අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එක රටක් එක නීතියක් නැහැ-කුහකම විතරයි

එක රටක් එක නීතියක් නැහැ-කුහකම විතරයි

සියල්ල දේශපාලනීකරණය වෙලා රට විනාශයි-මිනිස්සු අනාථයි විදේශ විනිමය ප්‍රශ්නය අමාත්‍යංශ පිට පටවා රජයට අත පිස දා ගන්න බැහැ මේ අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදවා ගත යුතුයි රටේ ක්‍රියාත්මක වන්නේ එක රටක්-එක…

සියල්ල දේශපාලනීකරණය වෙලා 

රට විනාශයි-මිනිස්සු අනාථයි 

විදේශ විනිමය ප්‍රශ්නය අමාත්‍යංශ පිට පටවා රජයට අත පිස දා ගන්න බැහැ

මේ අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදවා ගත යුතුයි  

රටේ ක්‍රියාත්මක වන්නේ එක රටක්-එක නීතියක් නොව දේශපාලන හේතූන් මත ගන්නා අසාධාරණ තීන්දු-තීරණ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

විදේශ විනිමය ප්‍රශ්නය හේතුවෙන් මුළු රටම සහ සමස්ථ ජන ජීවිතයම අර්බුදයට ලක්ව ඇතැයි ද, ඊට නිසි විසඳුම් නොදී එම ප්‍රශ්නය අමාත්‍යංශ පිට පටවා රජයට අත පිස දා ගැනීමට නොහැකි යැයි ද හෙතෙම කියා සිටියේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී බ්‍රහස්පතින්දා (20) සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ බව කියා සිටී දේශබන්දු කරු ජයසූරිය මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කියා සිටියේය.    

දැන්වීම

ජාතික වැදගත්කමින් යුත් කරුණු කිහිපයක් ගැන නැවත නැවතත් රජයේ බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට සිදුවී තිබෙනවා. මේ රටේ දැන්වත් ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමට අවශ්‍ය නම්, අනිවාර්යෙන්ම 20 වෙනි සංශෝධනය අහෝසි කරමින් සියලු පුරවැසියන්ට පිළි ගත හැකි ගෞරවනීය ව්‍යවස්ථාවක් බිහි කිරීමේ අවශ්‍යතාවය අප පුන පුනා සඳහන් කළා.

මේ කරුණු අප කියන්නේ කට කහනවට නෙවෙයි. මෙහිදී අපගේ අවංක පරමාර්ථය වන්නේ නිදහස ලබා අවුරුදු 73 කට පසුව හෝ නැවතත් අප රටේ ජනතාවට අහිමි වූ යුක්තිය, සාධාරණය, සමගිය සහ යහ ජීවන තත්ත්වය නැවත ලබා දීමයි. එම කාර්ය භාරය පවතින රජයක යුතුකමක් වනවා. පසුගිය අඟහරුවාදා අතිගරු ජනාධිපතිතුමන් විසින් දෙවන පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කළ අවස්ථාවේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට පියවර ගෙන ඇති බවට සඳහන් කළා.

මෙහිදී අප රජයට පෙන්වා දෙන්නේ යෝජිත ව්‍යවස්ථාව ජනතාව සහ පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් විනා, රජය පත් කළ නියෝජිතයින් විසින් සකස් කරන ව්‍යවස්ථාවක් නොවිය යුතු බවයි. මෙරට බහුතරයක් එම ක්‍රමවේදය අනුමත නොකරන බව වගකීමෙන් යුතුව සඳහන් කරනවා. අප පසුගිය සතියේත් ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ රජයේ සැලසුම් ජනතාවට ඉක්මණින් දන්වන ලෙසයි. මෙහිදී රජය තවත් ප්‍රමාද වීම ඉතා අහිතකර බව පෙන්වා දෙමින් 2021 පෙබරවාරි 4 වනදා ට පෙර ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස රජයෙන් නැවත ඉල්ලා සිටිනවා. අප කතා කරන්නේ රජය ජනතාවට දුන් පොරොන්දු ගැනයි.

අප රටක් වශයෙන් වහා විසඳිය යුතු ගැටලු රාශියක් තිබෙනවා. අප මේ කරන්නේ හුදු විවේචනයක් නොවේ. මුළු ජන ජීවිතයම විදේශ විනිමය හිඟකමින් අද අවුල් වියවුල් වී ඇති බව වටහා ගත යුතුයි. නමුත් මේ සඳහා අවශ්‍ය පියවර තවමත් රජය විසින් ගෙන නැහැ. මේ තත්ත්වය ඉතා හානි කරයි. විදේශ විනිමය සහ ඩීසල් ඉල්ලා අමාත්‍යාංශය දෙකක් කඹ අදිනවා. සිදු විය යුත්තේ එවැන්නක් නොවෙයි. මේ අවස්ථාවේ විය යුත්තේ රජයේ මූලිකත්වයෙන් ගැටලුව නිරාකරණය කිරීමයි. එම ගැටලුව අමාත්‍යංශ දෙකට පවරා  රජයට අත් පිසදා ගන්න බැහැ. එහිදී මුදල් අමාත්‍යවරයාට විශාල වගකීමක් තිබෙනවා. 
යම් ආකාරයකින් ඉදිරි දින කිහිපයේ දී අපට මෙම උභතෝකෝටික ප්‍රශ්නය විසඳා ගත නොහැකි වුව හොත් රටේ ජන ජීවිතයත්, ආර්ථිකයත් නිෂ්පාදනයත් මුළුමනින්ම බිඳ වැටීමට ඉඩ තිබෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ වී තිබෙනවා. එහිදී පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදය සේම ඒ මඟින් සිදුක රන රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ ඉතා ඕනෑ කමකින් යුතුව අවධානයකින් සිටින ස්වාධින සිවිල් සමාජ ව්‍යාපාරයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශේෂ ඉල්ලීමක් කරන්නට කැමතියි. එනම් පාර්ලිමේන්තුව විසිරවීමත් සමඟ අහෝසි වූ සියලුම කාරක සභා වහා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා ඉතාමත් සුදුසු පුද්ගලයන්ද පත් කළ යුතු වෙනවා. 

අප එම ඉල්ලීම කරන්නේ දේශපාලන හේතුවක් මත නොව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, (COPE) රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPA) සහ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය වකවානුවේ දැඩි කැපවීමකින්, අපක්ෂපාතීව සහ ආදර්ශවත් ලෙස ක්‍රියා කළ ආකාරය අප අගය කරන නිසයි. පිළිවෙළින් එහි සභාපතිවරුන් වශයෙන් ක්‍රියා කළ මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය තිස්ස විතාරණ සහ අනුර යාපා මන්ත්‍රිතුමා වැනි අයගේ සේවය පාර්ලිමේන්තුවේ ඉදිරි කාලයේ ජනතාවට ලබා දිය යුතු බව අපගේ දැඩි මතයයි. කමිටු සාමාජිකයින් බොහෝ දෙනෙක් අතර ද දැඩි කැපවීමක් සහ උනන්දුවක් තිබුණා.

එක් රටක් එක් නීතියක් ගැන විශාල හඬක් නැගෙන මේ දිනවල ප්‍රවීණ, අහිංසක, එඩිතර කලාකරුවෙකු වූ රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලැබෙතැයි අප හුදෙක්  බලාපොරොත්තු වුණා. ගරු ජනාධිපතිතුමාට අවශ්‍ය නම් එළඹෙන නිදහස් දිනය නිමිති කර ගෙන ඒ සඳහා තීරණයක් ගත හැකියි. ගරු ජනාධිපතිතුමාට ඒ සඳහා සිත් පහළ වේවායි අප ප්‍රාර්ථනා කරනවා.

එහෙත් අපේ රටේ තවමත් ඇත්තේ එක් නීතියක් නොව දේශපාලන හේතූන් මත ගන්නා අසාධාරණ තීරණ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නොබියව ප්‍රකාශ කරනවා. දේශපාලන හේතු මත එක් එක් පුද්ගලයන්ට වෙනස් වෙනස් ආකාරයට සලකන විට අප ඒවා දකින්නේ මිනිස්කම් නැති කුහක පලි ගැනීම් ලෙසටයි. කරුණාකර මේ අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදා ගන්න. ඒ අපේ ඉල්ලීම සහ අපේක්ෂාවයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
එක රටක් එක නීතියක් නැහැ-කුහකම විතරයි | Lanka Newsweek