එජාපය විනාශ කිරීමට Duplicate දේශපාලන පක්ෂවලට බැහැ

ජනාධිපතිවරණයේ දී ගත් ඡන්ද ලක්ෂ 55 මහා මැතිවරණයේ දී ලක්ෂ 27 ට අඩු වුණා ඇත්තටම මේ "Duplicate" කාරයින්ට තිබෙන්නේ ඡන්ද ලක්ෂ 22යි -රවී කරුණානායක- වසර 75ක් පැරණි එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට කිසිදු…
ජනාධිපතිවරණයේ දී ගත් ඡන්ද ලක්ෂ 55 මහා මැතිවරණයේ දී ලක්ෂ 27 ට අඩු වුණා
ඇත්තටම මේ "Duplicate" කාරයින්ට තිබෙන්නේ ඡන්ද ලක්ෂ 22යි
-රවී කරුණානායක-

වසර 75ක් පැරණි එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට කිසිදු පදනමක් නොමැති "Duplicate" දේශපාලන පක්ෂවලට හැකියාවක් නැතැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරු 700කට පත්වීම ලිපි ප්‍රධානය කිරීම වෙනුවෙන් "සිරිකොත" පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවය අමතමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
දැන්වීම
සමහර පිරිස් මීට වසර කිහිපයකට කලින් එක්සත් ජාතික පක්ෂය දියාරු කරන්නට උත්සාහ කළා. නමුත් අපේ පක්ෂය ඒ විදිහටම තියෙනව. අපේ පක්ෂයේ තනි අලියෙක් ජනාධිපතිවෙලා ඉන්නවා. අපේ පාක්ෂිකයන් නැවත පක්ෂයට ඒකරාශී වෙන්න පටන් අරන් තිබෙනවා. තව දවස් එකසිය විසි පහකින් මේ රටේ ජනාධිපතිවරණයක් තිබෙනවා. අපේ රටේ නිර්පාක්ෂික අපේක්ෂකයා විදිහට අපි ඉදිරිපත් කරන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසුගිය මාස තිහ ඇතුළේ මේ රටේ විශාල විප්ලවයක් ඇති කළා.
මාස විසිපහකට පෙර මේ රටේ විදුලිය තිබුණේ නැහැ. ඉන්ධන තිබුණේ නැහැ. ප්‍රවාහනය තිබුණේ නැහැ. ගෑස් තිබුණේ නැහැ. අද ඒ සියල්ල වෙනස් ආකාරයට වෙනස් කරලා තිබෙනවා. ජන ජීවිතය අමාරු වුණත් එදා තිබුණ තත්ත්වයට වඩා යහපත් කරලා නීති ගරුකව රට පාලනය කරන තත්ත්වයකට පත්කරල තිබෙනවා.
ඩුප්ලිකේට් දේශපාලන පක්ෂ මාර්ගයෙන් වසර 75ක් පරණ එක්සත් ජාතික පක්ෂය නැති කරන්නට බෑ. අවසන් ජනාධිපතිවරණයේදී අපේ අපේක්ෂකයාට ලක්ෂ පනස් පහක් පමණයි ඡන්ද ලබා ගැනීමට හැකියාව තිබුණෙ. ඉන් මාස හයකට පසුව තිබෙන මහා ජන්දයේදී එක්සත් ජාතික පක්ෂය දිය කරන්නට හදපු ඒ අයගේ ඡන්ද ලක්ෂ 55 ලක්ෂ 27 ට අඩු වෙනවා. සියලුම මුස්ලිම් දෙමළ ඡන්ද සියල්ල ගත්තහම ලක්ෂ විසි දෙකක පමණ ඡන්ද ප්‍රමාණයක් පමණයි සත්‍ය වශයෙන්ම ලබා ගැනීමට හැකියාව ලැබිලා තිබෙන්නේ.
ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ලක්ෂ තිහක් නිහඬ වුණා. නැවත වර්තමාන ජනාධිපතිවරයා නිසා ඡන්ද ලක්ෂ තිහක් අවදි වෙලා තිබෙනවා. අපි නැවත අපේ වැරදි හදා ගෙන අලුත් ගමනක් ආරම්භ කරලා තිබෙනවා. අපි දෙයක් හිතන්නට අවශ්‍ය වන්නේ දිනන්නට ප්‍රථම මිසක් ජයග්‍රහණය කළාට පසුව නොවෙයි. ඒ නිසා ඉදිරි දින 105 දී අපි මහන්සි වෙලා වැඩ කරලා, අපේ ජනාධිපතිවරයා නැවත පත් කිරීමෙන් පසුව තමයි අපි විරාමයක් ගත යුතු වන්නේ කියන එක මතක් කළ යුතුයි.
අපි නිර්පාක්ෂිකව සියලු දෙනාගේම සහයෝගය මේ මොහොතේ අපේක්ෂා කරනවා. අනෙක් දේශපාලන පක්ෂ සිහින ලෝකවල සහ අන්තවාදී ගමන්වල සිටිනවා. ජනාධිපතිවරයා ඉන්දුනීසියාවේදී ඉලෝන් මස්ක් මුණ ගැහුණා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගනුදෙනු කරන්න බැහැ කියපු අය කියන්න අර ගෙන තිබෙනවා ඉලෝන් මස්ක් කියන්නේ ආර්ථික ඝාතකයෙක් කියලා. මෙවැනි සංවර්ධන අපේක්ෂාවන් එක්ක වැඩ කරන මොහොතට විරුද්ධ වන අයට මේ රටේ අනාගතයක් තියෙනවද කියන කාරණය අපි සිතා බැලිය යුතු වෙනවා.