ඒකාධිපති රටක ජීවත් වනවාට වඩා කොරෝනාවෙන් මිය යාම සැපයි

අත් පා හකුළුවා ගෙන බියෙන්-සැකයෙන් ජීවත් වන්නේ කුමකට ද..? ආණ්ඩුව කොරෝනාව දකින්නේ වසංගතයක් නොව වසන්තයක් ලෙසයි GSP + අහිමි වුණොත් රට කපෝතියි සතොස කඩා අරක්කු ගැනීම සේනාධිනායකයාට අගෞරවයක් එක නීතියක් නොව…
අත් පා හකුළුවා ගෙන බියෙන්-සැකයෙන් ජීවත් වන්නේ කුමකට ද..?
ආණ්ඩුව කොරෝනාව දකින්නේ වසංගතයක් නොව වසන්තයක් ලෙසයි
GSP + අහිමි වුණොත් රට කපෝතියි
සතොස කඩා අරක්කු ගැනීම සේනාධිනායකයාට අගෞරවයක්
එක නීතියක් නොව නීති ගොඩක් ඇති රටක්

(සුජිත් මංගල ද සිල්වා)
රට වැනසූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තහවුරු කර ගත් ඒකාධිපති සහ කුරිරු පාලනය යටතේ අත් පා හකුළුවා ගෙන බියෙන්-සැකයෙන් ජීවත් වනවාට වඩා කොරෝනා වසංගතයෙන් මිය යාම සැනසිලිදායක යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කර ජයසූරිය මහතා කියා සිටියි.
එහෙත් එවැනි ඉරණමක් මේ රටේ ජනතාවට අත් නොවනු දැකීම සිය ඒකායන ප්‍රාර්ථනාව බව පෙන්වා දෙන කරු ජයසූරිය මහතා, ආණ්ඩුව කොරෝනාව සලකන්නේ මර්දනය කළ යුතු වසංගතයක් ලෙස නොව, සිය ඒකාධිපති බලය රැක ගැනීමට සහ පවත්වා ගෙන යාම සඳහා උදා වූ වසන්තයක් ලෙසට යැයි ද චෝදනා කර සිටියි.
දැන්වීම
දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී බදාදා (16) සංවිධාන කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
අප රට මේ වන විට මුහුණ දෙමින් සිටින්නේ ඉතාමත් බරපතළ සහ දැවැන්ත අර්බුදයකටයි. ඒ මාරාන්තික කොරෝනා වසංගතය මුළු රට ම ගිල ගෙන තිබෙන තත්ත්වය හමුවේයි. එහෙත් රටේ වත්මන් දේශපාලන බලධාරීන් එම අර්බුදය සලකන්නේ සිය බලය රැක ගැනීමට සහ පවත්වා ගෙන යාම සඳහා උදා වූ වසන්තයක් ලෙස විනා වහා මර්දනය කළ යුතු වසංගතයක් ලෙස නොවෙයි.
රෝග බිය නිසා ජන ජීවිතයේ ඇති වී තිබෙන අක්‍රීය භාවය ජනතාව වීදි බැසීමේ අනතුර වළක්වා ගැනීමට ලැබී ඇති අවස්ථාවක් ලෙස සලකන බලධාරීන් කොරෝනා දුරු කළ යුතු වසංගතයක් ලෙස දකින්නේ නැහැ. වසංගතය පාලනය කිරීම සඳහා මෙතෙක් ගත් සෑම උත්සාහයක් ම අසාර්ථක වීමට බලපා ඇති කරුණු විමසා බැලීමේදී එවැනි සැකයක් ජනතාව අතර ඇති වීම පුදුමයට කරුණක් නොවේ.
මේ තත්ත්වය ගැන අපට ඇත්තේ බලවත් කම්පාවක් වන අතර මේ අවස්ථාවේදීවත් රජය මේ අනතුර නිවැරදිව හදුනා ගත යුතුයි. රටක් ලෙස අප මේ අභියෝගයට සාර්ථකව මුහුණ දීමට නම් රටේ සමස්ත ජනතාවගේ ජීවිතවලට නිසි ආරක්ෂාවක් ලබා දිය යුතුමයි. ඒ සඳහා සියලුම පාර්ශවයන්ගේ එකඟත්වයකින් යුතුව පුළුල් ජාතික වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැගීම අත්‍යවශ්‍යම වනවා. එසේ නොවුණ හොත් මේ රටේ මිනිස් ජිවිත දහස් ගණනක් බිලි දීමේ විපාකය කවදා හෝ අදාළ වගකිව යුත්තන්ට ද විඳ ගන්නට සිදු වනවා නොඅනුමානයි.
සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය ලෙස මේ මොහොතේ අප මේ කරුණු කියන්නේ රටේ උද්ගත වී තිබෙන මෙම තත්ත්වය ගැන බලධාරීන්ට පෙන්වා දීමට සහ බලධාරීන් මේ වන විට මේ රට තල්ලු කරමින් සිටින දැවැන්ත ප්‍රපාතයේ ගැඹුර ජනතාවට තේරුම් කර දීමටයි. මේ වන විට රටේ නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වය ජන ජීවිතයට පමණක් නොව රටේ ඉදිරි ආරක්ෂාවට ද බරපතළ ප්‍රතිවිපාක ඇති කර වන බව කිව යුතුයි.
ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පමණක් නොව රටේ ආර්ථිකය ද මේ වන විට කඩා වැටෙමින් පවතිනවා. ජීවන වියදම උසුලා ගත නොහැකි තරමට ඉහළ ගොස් තිබෙනවා. නීතියේ ආධිපත්‍යය සහ ඒ මඟින් ජනතාවට ලැබිය යුතු රැකවරණය සැළසුම් සහගතව අවතක්සේරු කරමින් සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයන් අක්‍රිය කරමින් අත්තනෝමතිකත්වය රජ කරවමින් යනවා. අද මේ රටේ ගොවියාට වගා කිරීමට පොහොර නැහැ. දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ධීවරයා අසරණ කර තිබෙනවා. රාජ්‍ය ආයතන බොහොමයකම විධිමත් ලෙස වැඩ කටයුතු කෙරෙන්නේ නැහැ. සියල්ල තීන්දු කරන්නේත්, මෙහෙය වන්නේත් එකම එක තැනකිනුයි. එවැනි තත්ත්වයක් උදා වී ඇත්තේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ලබා ගත් ඒකාධිපති බලය නිසයි.
ඒ අතර අපේ විදේශ ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාව ශිෂ්ට සම්පන්න ලෝකයෙන් ඈත් කරවමින් තිබෙනවා. මෙම තත්ත්වය මේ රටේ සමස්ත ආර්ථිකයට කණකොකා හඩ වන පසුබිමක් නිර්මාණය කරවමින් තිබෙනවා. ඊට හොඳම උදාහරණය වන්නේ මීට දින කිහිපයකට පෙර යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව මඟින් ගත් තීරණයයි. මේ වන විට අප රටේ පවත්නා තත්ත්වය අනුව "GSP-ප්ලස්" බදු සහනය අහිමි කරන්නට ඔවුන් කටයුතු කළ හොත් ඒ මඟින් රටට ඇති කර විය හැකි ප්‍රතිඵලය අප සියල්ලන් ම නිවැරදිව අවබෝධ කර ගත යුතුයි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ බුද්ධි මණ්ඩලය තක්සේරු කර ඇති ආකාරයට ඒ මඟින් රටට බරපතළ ප්‍රතිඵල අත්කර දීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.
GSP බදු සහනය අපේ රටේ ආර්ථිකයට සැලකිය යුතු මට්ටමේ වැදගත් දායකත්වයක් ලබා දෙනවා. ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට භාණ්ඩ අපනයනය කිරීමෙන් ලබා ගන්නා ආදායම යුරෝ බිලියන 2.8 ක් වෙතැයි ගණන් බලා තිබෙනවා. අප රටේ අපනයනවලින් 30%ක් ම සිදු කරන්නේ යුරෝපා රටවලටයි. අපේ රටේ ඇඟළුම් නිශ්පාදනවලින් 60%ක් ම අලෙවි කරන්නේ ඔවුන්ටයි. එම ඇඟළුම් වෙළෙඳාම සැලකිය හැකිකේ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වෙළෙඳ පොළ ලෙසටයි.
මේ වන විට ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ රටවලට අපනයනය කරන භාණ්ඩ අතර ඇඟළුම් නිශ්පාදන, රබර් ආශ්‍රිත නිෂ්පාදන, එළවළු, තේ, මත්ස්‍ය ආහාර, සුරතල් මසුන්, ටයර්-ටියුබ්, පොසිලේන් භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, දියමන්ති-මැණික්-ස්වර්ණාභරණ, අත් යන්ත්‍ර රෙදි පිළි සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඇතුළු අයිතමයන් රැසක් තිබෙනවා. අපේ රටේ නිශ්පාදනයන් ද ඇතුළු කර්මාන්ත කරුවන් GSP සහනය යටතේ මොනතරම් වාසියක් ලබා ගනිමින් සිටිනවාද යන්න ඒ අනුව තේරුම් ගත හැකියි.
මෙම සහනය මුලින් ම අපට ලැබුණේ සුනාමි ව්‍යසනයෙන් පසුවයි. එනම් 2005 වසරේදීයි. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී මේ රටේ සිදු වූ ඇතැම් අමිහිරි සිදුවීම් සහ විශේෂයෙන් ම 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීම වැනි කරුණු හේතුවෙන් 2010 වසරේදී එම GSP බදු සහනය අපට අහිමි වුණා.
එහෙත් 2015 වසරේ දී බලයට පත් රජය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කිරීමත් සමඟ 2017 වසරේ දී නැවත එම සහනය ශ්‍රී ලංකාවට හිමි වුණා. එම GSP බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා එවකට සිටි අග්‍රාමාත්‍යවරයා සේම තවත් අමාත්‍යවරුන් ගණනාවක් ම ගනු ලැබූ උත්සාහය මෙහි දී අපට සිහිපත් වනවා. යුරෝපා රටවල පාර්ලිමේන්තු සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පත්වා ගෙන ගිය සුහද සම්බන්ධතා නිසා අවස්ථා ගණනාවකදී ම අපත් ඊට මැදිහත් වුණා. රාජ්‍යතාන්ත්‍රිකයන් ගණනාවක් සමඟ අපත් මේ ගැන සාකච්ඡා කරනු ලැබුවා. අද වන විට අපට නැවතත් අහිමි වීමට යන්නේ එදා ඒ ආකාරයට බලවත් වෙහෙසක් දරමින් සාමූහිකව අප ලබාගත් එම ජයග්‍රහණයයි.
මෙහිදී ශ්‍රී ලංකාවේ ජනතාව අමතක නොකළ යුතු කරුණක් ද තිබෙනවා. එනම් අපේ රටේ පාලකයන්ගේ අත්තෝනෝමතික ක්‍රියා සහ අදූරදර්ශීකම නිසාම අපට අහිමි වූ මේ ආකාරයේ වරප්‍රසාද දකුණු ආසියාවේ ඇතැම් රටවල් අත්පත් කර ගත් බවයි. බංගලාදේශය මේ සඳහා දැක්විය හැකි උදාහරණයක් වනවා. බංගලාදේශය සහ පිලිපීනය වැනි රටවල් ඇඟළුම් කර්මාන්තයෙන් බොහෝ ඉදිරියට ගොස් සිටින්නේ ඒ ආකාරයටයි. මේ වන විට අප රටේ සේවක පිරිස් සහ කළමණාකරුවන් විශාල පිරිසක් බංගලාදේශයේ රැකියාවන් කරනවා.
අපේ රටේ බුද්ධිමත් ජනතාව මේ කාරණවට අදාළව විමසා බැලිය යුතු වැදගත්ම දේ වන්නේ ශ්‍රී ලංකාවට ලබා දෙමින් සිටින "GSP-ප්ලස්" බදු සහනය ගැන නැවත සලකා බලන්නට යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව තීරණය කළේ කුමන හේතූන් පදනම් කර ගෙන ද යන්න පිළිබඳවයි. එම යෝජනාවට පක්ෂව ඡන්ද 628ක් ලබා දී තිබෙන අතර ශ්‍රී ලංකාව පිළිබඳව ලැදියාවකින් යුතුව ලබා දී ඇත්තේ ඡන්ද 15ක් පමණයි. මේ අතර පක්ෂව හෝ විපක්ෂව ඡන්දය නොදුන් සංඛ්‍යාව 42ක් වනවා.
එහෙම වුණේ ඇයි..? අප හොඳින් ම දන්නා ආකාරයට මේ කිසිම රටක් ශ්‍රී ලංකාවේ ජනතාවට විරුද්ධ නැහැ. එහෙත් අපේ රටේ පාලකයන්ගේ අත්තනෝමතික, අදූරදර්ශී සහ ජන හතුරු ක්‍රියා මාර්ගවලට ඔවුන් පක්ෂපාතීත්වයක් දක්වන්නේ නැහැ. ඒ සැබෑ තත්ත්වයයි. ඔවුන් අද විරුද්ධත්වය පළ කරන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමට එරෙහිවයි. එනම් මානව හිමිකම් ද ඇතුළු ජනතාවගේ මූලික අයිතිවාසිකම් මහ දවාලේ අමු අමුවේ ම උල්ලංඝනය කරමින් සිටින නිසයි. එම රටවල් මෙසේ කටයුතු කරන්නේ සහේතුකව බව මේ අනුව පැහැදිලි වන අතර ඒ සඳහා කරුණු ගණනාවක් ද ඔවුන් විසින් ම පෙන්වා දී තිබෙනවා.
එනම් මහා ජන මන්ත්‍රීවරුන්, නීති නිලධාරීන්, අවංක රජයේ සේවකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්, නීතිඥයින්, ලේඛකයන් සහ කවීන් නිසි නීතිමය ක්‍රියාමාර්ග සහ යුක්තිය සඳහා වන ප්‍රවේශයක් නොමැතිව අත්තඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටින නිසයි. එමෙන්ම පොලිස් භාරයේ සිටින සැකකරුවන් ඝාතනය කරන ප්‍රවණතාවයක් රටේ වර්ධනය වෙමින් පවතින නිසයි. රජයේ භාරයේ සිටින සිරකරුවන් වෙඩි තබා මරා දමන නිසායි. මේ අතර ස්වාධීන යැයි කියන කොමිෂන් සභාවලට ආණ්ඩුවේ සමහර දේශපාලන ක්‍රියාකාරීන් සහ හිතවතුන් පත් කිරීම කෙරෙහි ද යුරෝපා සංගමයේ අවධානය යොමුවී තිබෙනවා.
මෙම තීරණය ගැනීමට හේතු වූ කරුණු අතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ හිජාස් හිස්බුල්ලා වැනි අය මුහුණ දෙමින් සිටින තත්ත්වයන් ද බැරැරුම් ලෙස සැලකිල්ලට ගෙන ඇති බවත් පෙනී යනවා. මේ රටේ අවංක සහ අති දක්ෂ පොලිස් නිලධාරියෙකු ලෙස සැලකෙන ශානි අබේසේකර මහතාට කොවිඩ් රෝගය වැළදී තිබෙන අවස්ථාවක දී ඔහු බන්ධනාගාරයෙන් පිටතට ගෙන පොළොන්නරුවේ කන්දකාඩු කඳවුරට රැගෙන ගිය ආකාරයත්, බරපතළ හදවත් ශල්‍ය කර්මයකට මුහුණ දුන් දිනම ඔහු කොළඹ ජාතික රෝහලේ සිට පොලිස් රෝහල වෙත රැගෙන ගිය ආකාරයත් මේ රටේ ජනතාවට ද රහසක් නොවේ.
අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ හිර කර ගෙන සිටී ඔහුව මේ වන විට ඇප මත මුදා හැර ඇතත් අඩුම වශයෙන් අධිකරණයක් හමුවේ ඔහුට එරෙහිව නිශ්චිත චෝදනා ගොනු කර ඇත්තේ නැහැ. නිසැක වශයෙන් ම මෙම ක්‍රියාවන් අති අමානුෂික දුෂ්ඨ ක්‍රියාවන් බව කිව යුතුයි. පළි ගැනීමේ වුවමනාවෙන්ම කළ ක්‍රියාවන් ලෙස මේ සියල්ල සැලකිය හැකියි. මේ කරුණු නව නීතිපතිවරයාගේ ද අවධානයට යොමු යොමු විය යුතුයි.
මේ සියලු ක්‍රියාවන්ට අනුබල දෙන සහ ඒ ඔස්සේ සිය වරප්‍රසාද රැක ගන්නට කටයුතු කරන අපරාධ අංශයේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ද සිටින ආකාරයත් පෙනෙන්නට තිබෙනවා. ඔවුන් අද මේ කරමින් සිටින්නේ පොලිස් දෙපාර්තමේන්තුව ද රට ද හෑල්ලුවට ලක් කිරීමක් බව කිව යුතුයි. ඒ නිසා පොලිසියේ ගෞරවය සහ සිය අවංක නිලධාරීනගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස්පතිවරයා දැන්වත් කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. ඒ මේ රටේ ජනතාවගේ ද අපේක්ෂාවයි.
එමෙන් ම ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාට අත්කර දී ඇති කණගාටුදායක ඉරණම ගැන ද අප බලවත් ලෙස කම්පා වනවා. ඔහු සිය දෙපාර්තමේන්තුවෙන් පවරන ලද රාජකාරී අවංකව සහ නිසි ආකාරයට සිදු කළ අති දක්ෂ නීති නිලධාරීවරයෙකු ලෙස සැලකිය හැකියි. ඒ හේතුව නිසා ම අද ඔහුට වන්දි ගෙවීමට සිදු වී තිබේ. දේශපාලන පළි ගැනීම පිළිබඳ ඊනියා කොමිසමේ සභාපතිවරයා ඔහුට එරෙහිව එල්ල කර ඇති පදනම් විරහිත චෝදනා හේතුවෙන් ඇති කළ කම්පනය නිසා අද ඔහු බරපතළ රෝගියෙක් බවට පත්ව සිටිනවා. නව නීතිපතිවරයා හෝ ඔහු වෙනුවෙන් යුක්තිය ඉටු කරනු ඇත්දැයි අප බලා සිටිනවා.
ඒ වගේ ම අද මේ රටේ ජනතාවට නිදහසේ සිය අදහසක් පවා ඉදිරිපත් කිරීමට ඉඩක් නොදෙන තත්ත්වයක් ඇති කර තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ කරන අදහස් වාරණය කරන්නට කටයුතු කිරීම යනු ජනතාවගේ අදහස් සිර කර තබන්නට ගනු ලබන මර්දනකාරී උත්සාහයක් විනා කිසිවක් නොවේ. ශ්‍රී ලංකා පරිගණක සංසදයේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමද ඊට එක් උදාහරණයක් පමණයි. එපමණක් ද නොව සිවිල් ඇඳුමෙන් සැරසුන යම් පිරිසක් නිවසට පැමිණ ඔහුගේ මවට ද තර්ජනය කර ඇති බව අපට වාර්තා වනවා. එහෙත් ගරු අධිකරණය යුක්තිය වෙනුවෙන් පෙනි සිටිමින් ඔහු රිමාන්ඩ් භාරයට පත් කිරීම ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඒ පිළිබඳව ගරු අධිකරණයට අප අපගේ ගෞරවය පුද කර සිටිනවා. මෙවැනි සිද්ධීන් අසන්නට ලැබුණේ ඇඩොල්ෆ් හිට්ලර් වැනි බිහිසුනු ඒකාධිපති පාලකයන්ගේ යුගවලදීයි. ඇඩොල්ෆ් හිට්ලර් යටතේ පැවති " Gestapo" නම් වූ ම්ලේච්ඡ මිනීමරු කල්ලි මඟින් එවැනි ක්‍රියා සිදු කළ ආකාරය අප අසා තිබෙනවා.
මේ අනුව පෙනී යන්නේ යුරෝපා පාර්ලිමේන්තුව පවා මෙවැනි අකටයුතුකම් නොඉවසන බවයි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවද අපේ රට සහ ජනතාව මුහුණ දෙමින් සිටින තත්ත්වයන් ගැන විශාල හඬක් නගා තිබෙනවා. මේ අතර සමස්තයක් වශයෙන් ගත් කල්හි ඇතැමුන් අද මේ රටේ නීතිය විහිළුවක් කර ගෙන සිටිනවා.
අද මේ රටේ ක්‍රියාත්මක වන්නේ එක නීතියක් නොවේ. අඩුම වශයෙන් ආණ්ඩුවේ අභ්‍යන්තර කවයට අදාළව හෝ එම නීතිය සමානව ක්‍රියාත්මක වන්නේ නැහැ. මොරටුව නගරාධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වන නීතිය කුරුණෑගල බුවනෙක රාජ සභා මණ්ඩපය විනාශ කළ පුද්ගලයාට එරෙහිව ක්‍රියාත්මක වන්නේ නැහැ. අනුරාධපුර සතොස ආයතනයට අයත් අරක්කු ගබඩාවට ඇතුළු වූ හමුදා නිලධාරීන් පිරිසක් අරක්කු රැගෙන ගිය පුවතක් අප දුටුවා. එසේ නම් මේ රටේ නීතියක් තිබෙනවා ද..? සේනාධිනායකයා වන මේ රටේ රාජ්‍ය නායකයාට ද ඔවුන් කර ඇත්තේ බරපතළ අවමානයක් බව කිව යුතුයි. මෙවැනි සිදු වීම් පිළිබඳව රටක් ලෙස අප තව දුරටත් ඇස් කන් පියා ගෙන සිටිය යුතුද..? ඒ ගැන අප සියලු දෙනාම ගැඹුරින් කල්පනා කළ යුතු වනවා.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප මේ කරුණු ඉදිරිපත් කරන්නේ නීති ගරුක, යුක්ති ගරුක සහ ජනතාවට ගරුත්වයක් ලබා දෙන රටක් ගොඩනැගීම සඳහා අපට තිබෙන අවශ්‍යතාවය නිසයි. කිසිවකු අපහාසයට සහ අපහසුතාවයකට පත් කිරීමේ අවශ්‍යතාවයක් අපට ඇත්තේ නැහැ. එහෙත් මේ රටේ අනාගත පරපුරට හෝ යහපත් රටක් අප ඉතිරි කර යා යුතුයි. ඒ නිසා මේ රටේ බලධාරීන් මෙම කරුණු පිළිබඳව බුද්ධිමත්ව අවධානය යොමු කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනය මඟින් රටේ සමස්ත බලය එක හස්තයකට නතු කර ගෙන ඇති පසුබිමක මේ ආකාරයට සමස්ත රටම අවුල් වී ඇති බව දැන්වත් අප තේරුම් ගත යුතු වනවා. රට මේ ආකාරයට විනාශ කරමින් සිටින 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නිර්මිත ඒකාධිපති රාජ්‍යයක අත් පා හකුළුවා ගෙන ජීවත් වනවාට වඩා කොරෝනා රෝගය වැළඳී මිය යෑම වඩාත් සැනසිලිදායක බව මගේ හැඟිීමයි. එහෙත් එම ඉරණම මේ රටේ ජනතාවට අත් නොවනු දැකීම අපගේ ඒකායන ප්‍රාර්ථනාවයි.