අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප මහ ගෙදරට යළි එන්නැයි රවීගෙන් සජබයට ආරාධනයක්

එජාප මහ ගෙදරට යළි එන්නැයි රවීගෙන් සජබයට ආරාධනයක්

එජාපය දෙකඩ කිරීම පසුපස කුමන්ත්‍රණයක් තිබුණා-ඊට හිටපු ජනපතිවරයෙක් වග කිව යුතුයි රාජ්‍ය සේවයේ කඩිනම් ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍යයි ජනපති ගෙන යන රට ගොඩනගන වැඩපිළිවෙළට සියලු පක්ෂ එක්විය යුතුයි…

එජාපය දෙකඩ කිරීම පසුපස කුමන්ත්‍රණයක් තිබුණා-ඊට හිටපු ජනපතිවරයෙක් වග කිව යුතුයි

රාජ්‍ය සේවයේ කඩිනම් ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍යයි

ජනපති ගෙන යන රට ගොඩනගන වැඩපිළිවෙළට සියලු පක්ෂ එක්විය යුතුයි

එජාප මහ ගෙදරට යළි එන්නැයි රවීගෙන් සජබයට ආරාධනයක්

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගය නියෝජනය කරන නායකයින් සියලු දෙනාටත් සාමාජිකයන්ටත් පරණ කෝන්තර අමතක කර එක්සත් ජාතික පක්ෂ මහ ගෙදරට ඇවිත් අලුත් රටක් හදන අලුත් ගමනට සහයෝගය ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා ආරාධනාවක් කරනවා.

හිටපු මුදල් අමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක රවී කරුණානායක මහතා මෙම අදහස් පළ කළේ "සිරස" නාලිකාවේ විකාශනය වූ "ඉලක්කය" වැඩසටහනට සහභාගී වෙමිනුයි.

දැන්වීම

අපේ රට ඉතා දරුණු ජාතික මට්ටමේ අර්බුදයකට මුහුණ දෙන බවත් එය ආර්ථික දේශපාලන හා සමාජ ගැටලුවලින් යුක්ත බවත් මෙම ජාතික අර්බුදයෙන් ගොඩ ඒමට නම් සියලු දෙනා එකට එකතු වී පොදු ජාතික ප්‍රතිපත්තියක් සහිත අලුත් වැඩපිළිවෙළට යා යුතු බවත් හිටපු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

මීට අමතරව රට මුහුණ දී සිටින ගැටලු කිහිපයක් සහ ඉදිරි දේශපාලන ගමන් මග පිළිබඳව මෙම වැඩ සටහනේ දී හිටපු අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කර සිටියා.

"පසුගිය වසර කිහිපය ට සාපේක්ෂව මේ වසර තුළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතා දරුණු ලෙස පරිහානියට පත්ව තිබූ ආර්ථිකය සහ දේශපාලන පරිසරය වෙනස් කොට මිනිස්සුන්ට හුස්මගෙන සැනසිල්ලේ ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් හදමින් පවතිනවා. 

රට පත්ව තිබූ තත්ත්වයට වඩා හොඳ මට්ටමක තිබුණත් මම විශ්වාස කරන්නේ නැහැ ජනතාවට සියලු දේවල් වලින් පරිපූර්ණ වෙලා තියෙනවා කියලා ජනතාව ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. 2048 වර්ෂය දක්වා අලුත් දියුණු රටක් හදන්න යන වැඩපිළිවෙළේදී ඉදිරි වර්ෂ කිහිපය තුල ජනතාවගේ ආර්ථිකය ගොඩනගා ගන්නා වූ අලුත් ක්‍රියාමාර්ග හඳුන්වා දිය යුතුව තිබෙනවා.

දේශපාලනික වශයෙන් භේදභින්නකම් අතහැර අලුත් රටක් දියුණු රටක් ගොඩනගන්න පක්ෂ පාට භේදයකින් තොරව එකමුතු විය යුතුව තිබෙනවා. ඒ නිසයි මම මුලින් කිව්ව වගේ සමගි ජන බලවේගයටත් ආයෙ මහ ගෙදරට එන්න කියල ආරාධනා කළේ. 

හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර වගේම පී හැරිසන් ගත්ත මග ගන්න කියලා මම සියලු දෙනාට ආරාධනා කරනවා. එනිසා මහ ගෙදරට නැවත එන්න කියලා. බොහෝ දෙනාට ගැටලුව තිබ්බේ රනිල් වික්‍රමසිංහට ජනපති වෙන්න බෑ කියලා එහෙම බොරු මතයක් හදලා කුමන්ත්‍රණය කරලා තිබ්බා. ඒත් අද එතුමා ජනාධිපති වෙලා. ඒ හින්දා අපි ඔක්කොටම අපිට 2020 ඡන්දය නොදුන් විසි නම ලක්ෂයක් වූ පාක්ෂිකයන්ටත් නැවත එකතු වෙන්න අවස්ථාව ඇවිල්ල තියෙනවා. එක්සත් ජාතික පක්ෂය දෙකඩ කළේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් මගින්. ඒකට හිටපු ජනපතිවරයෙකු වග කිව යුතුයි. නමුත් අද ඔක්කොටම තේරිලා තියනවා මොකද වෙලා තියෙන්නෙ කියලා. එනිසා අපි පරණ කෝන්තර අමතක කරලා රට වෙනුවෙන් වැඩ කළ යුතුයි.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ හැම වෙලේම රටේ ආර්ථිකය සහ අර්බුදවලින් බේරාගත් රට ගොඩ දාපු පක්ෂයක්. ඒ වගේම හැම ආගමකටම, සෑම ජන වර්ගයකටම, එකවගේ සලකපු පක්ෂයක්. නාගරික වගේම, ග්‍රාමීය ප්‍රජාවටත්, ජාති, ආගම්, කුල භේදයකින් තොරව මෙරට එක්සත් කළේත් එක්සත් කරන්නත් පුළුවන් යූඑන්පී එකට විතරයි.

මොකද මම එහෙම කියන්නේ අද මේ රට දියුණු කරන්න අත්‍යවශ්‍ය සාධකයක් තමයි සංහිඳියාව සහ සාමය. මේ රට ගොඩනගන්න හැමෝම එකතු කරන්න අලුත් බලවේගයක් අද ගොඩනගන්න අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ අලුත් බලවේගය හදන්න අලුතින් හිතලා අලුත් විදිහට වැඩ කරන්න ඕනේ ඒකට නායකත්වය දෙන්න සුදුසුම නායකයා තමයි වර්තමාන ජනාධිපති වරයා. විනාශකාරී,ජාතිවාදී දේශපාලනය වගේම අන්තවාදී වාමාංශික ව්‍යාපාරයත් මේ රට බිඳ වට්ටපු හැම මොහොතකම රට බේරා ගෙන ගොඩ ගත්තේ යූඑන්පී එක.

අද දාහත් ලක්ෂයක් ව සිටින රාජ්‍ය සේවය ගත්තහම මහජනතාවට ලොකු බරක් වෙලා තිබෙනවා. මොකද මහජන බදු මුදලින් තමයි ඔවුන්ට වැටුප් ගෙවන්න වෙලා තිබෙන්නේ.සමස්තයක් විදියට ගත්තම හොඳ රාජ්‍ය සේවකයින් සිටිනවා. නමුත් සියයට දෙකක් පමණ වූ දූෂිත නිලධාරීන් නිසා සමස්ත රාජ්‍ය සේවයම අකාර්යක්ෂම වෙලා තිබෙනවා. ඒ නිසා ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍යමයි. මම එහෙම කියන්නේ මහජනතාවට සේවය ලබාදීම ඉලක්ක කරගත් දියුණු රාජ්‍ය සේවයක් හදන්න එක තුලින් මහජනතාවට මිත්‍රශීලී වඩා හොඳ රාජ්‍ය සේවාවක් ලබා දෙන්න මේ තුළින් හැකි වෙනවා.

ලෝකයට ගැළපෙන ලෙස ලංකාව ගොඩ නැඟුවේ සහ වෙනස් කළේ හැම මොහොතකම එක්සත් ජාතික පක්ෂය. ඉන් ප්‍රධාන වෙන්නේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දීම. ඒකෙ අඩුපාඩු ඇති හැබැයි ඒක තමයි විසඳුම සිංගප්පූරුව මැලේසියාව විතරක් නෙමෙයි චීනය පවා අද එකට ගිහිල්ලා.

රටක් දියුණුවීමට නම් ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍යමයි. මහජනතාවට බරක් ඇති වෙලා තිබෙන පාඩු ලබන රාජ්‍ය ආයතන වලට ලබා දිය යුතු හොඳම විසඳුම ඒකයි. එහෙම නොවුණොත් වෙන්නේ අහිංසක ජනතාව හැමදාම මේවා නඩත්තු කරන්න බදු මුදල් ගෙවන්න සිද්ධ වෙන එකයි.

IMF එක කියන විදිහට අපි ප්‍රතිව්‍යුගත කිරීම අත්‍යවශ්‍ය නැහැ. සුද්දට ඕනි විදිහට නෙමේ අපේ ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කළ යුත්තේ ලංකාවට ඔබින ආකාරයටයි.එනිසා මම හිතන විදිහට මීට වඩා අපි විධිමත් සැලසුම් වලට යා යුතුයි. මොකද මම 2016 මුදල් අමාත්‍යවරයා විදිහට දින සියයේ වැඩපිළිවෙළ තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ එනිසා ප්‍රායෝගිකව මම දන්නවා කරන්න ඔනි විදිහ. අපි රාජ්‍ය සේවකයින්ට රුපියල් දහදාහක වැටුප් වැඩි කළේ ආදායම උපයාගෙනයි. අනෙකුත් සහන ලබා දුන්නෙත් අන්න ඒ විදියටයි. ඒ නිසා ඉදිරි වර්ෂය තුළ අපි එවැනි වැඩපිලිවෙලකට යා යුතුයි. වර්තමාන ජනාධිපතිවරයාට ඒක කරන්න පුළුවන් ශක්තිය කියනවා එනිසා අපි සියලු දෙනා ඒකට සහයෝගය ලබා දීමයි කළ යුත්තේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
එජාප මහ ගෙදරට යළි එන්නැයි රවීගෙන් සජබයට ආරාධනයක් | Lanka Newsweek