අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉදිරි වසර සඳහා සහණ අයවැයක් ගේන්න - විපක්ෂ නායකගෙන් ප්‍රභල යෝජනාවක්

ඉදිරි වසර සඳහා සහණ අයවැයක් ගේන්න - විපක්ෂ නායකගෙන් ප්‍රභල යෝජනාවක්

විපතට පත් ජනතාවට සහන දෙන්න පවතින අයවැය යෝජනා වෙනස් කර නව අයවැයක් කඩිනමින් ගෙන එන්න ජනතාවට සහන දීමට අවශ්‍ය සියලු සහයෝගය අපි ලබා දෙන්නම් මේ මොහොතේ නියත වශයෙන්ම නව IMF එකඟතාවයකට පැමිණිය හැකියි - විපක්ෂ…

විපතට පත් ජනතාවට සහන දෙන්න පවතින අයවැය යෝජනා වෙනස් කර නව අයවැයක් කඩිනමින් ගෙන එන්න

ජනතාවට සහන දීමට අවශ්‍ය සියලු සහයෝගය අපි ලබා දෙන්නම්

මේ මොහොතේ නියත වශයෙන්ම නව IMF එකඟතාවයකට පැමිණිය හැකියි    

- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට යෝජනා කරයි -

සිකුරාදා අයවැය අනුමත කර ගන්න පෙර වත්මන් අයවැය ආපදාවෙන් පසු රටේ තත්ත්වයට සුදුසුද කියා සොයා බැලිය යුතු බවත් මේ අවස්ථාවේ කළ යුත්තේ අවතැන් වූ ලක්ෂ 15කට වැඩි ප්‍රමාණය ගැන සංවේදී වී තව දින ලබා ගෙන නව අයවැයක් කෙටිකාලීනව සකස් කර විපතට පත් ජනතාවට සහන සලසන ආපදාවට ලක් වූ ප්‍රදේශ ගොඩනගන අයවැයක් සකස් කිරීම බවත් තවදුරටත් විහිලු නොකර මේ  මහා විපතින් හානි වූ ජනතාවට සහන සලසන අයවැයක් කඩිනමින් සකස් කල යුතු බවත් දින කිහිපයක් ගෙන නව අයවැයක් සකස් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී දිට්වා සුළි කුණාටුව නිසා සිදු වූ විපත ගැන අදහස් දක්වමිනි.

ජාත්‍යන්තර ආධාර සමුළුව කැදවන්න විපක්ෂය සහාය දෙන්නම්

එසේම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවා විපතට පත් ජනතාවට සහන සැලසිය යුතු බවත් රජයට එය කළ නොහැකි නම් විපක්ෂය රජය වෙනුවෙන් එය කැදවීමට කටයුතු කර රටට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වීම

නව IMF ගිවිසුමකට යන්න

ඊට අමතරව නව අයි. එම්. එෆ් ගිවිසුමක් ඇති කර ගැනීමට සාකච්ඡා කළ යුතු බවත් ජනතා පීඩක ජන හිංසන අයි. එම්. එෆ් කොන්දේසි සමග ඉදිරියට යා නොහැකි නිසා කඩිනමින් අයි. එම්. එෆ් එකට සාකච්ඡා කළ යුතු බවත් රජයට නොහැකි නම් විපක්ෂය ද ඒ සදහා සහාය දෙන බවත් නව ගිවිසුම හරහා ජනතාවට සවියක් විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිර්දේශපාලනීකරණය වූ වැඩපිළිවෙළකට යන්න

මිනිසා ජීවත් කරවන්න මිනිසා රැකගන්න රට සංවර්ධනය කරන්න ආපදාවට පත්වූ ජනතාවට සහන දෙන්න නැති වූ ගොවිබිම් ටික සුරකින්න නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් නිර්දේශපානීකරණයට ලක් වූ ජාතික සංවර්ධන වැඩපිලිවෙළක් සදහා විපක්ෂය ද සහාය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හදීසි නීතිය උපයෝගී කර ගෙන මාධ්‍ය මර්දනය කරන්න එපා

හදීසි නීතිය උපයෝගී කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදය හකුලන වැඩපිළිවෙළකට නම් ඉඩ දිය නොහැකි බවත් හදිසි අවස්ථා ඇති කළේ ජනතාවට සහාය දෙන්න මිස මාධ්‍ය මර්ධනය කරන්න නොවන බවත් නීතිය හා සාමය ක්ෂේත්‍රය  භාර ඇමතිවරු මෙවැනි ප්‍රකාශ කරන බවත් මේ හදිසි නීතිය ගෙන ආවේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන්න නොව ජනතාවට සහන සලසන්න බවත් අද වන විට මේ හරහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට තර්ජන එල්ල වන බවත් මේ මර්දන රජය නැවැත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අවතැන් වූ ජීවිත අහිමි වූ සියලු දෙනා වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන්න

පාස්කු ප්‍රහාරය, කොවිඩ්, රට බංකොලොත් වීම, දිට්වා සුළි කුණාටුවත් එක්ක වසර 7ක් තුළ 4 වැනි ඛේදවාචකය ලෙස මෙය හැඳින්විය හැකි බවත් ‌මේ නිසා පවුල් 437,507ක් සහ පුද්ගලයින් 1558919ක් විපතට පත්ව ඇති බවත් මරණ 465ක් සිදුව 366ක් අතුරුදන් වූ පූර්ණ හානි නිවෙස් 783ක් මෙන්ම අර්ධ හානි නිවෙස් 31417ක් ඇති බවත් මීට අමතරව කදවුරු 1433ක පවුල් 61875ක පුද්ගලයන් 232752ක් මේ මොහොතේ විපතට පත්ව ඇති බවත් මේ ආපදාවට පත්වූ සියලු දෙනාට ජීවිත දේපල අහිමිව ජීවනෝපය අහිමිව අවතැන් වූ අනාථ වූ සියලු දෙනාට සිය ශෝකය පුදකරන බවත් මොවුන් වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

සහන සැලසූ සියලු දෙනාට ස්තූතියි

මේ විපතට පත් සියලු දෙනා රැකබලා ගැනීම ජාතික යුතුකමක් බවත් මනුෂ්‍යත්වයේ නාමයෙන් එය සිදු කළ යුතු බවත් ආපදාවට පත් ජනතාව මුදවා ගන්න කටයුතු කළ ත්‍රිවිද හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය විශේෂ කාර්ය බලකාය ඇතුළු රණවිරු සියලු දෙනාම වෙනුවෙන් සිය ප්‍රණාමය උත්තමාචාරය පුදකරන බවත් මේ නිසා අභාවයට පත්වූ නාවුක හමුදා නිලධාරීන් සහ ගුවන් හමුදා නිලධාරීවරුන් මෙන්ම කොටහේන පොලිස් ස්ථානයේ උප පොලිස් පරික්ෂකවරයා ඇතුළු ජනතාව මුදවා ගැනීමට උර දුන් සියලුම දෙනා ගෞරවයෙන් මතක් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අභියෝග අපහසුතා ගැටලු ප්‍රශ්න මැද රාජ්‍ය සේවකයන් විශිෂ්ඨ කාර්යක් ඉටු කළ බවත් ගම්මට්ටම බිම් මට්ටමේ සිට සමස්ත රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාටම සිය ස්තූතිය ගෞරවය පුදකරන බවත් අදටත් නිදි මරා කැපකිරීම් කරන පරිත්‍යාගශීලීව කටයුතු කරන සහන සලසන රට දැය වෙනුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කරන සේවාව අගය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් අපි කටයුතු කරමු

රටක් ලෙස අභියෝග රැසකට මුහුණ දෙන මොහොතේ විපක්ෂයක් ලෙස වගකීම ඉටු කරන බවත් ජාති ආගම් පන්ති පක්ෂ භේදයෙන් තොරව දේශපාලනය පසෙකලා රටේ ජනතාව අපේක්ෂා කර විශිෂ්ඨ සේවාව ඉටු කරන බවත් මේ මොහොත වන විට ජපන්, කොරියා, යුරෝපා සංගමය, ඉන්දියාව, ඉතාලි හා ජර්මානු තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් මෙනම ලෝක බැංකු ප්‍රධානීන් හමුවී අප රටට ලබා දිය හැකි සියලුම සහන ආධාර උපරිමයෙන් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් විපතට පත් සියලු දෙනාට ආධාර නිර්ව්‍යාජ පාරිදෘෂ්‍ය ක්‍රමයෙන් යුතුව විවෘත සාධාරණ කාර්යක්ෂම වැඩපිළිවෙලක් හරහා ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යල්පැනගිය චක්‍රලේඛ වෙනස් කර සහන සලසන්න

මේ මොහොත වන විට රටට ප්‍රතිචාර දැක්වීම, සහන දීම, පුනරුත්ථාපනය, අහිමි වූ දේ ලබා ගැනීම, නැවත ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය සිදු කිරීමට විපතට පත් පවුල්වලට ජනතාවට උපරිම සහන දිය යුතු බවත් ජීවිත අහිමි වූ ජීවිකාව විනාශ වූ අවතැන් වූ ජනතාවට මුදල් වෙන් කරන්න ඒකාබද්ධ වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ, ධීවර කෂේත්‍රයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ඇති නිසා මේවා විසදා සංචාරක කර්මාන්තය දිරිගැන්විය යුතු බවත් මේ වන විට විපතට පත් ප්‍රමාණය වැඩි වෙමින් සිටින නිසා යල්පැනගිය චක්‍රලේඛ වෙනස් කර රාජ්‍ය නිලධාරීන්ට ජනතාවට උදව් කරන්න අවශ්‍ය නීතිමය පද්ධතිය සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න