එක රටක්-එක නීතියක් වෙනුවෙන් තිබෙන නීති හොඳටම ප්‍රමාණවත්

ආණ්ඩුව කළ යුත්තේ රාජ්‍ය සේවයට-පොලීසියට-අධිකරණයට බලපෑම් නොකිරීමයි එක රටක්-එක නීතියක් තිබේ නම් රංජන් හිර බත් කයිද..? අය-වැයෙන් ජනතාවට සහන නැහැ ජාති වාදී-ආගම් වාදී ගැටුම් ඇති කරන කුමන්ත්‍රණයක්…
ආණ්ඩුව කළ යුත්තේ රාජ්‍ය සේවයට-පොලීසියට-අධිකරණයට බලපෑම් නොකිරීමයි
එක රටක්-එක නීතියක් තිබේ නම් රංජන් හිර බත් කයිද..?
අය-වැයෙන් ජනතාවට සහන නැහැ
ජාති වාදී-ආගම් වාදී ගැටුම් ඇති කරන කුමන්ත්‍රණයක්
ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණු රටකට අනාගතයක් නැහැ
එක රටක්-එක නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රටේ දැනට බලපවත්නා නීති රීති හොඳටම ප්‍රමාණවත් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.
පොලිසියට, රාජ්‍ය සේවයට සහ නීති අංශවලට බලපෑම් නොකරන්නේ නම් රටේ යුක්තිය සහ සාධාරණය රජයනු ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ද ආරක්ෂා වනු ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.
දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී බදාදා (17) සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
දැන්වීම
ගං වතුර සහ නාය යාම් ආදී ස්වාභාවික විපත් නිසා ඇතිවූ ජීවිත හානි සේම COVID වසංගත තත්ත්වය නිසා රෝගීන් සංඛ්‍යාව වැඩි වීම රටටත් ජනතාවටත් තදින්ම බලපෑම් ඇති කර තිබේ. ඊට අමතරව රජයේ කළමණාකාරීත්වයේ දුර්වලතා හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෑස්, සීනි සහ කිරිපිටි වැනි එදිනෙදා ජීවිතයට උපයෝගී වන භාණ්ඩ ද ලබා ගැනීම සඳහා ජනතාවට පැය ගණනක් පෝලිම්වල කල් ගෙවීමට සිදුව තිබෙනවා. මේ අනුව බලන විට ජන ජීවිතය පූර්ණ වශයෙන් අවුල් වෙලා.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් අසීමිත බලතල ලැබුණ ද මෙම ප්‍රශ්න විසඳීමට රජය අපොහොසත් වීම නිසා ජනතාව අතර විශාල කලකිරීමක් ඇති වී තිබෙනවා. ඊට අමතරව පොහොර ප්‍රශ්නය සැලැස්මක් නොමැතිව ක්‍රියාත්මක කිරීම නිසා මහා වියවුලක් බවට පත් වෙලා. සමහර ගොවීන් මේ කන්නයේ වගා නොකිරීම සහ රසායනික පොහොර නොමැතිකම නිසා ඵලදායීතාවය ශීඝ්‍ර ලෙස අඩුවී තිබෙනවා. විද්වතුන්ගේ මතය වන්නේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ 40% කින් පමණ අස්වැන්න අඩු වනු ඇති බවයි. මේ වන විටත් එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත්තේ පොහොර නොමැතිකම නිසා බව ගොවීන්ගේ මතයයි.
මේ අතර ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයෙන් ද ජීවන වියදම පිළිබඳව කිසිම සහනයක් ලැබී නැහැ. ඒ හේතුවෙන් ජනතා කනස්සල්ලට පත් වෙලා. අය වැය ගැන ශුභවාදී සහ අසුභවාදී අදහස් ගැන පාර්ලිමේන්තුවේදී වගේම බාහිර ජන සමාජයේ කරුණු සඳහන් වන නිසා ඒ ගැන දීර්ඝ විවරණයක් කිරීම අපගේ අදහස නොවේ.
නමුත් පොහොර ගැටලුව නිසා ඇතිවූ අස්වැන්න අඩුවීමට වන්දි ගෙවීම ගැන ක්‍රමවේදයක් සඳහන් නොකිරීමත්, අලි මිනිස් ගැටුම හේතුවෙන් ඇති වන භව භෝග විනාශය සම්බන්ධව විසඳුමක් ඉදිරිපත් නොවීමත්, අයවැයේ අඩුවක් ලෙස අප දකිනවා. ගොවීන්ට වන්දි ගෙවීම පිළිබඳව රජය දුන් පොරොන්දුව ඉටු කරනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.
ඉහත සඳහන් කළ කරුණු ගැන අවධානය යොමු කොට මනා කළමණාකාරිත්වයකින් අභියෝගවලට මුහුණ දිය හැකි බව අපගේ බලවත් විශ්වාසයයි. මේ අප කරන්නේ අසාධාරණ විවේචන නොව බිම් මට්ටමේ යථාර්ථය බව තේරුම් ගන්නා ලෙස බලධාරීන්ගෙන් අප ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
මේ සියලු කරුණුවලට වඩා අති භයානක ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඇති කර රට අස්ථාවර කිරීමට සහ විනාශ කිරීමට දරන උත්සාහයක් ගැනද වාර්තා ලැබෙමින් තිබෙනවා. මීට දින කිහිපයකට පෙර මුස්ලිම් ආගමික සිද්ධස්ථානයකට බෝම්බ ගැසූ බවට පළ වූ වාර්තා අප දුටුවා. මේ සිද්ධියේ යටි අරමුණක් ඇති බව පෙනී යනවා.
මහා විනාශයක පෙරනිමිති දුටු ශ්‍රී ලාංකේය ජනතාවගේ ජනාදරය සහ විශ්වාසය දිනා ගත් මහ තෙරුන් වහන්සේලා ඇතුළු මුස්ලිම් කතෝලික සහ හින්දු පූජක උතුමාණන් වහන්සේලා ගෙවුණු සතියේ දී රැස්වී සම්මන්ත්‍රණයක් පවත්වා රට ආරක්ෂා කිරීම උදෙසා ගත යුතු පියවර ගැන දීර්ඝ විවරණයක යෙදුණා. මේ සඳහා සිවිල් සමාජ සංවිධාන නියෝජනය කරමින් සම්භාවනීය බුද්ධිමතුන් රාශියක් ද සහභාගි වී සිටියා. සමුළුව අවසානයේ දී සියලු දෙනාගේම පූර්ණ එකගතාවයෙන් නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයේ මෙසේ සඳහන් වුණා.
"ශ්‍රී ලංකාවේ පුරවැසියන් ලෙස සියලුම ජාතීන් සහ ඔවුන් අයත් වන්නා වූ ආගමික අනන්‍යතාවයන්ට ගරු කරමින්, එකී ජාතීන් සහ ආගම් අතර සහජීවනය සහ යහ පැවැත්ම පළුදු කරන්නට උත්සාහ කරනු ලබන ඕනෑම අන්තවාදී දුෂ්ඨ බලවේගයක් පරාජය කරන්නට අවශ්‍ය වන්නා වූ දැක්ම සහ ධෛර්යය සමස්ත සමාජයේම පෝෂණය කිරීමේ ජාතික වගකීම පෙරටු කර ගනිමින් සහ ඒ වෙනුවෙන් කැප වීමෙන් පෙනී සිටින අප සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව ගෙන්ඉල්ලා සිටිනු ලබන්නේ, දේශපාලනික සහ අනෙකුත් උවමනාවන් මුල් කර ගනිමින් ජාතිවාදී සහ ආගම්වාදී පටු අරමුණු පෙරදැරි කර ගෙන ගොඩ නගන දුෂ්ඨ බලවේග පරාජය කරනු උදෙසා අධිෂ්ඨාන සහගතව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගෙන ඒ සඳහා යහපත් වූ දැක්මකින් යුතුව පෙරට එන ලෙසයි.
අපගේ මාතෘ භූමිය නිදහස් නිවහල් සාමකාමී සහ සමෘද්ධිමත් දේශයක් ලෙස ගොඩනැගීම උදෙසා ද ඒ මඟින් අපගේ මතු පරපුරට යහපත් රටක් උරුම කර දෙනු පිණිස ද වන අපගේ කැපවීම 2021 ක් වූ නොවැම්බර් මස 03 වන දින කොළඹ දී ප්‍රකාශයට පත් කරමින් මෙසේ සපථ කරන්නෙමු"
ජාතික ආගමික සමගිය සහ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම ගැන අප පුන පුනා සඳහන් කරන්නේ ජාති සහ ආගම් භේද වගේම දේශපාලන භේද ඇති ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වුණු රටකට අනාගතයක් නොමැති නිසයි. මේ දිනවල එක් රටක් එක් නීතියක් ගැන බලධාරීන් කතා කරනවා. මෑතකදී අප දුටු සිද්ධීන්වලින් තවමත් පෙනී යන්නේ බලය ඇති අයට බලය රැක ගැනීම සඳහා එක් නීතියකුත් බලය නැති අයගේ බලය තවදුරටත් සිඳලීම සඳහා තවත් නීතියකුත් බලපවත් වන ආකාරයයි. මෙම ක්‍රියාදාමය එළිපිටම සිදු වෙනවා. අති බහුතර ජනතාව මේ ක්‍රියාදාමය වටහා ගෙන සිටිනවා.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව නොදීම ගැන අප කිහිප අවස්ථාවකදීම කරුණු ඉදිරිපත් කළා. ඔහුගේ මුළු කලා ජීවිතයම මේ වන විට විනාශ වෙමින් පවතිනවා. ඔහු නැවතත් අසනීප වී ඇති නිසා මැගසින් බන්ධනාගාරයට මාරු කර ඇති බවට වාර්තා වුණා. මහා පරිමාණයේ අපරාධකරුවන්ට ජනාධිපති සමාව දී තිබියදීත් රන්ජන් රාමනායක මහතාට ද සමාවක් දීම මිනිස් යුතුකමක් ලෙසත් එක් රටක් එක් නීතියක් ක්‍රියාත්මක කිරීමේ ආදර්ශයක් බවත් කියන්නට කැමතියි.
අවස්ථා ගණනාවකදීම අප පෙන්වා දී ඇති පරිදි එක රටක්-එක් නීතියක් ක්‍රියාත්මක කිරීමට දැනට බලපවත්නා නීති රීති හොඳටම ප්‍රමාණවත් වනවා. පොලිසියට, රාජ්‍ය සේවයට සහ නීති අංශවලට බලපෑම් නොකරන්නේ නම් රටේ යුක්තිය සාධාරණය ඉටු වේවි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වේවි. ජනතාවට මූලික අයිතිවාසිකම් ලැබේවි.
විපක්ෂය කොළඹ දී අඟහරුවාදා (16) සංවිධානය කළ විරෝධතාවයට උසාවි නියෝග ද අභිභවා ඊට බාධා එල්ල කිරීම ද එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස අප දකිනවා.ජනතාව කෙරෙහි විශ්වාසය තබන, ජනතාවගේ ආශිර්වාදය ලබන කිසිදු රජයක් එවැනි දේ නොකරන බව කිව යුතුයි. මෙවැනි සිදුවීම්වලින් රජයට සහ ජනාධිපතිවරයාටද අපකීර්තියක් ලැබෙන බව සඳහන් කළ යුතුයි.