අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ආර්ථික සම්පත් විකුණමින් මහජනතාව පීඩාවට පත්කරනවා

ආර්ථික සම්පත් විකුණමින් මහජනතාව පීඩාවට පත්කරනවා

රටේ ඩොලර් සංචිතය කඩා වැටෙමින් විදේශ විනිමය හිඟයක් නිර්මාණය වෙමින් අවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමට නොහැකිව තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික සුනිල් හඳුන්නෙත්ති…

රටේ ඩොලර් සංචිතය කඩා වැටෙමින් විදේශ විනිමය හිඟයක් නිර්මාණය වෙමින් අවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමට නොහැකිව තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියි. 

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව කියා සිටියේ ඔක්තෝබර්(08) කොලඹ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී වන අතර එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය. 

ආණ්ඩුව ඔක්තෝබර්(07) රාත්‍රියේ සිට කිරිපිටි, ගෑස්, සිමෙන්ති වගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට මෙතෙක් ක්‍රියාත්මක වුණු මිල පාලනය ඉවත් කළා. මේ අතර ජනතාවට ඉදිරි අවුරුද්දේ බර පටවන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා.

දැන්වීම

පසුගිය කාලය පුරාම සාමාන්‍ය පාරිභෝගික ජනතාව ඉතාම පීඩාවට පත්කරමින් කිරිපිටි, ගෑස්, පෝලිම් නිර්මාණය කර තිබුණා. රාජපක්‍ෂ පාලනයේ බැරිකම මහ පාරේ පෙන්නුම් කළා. ජනතාවගේ වේදනාව මාධ්‍යවලින් අපි දැක්කා. හිඟකම නිර්මාණය කරලා ඊට උත්තර හැටියට ආණ්ඩුව තෝරන්නේ ජනතාවටබර පටවන එකයි.

පවතින ආර්ථික අර්බුදය නිසා විශේෂයෙන් විදේශ විනිමය හිඟයක් පවතිනවා. මේ නිසා අවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමට නොහැකි වුණා. ඩොලර් සංචිතය කඩා වැටෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව නිසා. ජනතාවට දරාගන්න බැරි භාණ්ඩ හිඟයක් හැටියට ආවේ ආණ්ඩුවේ නොහැකියාවයි.

අන්තිමට මේ පීඩනය ජනතාව පිට පටවලා ආණ්ඩුව ගැලවුණා. හිඟයේ බර ජනතාව පිට පටවන්න මිල පාලනය ඉවත්කළා. මේ නිසා ග්‍රෑම් 400 කිරි පැකට් එකක් රු. 140කින් වැඩිකර තිබෙනවා. මේ ආරම්භය විතරයි.

ගෑස් මිල වැඩිකරන්න ඉල්ලීම් කරමින් තිබුණා. රුපියල් 1200කින් විතර වැඩිකරන්න ඔවුන් ඉල්ලීම් කර තිබුණා. අද කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව ජනතාව පිට පැටවීමයි. කෙටියෙන්ම කියන්න තියෙන්නේ ආණ්ඩුවට මිල පාලනය කරන්නත් බැහැ; රට පාලනය කරන්නත් බැහැ කියලයි. 

ආණ්ඩුවේ පාලනයත් මිල පාලනයත් ගිලිහී යාමෙන් පාරිභෝගික අධිකාරිය, පාරිභොගික ඇමතිවරයා මොකද කරන්නේ? හිඟයකින් තොරව භාණ්ඩ සපයන්න කටයුතු කරන බව ගාමිණී ලොකුගේ ඇමතිවරයා කියා තිබෙනවා. ආණ්ඩුව කරන්නේ මිල පාලනය ඉවත් කිරීමයි. මේ නිසා හිඟය හදපු අයම මිල වැඩිකරලා හිඟය අවසන් බව කියනවා.

ජනතාවගේ කටින්ම කීයට හරි ගන්න බඩු දෙන්න කියලා කියවලා ජනතාව වේදනාවට පත්කරලා. කිරිපිටි පෝලිමේ ඉන්න මිනිස්සු වැඩිමිලට හරි කමක් නැහැ භාණ්ඩ දෙන්න කියන තැනට පොළඹවා තිබෙනවා. හැම භාණ්ඩයකටම මේ වැඩේ කරනවා.

ආණ්ඩුවේ පාලනය ජාවාරම්කාර වළල්ලේ කිහිප දෙනෙක් අතට අද ගිහිල්ලා තියෙනවා. සහල් මිල පාලනය ඉවත් කිරීමත් සමඟම මේ ඩඩ්ලි මුදලාලි මිල තීරණය කළා. කිරිපිටි මිල තීරණය කරන්නේ ඒ ව්‍යාපාර කරන අයයි.

සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙනුත් එහෙමයි. තත්වය මේක නම් රාජපක්‍ෂ ආණ්ඩුව මොකද කරන්නේ? වරායේ හිරවී තිබෙන භාණ්ඩ මුදාහරින්න විදේශ විනිමය සචිතයෙන් ඩොලර් මිලියන 50ක් නිදහස් කර දුන්නා.

ව්‍යාපාරික ප්‍රජාවටත් සාමාන්‍ය ජනතාවටත් සාධාරණය ඉෂ්ට කිරීම ආණ්ඩුවේ වගකීමක්. සතොසෙන් ඇති තරම් භාණ්ඩ ගෙනත් දෙනවා, යට ඇඳුම් පවා ගෙනත් තියෙන බවට පම්පෝරි ගැහුවත් අද බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න ඇමතිවරුන්ට කියන්න දෙයක් නැහැ.

හේතුව අද ආණ්ඩුවේ පාලනයක් නැහැ. පීඩාවට පත්වී සිටින ජනතාවට ආණ්ඩුව පහර පිට පහර දෙමින් ඉන්නවා. තමන්ගේ මිත්‍රයින්ට සැලකිලි කළාට ජනතාව ගැන හිතන ආණ්ඩුවක් නෙවෙයි මේක. 

ලාෆ් ගෑස් සමාගමට මහජන බැංකුවෙන් ඩොලර් මිලියන ගණන් ණය පහසුකම් ලබාදුන්නා. ඒ පහසුකමත් අරගෙන මිල වැඩි කරන්න ඉල්ලනවා. එතකොට පාරිභෝගිකයාට මොකද වෙන්නේ? මේ වන විටත් ආනයනික භාණ්ඩ ගෙන්වන්න බැරි අර්බුදයක් තිබෙනවා.

මේ නිසා මිල විශාල වශයෙන් වැඩිවීී තිබෙනවා. මේ තත්වය යටතේ සාධාරණ මිලකට භාණ්ඩ සැපයීමේ වගකීම ආණ්ඩුවට තියෙනවා. ආණ්ඩුව ඒ ක්‍රියාමාර්ගයෙන් අද ඉවත් වෙමින් ඉන්නවා. හදිසි නීති දාලා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත්කරලා ගොඩක් උත්සාහ කරන බව පෙන්නුවා.

හැබැයි අද කාටද සාධාරණය ඉෂ්ට වෙලා තියෙන්නේ? ගෑස්, කිරිපිටි, සිමෙන්ති සහල් තිරිඟු පිටි සම්බන්ධයෙන් අහිංසක ජනතාවට බර පැටවීමේ ක්‍රියාමාර්ග දිගටම ගනිමින් ඉන්නවා. කොරෝනා තත්වය නිසා රැකියා අහිමිවී ආදායම් අහිමි වී අසරණ වී සිටින ජනතාවට පහර ගහලා තියෙන්නේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මිල පාලනයෙන් ඉවත් වීමේ තීරණයෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවට පැලැස්තර විසඳුම්වත් නැති බවයි. එද වේල ගෙවාගන්න කැබිනට් මණ්ඩලය රැස්වුණත් ජනතාව පීඩාවට පත්කරන ක්‍රමවේදයක් පත්කරමින් තිබෙන බව තේරුම් ගන්න ඕනෑ.

ආණ්ඩුවේ වියදම් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනත් කෙටුම්පත පදනම්කරගෙන අයවැය යෝජනා ගෙන එනවා. විසර්ජන පනතේ ඉලක්කම්වලින් ජනතාවගේ ප්‍රශ්න නියෝජනය වෙන්නේ නැහැ. ජනතාව සිටින පීඩාකාරී ජීවිතය සම්බන්ධයෙන් විසඳුම් ආණ්ඩුවට නැහැ.

හැමදාම විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නේ වියදම් අඩුවෙන් පෙන්නලා. ණය ගන්න සීමාව අඩුවෙන් පෙන්නලා. හැබැයි අයවැයෙන් ඇත්ත වියදම් පෙන්වනවා. ඊට පස්සෙත් පරිපූරක ඇස්තමේන්තු දාලා තවත් වියදම් වැඩිකර ගන්නවා. 

මේ නිසා අයවැය පරතරය විශාල වශයෙන් වැඩිවී ජනතාව පීඩාවට පත්කරනවා. අද සිදුකරමින් තිබෙන්නෙත් ඒක. දැන් ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනතෙන් ආණ්ඩුවේ වියදම් බිලියන 2505ක් බව පෙන්වනවා. නමුත් 2021 වියදම්වලට ආසන්න වශයෙන් බිලියන 5,000ක් වියදම් වෙන බව පෙන්නුවා.

දැන් ණය සීමාවත් බිලියන 3184ක් කියලා පෙන්වලා තියෙනවා. මේවා නිකං ඉලක්කං විතරයි. ඇත්ත උත්තර සොයන ක්‍රියාමාර්ග නෙවෙයි. පාර්ලිමේන්තුව ජනතාවගේ ඇත්ත ප්‍රශ්න නියෝජනය කරන, ඒ ප්‍රශ්නවලට උත්තර හොයන තැනක් බවට පත්වී නැහැ. දැන් මහ පොළොවේ සිද්ධ වෙන දේවලින් ඒ බව හොඳින් පෙන්නුම් කරනවා.

2021 අමාත්‍යාංශවලට වෙන්කර තිබෙන මුදල් කොරෝනා තත්වය හමුවේ ඉතිරි වෙන්න ඕනෑ. ඒ මුදල් ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රශ්න විසඳීමට යෙදවීමේ වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. සංචාරක අමාත්‍යාංශයට බිලියන 55ක් වෙන්කර තිබුණා.

එයින් 84%ක් ඉතිරි වී තිබෙනවා. අධිවේගී මාර්ගවලට වෙන්කළ මුදල්වලින් 76%ක් ඉතිරි වී තිබෙනවා. මේ ඉතිරි මුදල් අත්‍යවශ්‍ය කටයුතුවලට යොදවන්න ඕනෑ. කෘෂිකර්ම අමාත්‍යාංශයට බිලියන 16ක් වෙන්කළා. නමුත් අගෝස්තු 31 වනවිට වියදම් කර තිබෙන්නේ බිලියන 05යි.

පොහොර නැතිව ගොවිතැන විනාශ වුණු ජනතාවට වන්දි ගෙවන්නවත් මේ මුදල් යොදවන්නේ නැහැ. කෘෂිකර්මාන්තය කරුමයක් බවට පත්වී සිටින ගොවි ජනතාවට හුස්ම ගන්න සහනයක් දෙන්න ආණ්ඩුවට පුළුවන්. ඒ ගොල්ලෝ සාම්ප්‍රදායික ඉලක්කම්වලින් ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරමින් ඉන්නවා. 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විසර්ජන පනතේ ඉලක්කම්වලින් ජනතාවගේ ඇත්ත ජීවිතය පෙන්වන්නේ නැහැ. ඇත්ත ජීවිතය තියෙන්නේ මහා පාරේ පෝලිම්වල. ආණ්ඩුවේ බැරිකම නිසා ජනතාවගේ ප්‍රශ්න කැකෑරෙන මට්ටමට ඇවිත් තිබෙනවා.

ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ ගොල්ලන්ට තියෙන්නේ රටේ ආර්ථික මර්මස්ථාන විකුණා දැමීමේ ගනුදෙනු. මේ නිසා හැම පැත්තෙන්ම පීඩාවට පත්වී සිටින ගොවි ජනතාව, ධීවර ජනතාව, විශ්‍රාම වැටුප් අහිමි වුණු සහ විශ්‍රාම වැටුප් විෂමතාවයට පත්වුණු අයට විසඳුම් නැහැ.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයටත් ඉතිරි වී තිබෙන ප්‍රතිපාදනවලින් යොදවන්නේ නැහැ. සෞඛ්‍ය සේවයේ Covid වසංගත තත්වය පවා වැඩකළ අයට දෙන්න තියෙන ප්‍රතිපාදනත් නවතා දමා තිබෙනවා. ඔවුන්ටත් අද උද්ඝෝෂණය කරන්න සිදුවී තිබෙනවා.

හමුදාවල සේවය කරන අයගේ විශේෂ දීමනාව අවුරුදු 03කින් ගෙවා නැහැ. නමුත් ඒ අය කාබනික පොහොර නිෂ්පාදනයට යොදවා තිබෙනවා. මේ හැම දෙනාම භාණ්ඩ මිල වැඩිවීමෙන් පීඩා විඳිනවා. මේ ආණ්ඩු හදපු ජනතාව මේ තත්වය තේරුම් ගන්න ඕනෑ.

ආණ්ඩු පත්කරලා සහනයක් බලාපොරොත්තු වුණු ජනතාවට කිසිම සහනයක් ලබා දෙන්නේ නැහැ. ආණ්ඩුවට පාලනයකුත් නැහැ, ආර්ථික සම්පත් විකුණමින් මහජනතාව පීඩාවට පත්කරනවා විතරයි. ආණ්ඩුව යන මේ ගමන නවත්වන්න මහජන බලවේග සූදානම්.

ආණ්ඩුව බලයට පත්කරන්න කතිරය ගැසූ සැම ඡන්ද දායකයෙක්ගෙන්ම අපි ඉල්ලන්නේ ඇත්ත තත්වය තේරුම් ගන්නා ලෙසයි. මේ පාලනය වෙනස් කරලා මහජනතාවට වග කියන මහජන පාලනයක් නිර්මාණය කරගන්න පෙළ ගැසිය යුතුව තිබෙන බව මේ සෑම කාරණයකින්ම පැහැදිලි වී තිබෙනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න