අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප විශ්ව විද්‍යාල අචාර්යවරුන්ද අගමැතිව අත හරියි..!

එජාප විශ්ව විද්‍යාල අචාර්යවරුන්ද අගමැතිව අත හරියි..!

උදව් කළ අයට අගමැති සලකන්නේ මැටි පොල් කුඩු ගානට..! මහින්ද රාජපක්ෂ ගෙදර යවා කළේ වරදක් ද කියා හිතෙනවා..! අගමැතිට දේශපාලන-ආර්ථික දැක්මක් නැහැ..! (සූරිය සමරසිංහ) ආණ්ඩුව ගොඩනැගීමට උදව් කළ විශ්ව විද්‍යාල…

උදව් කළ අයට අගමැති සලකන්නේ මැටි පොල් කුඩු ගානට..!

මහින්ද රාජපක්ෂ ගෙදර යවා කළේ වරදක් ද කියා හිතෙනවා..!

අගමැතිට දේශපාලන-ආර්ථික දැක්මක් නැහැ..!

(සූරිය සමරසිංහ)

ආණ්ඩුව ගොඩනැගීමට උදව් කළ විශ්ව විද්‍යාල උගතුන් ඇතුළු සියලු පාර්ශවයන්ට අගමැතිවරයා සලකන හැටි දැක්කාම 2015 ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂ ගෙදර යවා කළේ වරදක් ද කියා සිතෙන්නේ යැයි ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයට මතවාදීව සහය දුන් විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට මැටි පොල් කුඩු ගානටවත් නොසලකන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යළි කවදාවත් උදව් නොකිරීමට විද්වතුන් බහුතරයක් තීන්දු කර ඇතැයි ද “lankanewsweek” වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් හෙතෙම අවධාරණය කළේය.

ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මෙසේ ද කීය.

 “මේ රටේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 4500ක් පමණ සිටිනවා.ඒ අතරින් එක්සත් ජාතික පක්ෂයට මතවාදීව සහය පළ කරමින් අවුරුදු 20ක් පමණ මුළුල්ලේ පක්ෂය,නායකයා සහ ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැප වී ක්‍රියා කළේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පනහකට අඩු පිරිසක් බව කිව යුතුයි.

එක්සත් ජාතික පක්ෂයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ලෙස අප එම පක්ෂය බලයට පත් වීමට පෙර එවකට විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා සමග මසකට වරක් රැස්වී සාකච්ඡා කරමින් මහින්ද රාජපක්ෂ රජයට එරෙහිව ක්‍රියා කළේ අපගේ ජීවිත සහ රැකියා අහිම්වීමේ අවදානම ද නොතකායි.

එහෙත් 2015 ජනවාරි 8 ජයග්‍රහණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන බොහෝ නායකයනුත් මේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් බත් පිඟානේ තිබෙන කරපිංචා වගේ පැත්තකට විසි කළ අතර මේ වන තුරුත් ඒ අයගේ රැස්වීමක්වත් කැඳවා නැහැ.

එදා මේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධීකරණය  කළේ කබීර් හෂීම් වැනි උගතුන් වන අතර අද වන විට ඒ අය එම වගකීම්වලින් ද ඉවත් කර එම විශ්ව විද්‍යාල උගතුන් නොවැදගත් සාධක ලෙස සලකා තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේදී මහ නුවර සංවිධානය කෙරුණු ඔහුගේ පළමු රැස්වීම පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂයට ස්ථානයක් තිබුණේ නැහැ.

ඒ අවස්ථාවේදී එම රැස්වීම පැවැත්වීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා ඔහු සතු උත්සව ශාලාවක් ලබා දුන් අතර එම රැස්වීමට චන්ද්‍රික බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පිරිසක් පැමිණියා.

එදා එම රැස්වීමට මහින්ද රාජපක්ෂගේ කල්ලියක් පහර දුන් අතර මිල්ටන් රාජරත්න මහතාගේ උත්සව ශාලාව ද විනාශ කෙරුණා.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා තමාට සිදුවූ පාඩුව සහ අසාධරණය ගැන කියා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිපි දෙකක් ලිව්වා.

නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිව්ව ලිපියට අදාළව ඔහුට අද වන තුරුත් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් පිළිතුරක් ලැබී නැහැ.ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඔහුට එවා තිබූ ලිපියේ සඳහන් වූයේ මේ සිද්ධියට අදාළව වන්දි ගෙවීම පිළිබඳව ඉදිරියේදී සලකා බලන බවයි.

කාලයක් වසා තිබූ එම උත්සව ශාලාව අවසානයේදී සිය මුලින්ම ප්‍රතිසංස්කරණය කර ගැනීමට එම මහාචාර්යවරයාට සිදු වුණා.එසේ වුණේ දේශපාලන හේතුන් මත එම ශාලාව විනාශ වුණු නිසා රක්ෂණ වන්දි ද ඔහුට නොලැබුණු නිසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව ශ්‍රී ලංකාවේ සිටින එකම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා වන්නේ මහාචාර්ය අමරසිරි සොයිසා මහතායි.එහෙත් ඔහුව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට පත් කර නැහැ.ඔහුට අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් නාමිකව ලබා දී අග්‍රාමාත්‍ය කාර්යාලයට සීමා කර තිබෙන අතර ඔහුගෙන් කිසිදු වැඩක් ගන්නේ නැහැ.

එක්සත් ජාතික පක්ෂ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති පී.එස්.එම්. ගුණරත්න මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිකම බලාපොරොත්තුවෙන් සිටියා.ඒ වගේම ඒ තනතුරට එතුමා සුදුසු නිසා ඒ තනතුර එතුමාට දෙන බවටත් ආණ්ඩුව පොරොන්දු වුණා.නමුත් අවසානයේදී එක්සත් ජාතික පක්ෂයට කිසිම සම්බන්ධයක් නොමැති පුද්ගලයකුට මේ ආණ්ඩුව එම තනතුර ලබා දුන්නා.

ආචාර්ය එඩ්වින් ගනේගම මහතා රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයකුට සීමා කර පැත්තකට කර තිබෙනවා.ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ පීඨාධිපති අනුර කුමාර මහතාටත් විශාල වශයෙන් අසාධාරනකම් සිදුව තිබෙන අතර ඔහුව ද නොසලකා හැර තිබෙනවා.

මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා එක්තරා උසස් අධ්‍යාපන ආයතනයක උප කුලපතිකම ඉල්ලා සිටියා.ඒ තනතුර ඔහුට නොදී මේ ආණ්ඩුව ඒ සඳහා  ආණ්ඩුවටම විරුද්ධ අයෙකු පත් කළා.පසුව ඔහු ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ උප කුලපතිකම ඉල්ලා සිටියත් ඒ තනතුරත් ඔහුට නොදී ඊට මහින්ද රාජපක්ෂලාට හිතවත් පුද්ගලයකු පත් කළා.

ජාතික අධ්‍යාපන ආයතනයේ සභාපතිකමට මහාචාර්ය අමරසිරි සොයිසා මහතාගේ නම යෝජනා වී තිබුණත් අවසානයේදී මේ ආණ්ඩුව ඒ තනතුර ඔහුට නොදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නොමැති පුද්ගලයකුට ලබා දුන්නා.

එමෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ උපදේශකයකු ලෙස පත් කර තිබෙන්නේ මේ වන විටත් අධ්‍යාපන ආයතනයක සභාපති ධූරය දරන මහින්ද රාජපක්ෂට හිතවත් ඩලස් අලහප්පෙරුමගේ අතිශය සමීප සගයකුයි.

විශ්ව විද්‍යාල උගතුන් සහ බුද්ධිමතුන් නොවැදගත් කොට්ඨාශයක් ලෙස සලකන මේ ආණ්ඩුව අපව පාවිච්චි කරන්නේ යම් ප්‍රශ්නයක් ඇති වුණාම ඒ සම්බන්ධයෙන් අපව යොදවා ජනමාධ්‍යට ප්‍රකාශ නිකුත් කරවා ගෙන ඒ අයගේ මඩ සෝදා ගැනීමට පමණයි.

උද්ගත වී තිබෙන මේ තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ විශ්ව විද්‍යාල ආචරයවරුන්ගේ සංගමය කැඳවා සාකච්ඡා කර ආණ්ඩුවේ ගමන් මග නිවැරදි කර ගන්න යැයි ඉල්ලමින් ද එසේ නොවුණොත් ආණ්ඩුවට සහය දැක්වීමෙන් වැළකී සිටීමට සිදු වන බව දන්වමින් ද   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අප විශේෂ ලිපියක් යොමු කර ඇතත් ඊට  මේ වන තුරුත් පිළිතුරක් ඒවා නැහැ.

මේ වන විට මේ ආණ්ඩුව වෙනුවෙන් කතා කිරීමට සහ කරුණු කාරණා තාර්කිකව ලියමින් ජනතාව දැනුම්වත් කිරීමට කිසිම විශ්ව විද්‍යාල ආචාර්යවරයකු ඇතුළු උගතුන් සහ බුද්ධිමතුන් ඉදිරිපත් වන්නේ නැහැ.

මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නේ මහින්ද රාජපක්ෂලා.ඒ අය රස්තියාදුකාර දේශපාලකයින් ලෙස අපේ අය හැන්දින්නුවට උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ වටිනාකම ඒ අය දන්නවා.

මේ තත්ත්වය යටතේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ එක්සත් ජාතික පක්ෂයට මතවාදීව සහය පළ කළ ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සංවාදයක් ආරම්භ කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ මහ මොලකරුවන්ගේ,උගතුන්ගේ,බුද්ධිමතුන්ගේ සහ රාජකීයයන්ගේ පක්ෂය කියා කිව්වාට මේ අය උගතුන්ට සහ බුද්ධිමතුන්ට සලකන්නේ මැටි පොල් කුඩු ගණනටයි.

මේ තත්ත්වය හමුවේ 2015 ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂව ගෙදර යවා අප කළේ ලොකු වරදක් බව කියන්නට අපට සිදු වෙලා තිබෙනවා.අපේ වචනය විශ්වාස කර මේ යහ පාලනය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරමින් මහින්ද රාජපක්ෂලා ගෙදර යවා වැඩ වරද්දා ගැනීමට සිදුවීම ගැන අප ඇත්තටම සමාජයෙන් සමාව ඉල්ලා සිටිය යුතු නැද්දැයි බොහෝ විට අපට සිතෙනවා.

විශ්ව විද්‍යාල උගතුන් ලෙස අප එදා මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධ වූයේ දුෂණ,වංචා සහ අක්‍රමිකතා මතයි.එ නමුත් ඒ හා සමානවම මේ ආණ්ඩුවටත් දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළිබඳ බරපතළ චෝදනා එල්ල වෙමින් තිබෙනවා.

රටේ ආර්ථිකය කඩා වැටිලා.පැහැදිළි සංවර්ධනයක් ඇත්තේ නැහැ.කැබිනට් මණ්ඩල සංශෝධනය තවමත් සම්පූර්ණ නැහැ.අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව කොට උඩ.රටේ නීතියක් නැහැ.පනතක් සම්මත කර ගන්න හැකියාවක් නැහැ.ඒ ඒ ආයතනවලට තවමත් සභාපතිවරුන් පත් කර නැහැ.

මේ තත්ත්වය හමුවේ රටක් ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද?දේශපාලනිකව ආණ්ඩුව අසමත්.අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන දැක්මකුත් ආර්ථික සහ සමාජීය දැක්මකුත් ඇත්තේ නැහැ.

එක්සත් ජාතික පක්ෂයට මේ ඉරණම අත් වූයේ ජයග්‍රහණයෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වටා රොක් වූ අර්ජුන් මහේන්ද්‍රන්ලා ඇතුළු මහ පොළවේ පය ගසා නොසිටින සිහින ලෝකවල ජීවත් වන  මිනිසුන්ගේ දුක,වේදනා,හද ගැස්ම සහ අවශ්‍යතා නොහදුනන අහසින් පහත් වූ පිරිස නිසයි.

මෙහෙම ගියොත් එක්සත් ජාතික පක්ෂයටත් අත් වන්නේ මහ ජන එක්සත් පෙරමුණට අත් වූ ඉරණමමයි.එසේ නොවෙන්න නම් එක්සත් ජාතික පක්ෂයේ තරුණ නායකයින් මේ තත්ත්වයට එරෙහිව නැගී සිටිය යුතුයි.

එක්සත් ජාතික පක්ෂයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ලෙස අප විකල්ප කණ්ඩායමක් හැටියට මේ වන විට ගොඩනැගෙමින් සිටින අතර අපේ ස්ථාවරය අප ඉදිරියේදී රටට ජනතාවට හෙළි කරනවා”

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න
එජාප විශ්ව විද්‍යාල අචාර්යවරුන්ද අගමැතිව අත හරියි..! | Lanka Newsweek