ඊ නිව්ස් මාධ්‍යවේදීයා අත්අඩංගුවට ගත් හේතු හෙළිදරව් කරනු

කීර්ති රත්නායකගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරනු අසාධාරණ-ප්‍රජාතන්ත්‍ර විරෝධී-ඒකාධිපති ක්‍රියාවක් (නිලන්ති මානෙල් චන්ද්‍රසේන) "lankaenews" ජනමාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමට තුඩුදුන් හේතු…
කීර්ති රත්නායකගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරනු
අසාධාරණ-ප්‍රජාතන්ත්‍ර විරෝධී-ඒකාධිපති ක්‍රියාවක්

(නිලන්ති මානෙල් චන්ද්‍රසේන)
"lankaenews" ජනමාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමට තුඩුදුන් හේතු රටට වහාම හෙළිදරව් කළ යුතු අතර ඔහුගේ ජීවිත ආරක්ෂාව සහතික කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම විශේෂ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
දැන්වීම
"lankaenews" (ලංකා ඊ නිව්ස්) ආයතනයේ ජනමාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව අපගේ බලවත් අවධානය යොමු වී තිබේ. ඔහුගේ නීතිඥයන් ප්‍රකාශ කරන අන්දමට කීර්ති රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමට තුඩු දුන් කරුණක් පිළිබඳව පොලීසිය විසින් නිශ්චිතව කිසිවක් සඳහන් කර නැත.
එහෙත් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පමණක් සඳහන් කර ඇත. එම තත්ත්වය ඉතාමත් භයානක ප්‍රවනතාවයකි. එබැවින් අප පොලීසිය ද ඇතුළු වග කිව යුත්තන්ගෙන් අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටින්නේ කීර්ති රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු ප්‍රථමයෙන්ම රටට හෙළිදරව් කරන ලෙසටය. එමෙන්ම ඔහුට එරෙහිව ඉදිරිපත් කළ හැකි චෝදනාවක් තිබේ නම් ඒ බව සඳහන් කරමින් අධිකරණයක් හමුවට යොමු කර වන ලෙසය. නොඑසේ නම් ඔහු නිදහස් කරන ලෙසය.
මේ පිළිබඳව ඔහුගේ නීතිඥයන් සහ ජනමාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට කීර්ති රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමට පසුබිම වී ඇත්තේ විදේශ දූත මණ්ඩල කාර්යාලයක ආරක්ෂාවට අදාළ කරුණක් අදාළ ආයතනය වෙත දැනුම් දීමය. එම කතාව එසේ නම් එම ක්‍රියාව පණිවුඩයක් ලබාදීමකි. තත්ත්වය එසේ වන්නේ නම් එම ක්‍රියාව සැලකිය හැක්කේ පණිවිඩකරුවකු අත්අඩංගුවට ගැනීමක් ලෙසටය. විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එවැනි අත්අඩංගුවට ගැනීමක් විමතිය දනවන කරුණකි. එමෙන්ම අසාධාරණ ක්‍රියාවකි. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි. ඒකාධිපති ක්‍රියාදාමයකි.
මේ රටේ ජනමාධ්‍යවේදින් බොහෝ දෙනෙකුට පසුගිය කාලයේ දී අත්ව ඇති ඛේදජනක ඉරණම සලකා බැලීමේදී මෙවැනි සිදු වීම් අප අතර මහත් තැති ගැන්මක් ඇති කරවයි. එමෙන්ම එවැනි ක්‍රියා තව දුරටත් ඒ ආකාරයෙන්ම සිදු වීමේ පෙර නිමිති පහළ වන්නේ ද යන සැකය අපට ඇති කරවයි. එබැවින් මේ පිළිබඳව සමස්ත සමාජයේම දැඩි අවධානය යොමු විය යුතුව තිබේ.
එබැවින් අප මේ මොහොතේ පොලීසිය ද ඇතුළු වග කිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ කීර්ති රත්නායක මහතාගේ ජීවිත ආරක්ෂාව සහතික කරමින් කටයුතු කරන ලෙසය. එමෙන්ම ඔහුට එරෙහිව නැඟිය හැකි සාධාරණ චෝදනාවක් වෙත් නම් නොපමාවම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසය. නොඑසේ නම් වහාම ඔහු නිදහස් කිරීමට කටයුතු කරන ලෙසය.