ඒකාධිපති විධායකය ගැන දේශපාලන පක්ෂ සිය මතය වහාම රටට කිව යුතයි

මහා ජනතාවගෙන් 87%ක් ඒකාධිපති විධායකට විරුද්ධයි "ඒකාධිපති විධායකය ඕනෑ යැයි කියන කිසිවෙකු මට නම් හමු වී නැහැ" කරූ ජයසූරිය අවධාරණය කරයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ද නැද්ද යන්න පිළිබඳ සිය මතය…
මහා ජනතාවගෙන් 87%ක් ඒකාධිපති විධායකට විරුද්ධයි
"ඒකාධිපති විධායකය ඕනෑ යැයි කියන කිසිවෙකු මට නම් හමු වී නැහැ"
කරූ ජයසූරිය අවධාරණය කරයි
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ද නැද්ද යන්න පිළිබඳ සිය මතය අවංකව රටට-ජනතාවට පැහැදිලිව ඉදිරිපත් කරන්නැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන සියලුම වග කිව යුතු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි.
කරූ ජයසුරිය මහතා රටේ සියලු දේශපාලන පක්ෂවලින් මෙම ඉල්ලීම කර සිටියේ, "විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ විද්වත් කතිකාව" යන තේමාව යටතේ කොළඹ දී පැවති විශේෂ සම්මන්ත්‍රණයේ දී ය.
විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමට පක්ෂව අති බහුතර ජන මතයක් රටේ තිබෙන නිසා එම විධායක ජනාධිපති පදවිය සම්බන්ධයෙන් ඒ ඒ දේශපාලන පක්ෂ දරන මතය දැන ගැනීම ඡන්ද දායකයින්ට අතිශය වැදගත් වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
දැන්වීම
විධායක ජනාධිපති පදවිය ඇති කිරීමට පෙර සහ ඊට පසු රටේ පැවති දේශපාලන, ආර්ථික සහ සමාජයීය පසුබිම ඍජු අදහස් සහ යෝජනා ඉදිරිපත් කරමින් කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියේ, ජනාධිපති පදවිය හඳුන්වා දීමට පෙර පැවති තත්ත්වය හා සැසදීමේදී විධායක ජනාධිපති පදවියේ හොඳ පැත්තක් සේම එහි බරපතළ අඩු පාඩු රැසක් ද තිබෙන බවය.
විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම සහ එහි බලතල අඩු කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක අවස්ථාවක් 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා උදා වූ බව ද ඔහු සිහිපත් කළේය.
"17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු විවිධ වෙනස්කම් ඇති වුණා. රාජ්‍ය සේවා කොමිසම සහ පොලිස් කොමිසම ඇතුළු ස්වාධීන කොමිසන් සභා පිහිටු වීමට හැකි වුණා. ඒ හරහා සමාජයේ ධනාත්මක පරිවර්තනයක් සිදු වුණා" යනුවෙන් ද කරු ජයසූරිය මහතා සඳහන් කළේය.
එනමුත් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපස්සට හැර වූ අතර ඒ හේතුවෙන් රාජ්‍ය සේවය ඇතුළු සමස්ත දේශපාලන සහ සමාජයීය ක්‍රියාවලියම පිරිහීමට ලක්වූ බව පෙන්වා දුන් කරු ජයසූරිය මහතා ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ තිරසර සහ පැහැදිලි වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට මාදුළුවාවේ සෝහිත නා හිමියන් නායකත්වය ගත්තේ එම පසුබිම යටතේ බව ද කියා සිටියේය.
"ඊට පස්සේ 18 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය ආවා. මේ සමඟ රාජ්‍ය සේවය ඇතුළු සමස්ත සමාජයම බරපතළ ලෙස විනාශ වුණා. රාජ්‍ය සේවයට දැඩි හානියක් සිදු වුණා. මේ විනාශය දැක්ක නිසා තමයි ගෞරවණීය මාදුළුවාවේ සෝහිත ස්වාමීන් වහන්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ව්‍යායාමය වෙනුවෙන් කැප වුණේ. ඒ උන්වහන්සේගේ 70 වැනි ඡන්ම දිනයේදී. එදා උන්වහන්සේ ප්‍රකාශ කළා, උන්වහන්සේගේ ජීවිතයේ ඉතිරි කාලය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් සම්පූර්ණයෙන් කැප වෙනවා කියලා. උන්වහන්සේගේ වචනය එදා සමාජය පිළි ගත්තා" යැයි ද හෙතෙම අවධාරණය කළේය.
2015 ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම තීරණාත්මක යෝජනාවක් වූ නමුත් එම පොරොන්දුව ඉටු කර ගැනීමට යම් යම් හේතු නිසා නොහැකි වුවත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සැලකිය යුතු ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට අවස්ථාව උදා වූ බව ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පෙන්වා දුන්නේය.
ගෙවුණු වකවානුවේ සිදු කෙරුණු ජනමත සමීක්ෂණ මගින් හෙළි වී ඇත්තේ මහා ජනතාවගෙන් 87%ක් විධායක ජනාධිපති පදවිය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ සිටින බව යැයි හෙළි කළ කරු ජයසූරිය මහතා විධායක ජනාධිපති පදවිය තව දුරටත් තබා ගත යුතු යැයි කියන කිසිවෙකු තමාට නම් හමුවී නැතැයි ද සඳහන් කළේය.
විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම ගැන රට අභ්‍යන්තරයේ මහා ජන මතයක් ඇති විය යුතු අතර දේශපාලන පක්ෂ ද මේ සම්බන්ධ සිය පැහැදිලි ස්ථාවරය හෙළි කළ යුතු යැයි ද දේශබන්දු කරු ජයසූරිය මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.