඇඟ වූවාය.

සිය රට ලිබියාව සමග සැසඳීම උතුරු කොරියාවේ කෝපයට හේතු වී තිබේ.

ලිබියාව මෙන් නොව තමන් සම්පූර්ණයෙන්ම වර්ධනය වූ න්‍යෂ්ටික රාජ්‍යයක් බව උතුරු කොරියාව පවසයි.

සිය නායකත්වය කඩාකප්පල් කරවන හෝ රාජ්‍යයක් වශයෙන් පැවතීමට බාධා එල්ලවන කුමන ආකාරයේ හෝ සාම ක්‍රියාවලියකට තමන් සම්බන්ධ නොවන බවට උතුරු කොරියාව දැඩි ස්ථාවරයක පසුවේ.

Hwasong missiles are displayed during a military parade in honour of the 100th birthday of the late North Korean leader Kim Il-Sung in Pyongyang on 15 April 2012.

සාකච්ඡාව ඉදිරියට නොයාම සම්බන්ධයෙන් තමන් "දැඩි ලෙස වික්ෂිප්ත" වී ඇති බවත් එය "ඉතාමත් කණගාටුදායක" බවත් දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් පවසයි.

න්‍යෂ්ටික අවි බිම තැබීමට පවතින ඉඩකඩ පිළිබඳ සාකච්ඡා කිරීමට නායක කිම් සූදානම් බව ඇමරිකාව වෙත පළමුව දන්වනු ලැබුවේ දකුණු කොරියානු බලධාරීන් විසින්ය. ඒ මේ වසර ආරම්භයේදීය.

පසුව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් අතර ඓතිහාසික හමුවක් අප්‍රේල් මස පැවැත්විණි.

(බී.බී.සී සිංහල සේවය)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
"ඕනෑම මොහොතක" සාකච්ඡා කිරීමට උතුරු කොරියාව සූදානම්..! | Lanka Newsweek