"ඉන්ෆ්ලුවන්සා" වසංගත භීතිකාවෙන් දකුණ කැළඹෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

ළමා මරණ පාලනයට වහාම පියවර ගනී..! පසුගිය මාසයක කාලසීමාව තුළ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවන් පස්දෙනෙක් මියගියේ වෛරසයක් ඇතුළුවීමෙන්ද යන්න නිශ්චිතවම…
ළමා මරණ පාලනයට වහාම පියවර ගනී..!
පසුගිය මාසයක කාලසීමාව තුළ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවන් පස්දෙනෙක් මියගියේ වෛරසයක් ඇතුළුවීමෙන්ද යන්න නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක පවසයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බව පවසන වෛද්‍ය ජයම්පති සේනානායක පවසන්නේ, එය පාලනය කිරිමට සියලු පියවර ගෙන ඇති බවය.
"මියගිය දරුවන්ගේ ලේ සාම්පල කොළඹ යවලා තියෙනවා. මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරලා ආරක්ෂිත පියවර රැසක් අරගෙන තියෙනවා," යනුවෙන් ද අධ්යක්ෂවරයා පැවසීය.
ඒ අනුව රෝගීන් නොවන දරුවන් වාට්ටු වෙත ඇතුළු වීම වලකා ඇති බවත්, අමුත්තන් පැමිණීම අවසර පත් ක්‍රමය මගින් සීමා කර ඇති බවත්, එසේ පැමිණීමට අවසර ඇති අයට සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට උපදෙස් දී ඇති බවත් වෛද්‍ය සේනානායක වැඩිදුරටත් පැවසීය.
මේ අතර දකුණු පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිමල් දිසානායක කියා සිටියේ, ඉන්ෆ්ලුවෙන්සා වෛරසය දකුණු පළාතේ පාසල් ආශ්‍රිතව පැතිර යාමේ අනතුරක් පවතින බවට සෞඛ්‍ය බලධාරීන් තමන් දැනුවත් කළ බවය.
රෝහලක ප්‍රතිකාර ලබන දරුවෙක් (සංරක්ෂිත ඡායාරූපයක්)
"සෞඛ්‍ය අංශ මෙය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කළා. අපි ඒ සම්බන්ධව දැනගත් මොහොතේ සිට පළාතේ පාසල් පද්ධතිය දැනුවත් කිරිමට කටයුතු කරමින් සිටිනවා," යනුවෙන් දකුණු පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා පැවසීය.
"අදාල විෂය සම්බන්ධ දැනුවත් අධ්යක්ෂවරයෙක් අපට සිටිනවා. ඔහු කැඳවලා ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදුන්නා."
දැනට පාසල් වැසිමේ අවදානමක් නොමැති බව ද පළාත් අධ්යක්ෂවරයා ප්‍රකාශ කළේය.
මේ අතර අඟහරුවාදා බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය, දකුණු පළාතේ පැතිරෙමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වය ඇතැම් විට එය වසංගත තත්ත්වයක් දක්වා වැඩි දියුණු විය හැකි බවය.
රෝගය ළමයින් අතර පැතිරීමේ ප්‍රවණතාව වැඩි බව සඳහන් කළ ඔහු පසුගිය දින කිහිපයේ දී කරාපිටිය රෝහලේ දී දරුවන් කිහිප දෙනකු මියයාම සහ මෙම ඉන්ෆ්ලුවෙන්සා වෛරසය අතර සම්බන්ධයක් තිබේ ද යන්න "මෙතෙක් තහවුරු කරගෙන නැතත් ඒ පිළිබඳව ද වැඩිදුර සොයා බලමින් පවතින" බව කියා සිටියේය.
රෝග ලක්ෂණ මොනවාද?
කිවිසුම් යාමේ වාර ගණන වැඩිවීම, උගුරේ තදබල වේදනාව, සෙම්ප්‍රතිශ්‍යා ස්වභාවය හා උණ ගැනීම ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයට ගොදුරු වූවෙකු ගේ ලක්ෂණ බව පෙන්වා දෙන පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා, එවැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම රජයේ රෝහලකට හෝ වෛද්‍යවරයකු හමුවී හෝ ප්‍රතිකාර ගන්නා ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.
රෝග ලක්ෂණ
-
කිවිසුම් යාමේ වාර ගණන වැඩිවීම
-
උගුරේ තදබල වේදනාව
-
සෙම්ප්‍රතිශ්‍යා ස්වභාවය
-
උණ ගැනීම
මෙම ඉන්ෆ්ලුවන්සා තත්ත්වය ආකාර තුනකට පැතිරෙන බව ඔහු සඳහන් කළේය; එනම් ඉන්ෆ්ලුවන්සා වෛරසය, ඇඩිනෝ වෛරසය, නියුමෝකොකල් බැක්ටීරියා තත්ත්වය යන ආකාරයටය. මෙවර එම ආකාර තුනේම සංකලනයක් දක්නට ලැබෙන බව ද වෛද්‍ය ජී විජේසූරිය පැවසීය.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ දැනට තංගල්ල, කඹුරුපිටිය හා කරාපිටිය ප්‍රදේශයන්හි වැඩිපුර රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවය. මේ පිළිබඳ දැනටමත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන් මාර්ගයෙන් දකුණු පළාතේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කර ඇති බව ද හෙතෙම පැවසීය.
කළ යුත්තේ කුමක්ද?
යම් අයකුට මෙම රෝගය වැළඳී ඇතැයි සැකයක් පවතින්නේ නම් සෙනඟ ගැවසෙන ස්ථානවලින් ඈත්වී සිටින ලෙසත්, දරුවන් නම් පාසල් නොයවන ලෙසත් සෞඛ්‍ය බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
රෝගය වැළඳී ඇත්නම් කළ යුත්තේ කුමක්ද?
-
සෙනඟ ගැවසෙන ස්ථානවලින් ඈත්වී සිටින්න
-
දරුවන් නම් පාසල් යවන්න එපා
-
කිවිසුම් යාමේ දී මුඛය ආවරණය කරගන්න
එමෙන්ම කිවිසුම් යාමේ දී මුඛය ආවරණය කරගන්නා ලෙස ද වෛද්‍යවරුන් විසින් දකුණු පළාතේ ජනතාවට උපදෙස් නිකුත් කර තිබේ.
දිස්ත්‍රික්කයේ උණ රෝගීන්ගේ වැඩිවිමක් දක්නට ලැබෙන අතර තත්ත්වය පාලනය කිරිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඒඩීයූ කරුණාරත්න පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද උණ රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඒපීආර් එස් චන්ද්‍රසේන බීබීසී සිංහල සේවයට පැවසීය. එහි වයස අවුරුදු 12 ට අඩු ළමුන් අතර රෝගය පැතිරීමේ වැඩිවීමක් ද දක්නට ලැබෙන බව ඔහු සඳහන් කරයි.
තංගල්ල මූලික රෝහලින් එක් ඉන්ෆ්ලුවෙන්සා රෝගියෙක් හඳුනාගෙන ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
(BBC සිංහල සේවය)
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

